ස්වභාවික විපත්තියකින් බැට කෑ ජපානයේ පන්සලක දේපළ සොරකම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ජපන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සොරකම නොටෝ අර්ධද්වීපයේ සිදු වූ ප්‍රබල භූමිකම්පාවෙන් හානියට පත් වජිමා නගරයේ බෞද්ධ විහාරස්ථානයක් ඉලක්ක කර ගනිමින් සිදුව ඇත.
අත්අඩංගුවට ගත් දෙදෙනා සගාමිහාරා නගරයේ පදිංචි 29 සහ 30 හැවිරිදි රැකියා විරහිත ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකි.
ඔවුන් විසින් විහාරස්ථානයේ වහලයට සවි කර තිබූ කිලෝග්‍රෑම් 180ක් බරැති තඹ තහඩු, අලංකාර ටයිල් සහ බෞද්ධ පූජා භාණ්ඩ 6ක් සොරකම් කර ඇති අතර සොරකම් කරන ලද භාණ්ඩවල වටිනාකම ජපන් යෙන් 380,000ක් (රුපියල් ලක්ෂ 7කට අධික) පමණ බව කියයි.
පසුගිය අප්‍රේල් 24 වන දින රාත්‍රියේ සැක සහිත ලෙස නවතා තිබූ වාහනයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී නීතිවිරෝධී උපකරණ සහ සොරකම් කරන ලද පූජා භාණ්ඩ පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඉන් අනතුරුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු මැයි 5 වන දින මොවුන්ව නිල වශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
කෙසේවෙතත් ජපානය වැනි විනයගරුක රටක, ආපදාවකට ලක් වූ ආගමික ස්ථානයකින් දේපළ සොරකම් කිරීම ජපන් සමාජය දැඩි ලෙස පිළිකුල්සහගත ක්‍රියාවක් ලෙස සලකන අතර මෙවැනි ක්‍රියා නිසා ජපානයේ වෙසෙන දහස් ගණනක් වූ අවංක ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ලංකාවට හිමි ගෞරවයට ද දැඩි හානියක් සිදුවන බව අමුතුවෙන් කිවයුතු නොවේ.
________
ජපානය විසින් අදාල ප්‍රවෘත්තිය විකාශය කළ වීඩියෝව පහත ලින්ක් එකෙන් නරඹන්න.
