ස්ත්‍රී දූෂණයක චූදිතයෙක්ට ඇප දෙන්නෙ ඇයි? ඒ කියන්නෙ නීතිය වල් වැදිලා ද? මිනිස්සු මෙච්චර විරුද්ධ වෙනකොට ඇප දීපු එක හරිද? ආණ්ඩුවේ වගකීම මොකක්ද? අතිශය සංවේදී සිදුවීමකදි උනත් මිනිස්සු මේ ගැන හොයන්න පටන් අරගෙන තිබෙනවා. ඒක හොඳ දෙයක්.
ලංකාවෙ ඇප පනත ගැන සහ ඇපදීම ගැන ඉතාම පැහැදිලි ලිපි කීපයක් පහුගිය ටිකේ පළවුනා. ඒ පල්ලේගම හේමරතන චීවරධාරියාට ඇප දීම හින්දා. මේ ලිපියට පදනමක් විදිහට, අපිත් එතැනින් ම පටන් ගමු.
ලංකාවෙදි මනුස්සයෙක්ට ඇප දෙන්නෙ 1997 අංක 30 කියන පනතෙ තියෙන නීති අනුව. මේක තමයි ලංකාවෙ ඇප පනත.
ඇප පනතට අනුව “ඇප දිය හැකි“ වැරදි සහ “ඇප දිය නොහැකි“ වැරදි තිබෙනවා.
අනුරාධපුර සිදුවීම වගේ, අතිශය බරපතළ ලිංගික අපරාධ චෝදනාවක් කියන්නෙ ඇප දිය නොහැකි වරදක්.
මොකක්ද මේ ඇප දිය නොහැකි වරදක් කියන්නෙ?
මේක තේරුම් ගන්න “අධිකරණ අභිමතය“ කියන නීති සිද්ධාන්තය වැදගත්. ඒ කියන්නෙ, (Judicial Discretion) එක. මේ අනුව, ඇපදිය නොහැකි වරදක් කියන්නෙ “කොහෙත්ම ඇප දෙන්නෙ නෑ“ කියන එක නෙවෙයි. අධිකරණයේ විනිශ්චයකරුට, ඇපදීම තීරණය කරන්න පූර්ණ අයිතිය ලැබෙනවා කියන එක.
එහෙම වෙලාවට අධිකරණය ඔබ සහ මම වගේ ඉමෝෂනල් වෙන්නෑ. හදවතින් හඬා වැටෙන්නෑ. අධිකරණයට තිබෙනවා රීති අති විශාල සංඛ්‍යාවක්. ඒ රීති, ලෝකයේ ඕනිම අධිකරණයකට තීරණ ගන්න බොහොම පහසු කරවනවා.
“වරද ඔප්පු කරන්න කලින්, ඕනෑම පුද්ගලයෙක් සැකකරුවෙක් විතරයි“. (මේකට කියන්නෙ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය)
මේ ප්‍රධාන රීතියක්. වරද පෙනි පෙනී උනත්, මෙන්න මේ නීතිය විසින් අධිකරණයට පාර කියනවා. ඒ අනුව, සැකකාරයෙක්ට තිබෙන අයිතිවාසිකම් දිහාට අධිකරණය හැරිලා තිබෙනවා.
“ඇප දීම තමයි රීතිය. ඇප නොදීම ව්‍යතිරේකය“.
මේ ඊළඟ එක. ලංකාවත් මේ රීතිය පිළිපදිනවා. ඒකෙ තේරුම තමයි “ඇප දෙන්න තමයි මේ නීති පද්ධතිය තියෙන්නෙ“ කියන එක. ඇප නොදී ඉන්නවා කියන්නෙ, අතිරේක කාරණා ගොඩක් සළකා බලලා ගන්න අසීරු තීරණයක් කියන එක තමයි ඒකෙ තේරුම. ඇප නොදීම ව්‍යතිරේකයක්. Exception එකක්.
චෝදනාව, අතිශය සංවේදී එකක් වීම කියන හේතුව, ඇප නොදෙන්න හේතුවක් නෙවෙයි.
එහෙනම් මොනවද ඇප නොදෙන්න හේතු?
අධිකරණයක් ඇප දෙනකොට බලන්නෙ, “ඇත්තටම මේ කෙනා අපරාධය කෙරුවාද?“ කියන එක නෙවෙයි. මේ තමයි පොදු සමාජයේ අපි බලන ප්‍රශ්නය. ඒත් ඇප සම්බන්ධව නීතිය බලන්නෙ පහත ප්‍රශ්න.
-ඇප දීපු ගමන්, චූදිතයා පැනලා ගිහින් හැංඟෙයිද? නැවත අධිකරණයට ගේන්න බැරි වෙයිද?
-චූදිතයා ඇප දීපු ගමන්, සාක්ෂිකරුවන්ට තර්ජනය කරලා නඩුව වෙනතකට හරවයිද?
-ඇප දීපු ගමන් චූදිතයා සාක්ෂි විනාශ කරන්න පටන් ගනියිද?
-ඇප දීම, ඉතාම ක්ෂණිකව සමාජයට හානියක් වෙන්න හේතු වෙයිද?
-වැඩිදුර විමර්ශනයට තවදුරටත් රඳවාතබාගන්න ඕනෑ බව, විමර්ෂකයින් කියනවාද?
මේ තමයි අධිකරණය ඇප නොදී ඉන්න සළකා බලන හේතු. ඒ අතර “මේ සිදුවීමේ සංවේදීතාව කෙතරම්ද“ කියන එක මූලික හේතුවක් නෙවෙයි.
මේක ලංකාවේ විතරක් එකක් ද? නෑ. ඉහත කිව්ව රීති පද්ධතිය ලංකාවට එන්නෙත් ඉංග්‍රීසි පොදු නීති පද්ධතියෙන්. ලංකාවෙ ඇප නීතිය එන්නෙ, බ්‍රිතාන්‍ය ඇප නීතියෙන්.
බරපතළ ලිංගික අපරාධයක චූදිතයාට ඇප දෙන්න, ලංකාවේ විමර්ශකයාගේ කාර්යභාරය කරන පොලිසියේ අදහස වැදගත්. පොලිසිය අධිකරණයට කිව්වා විමර්ශන අවසන් කියලා. නීතියට අනුව, තවදුරටත් රඳවාගෙන සිටීම ප්‍රශ්නයක් බවට පත්වෙන්නෙ ඒ හින්දා. පොලිසිය ඊයෙ මාධ්‍ය ප්‍රකාශයේදිත් අපහසුතාවයට පත්වෙමින් කිව්වෙ, විමර්ශන අවසන් කියන එකම තමයි.
විමර්ශන අවසන් ය කියන ප්‍රකාශය, ඇප දීමට සෘජුව බළපානවා.
පල්ලේගම හේමරතනට පැනලා ගිහින් හැංඟෙන්න බැරි වෙන්න විදේශ ගමන් තහනමක් තිබුණා. දැරිය හිටියෙ ළමාරක්ෂක අධිකාරිය යටතේ විශේෂ රැඳවුම් මධ්‍යස්ථානයක විශේෂ ආරක්ෂාව මත. හේමරතනට ශරීර ඇප 2ක් සහ මුදල් ඇපයක් එක්ක ඇප දෙන්න, මේවා හේතු වෙනවා.
හැබැයි, වරද සුළු ද, බරපතළ ද, සංවේදී ද, නැද්ද? කියන ඒවා නොහිතා, ඔන්න ඔය ප්‍රශ්න අනුව මීට වඩා අඩු වරදකට ඇප නොදී ඉන්න පුළුවන්.
වරද, නැවත නැවතත් කරන්න පුළුවන් ආකාරයේ වරදක් නම් ඒත් ඇප දෙන්නෑ. මෙතැනදී දැරිය ආරක්ෂිත බව ළමාරක්ෂක අධිකාරිය කියනවා. නමුත් අධිකාරිය, චූදිතයාට ඇප දීමට විරුද්ධ උනා. ඉතාම පැහැදිලිව ඒ ගැන ප්‍රකාශ කෙරුවා. පොලිසියට චෝදනා පවා කෙරුවා.
“නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය“ ?
මේක අතිශය වැදගත්ම නීති සංකල්පයක්. අධිකරණයක් නඩුවක් අහන්නෙ මේ සංකල්පය මත. මුලින්ම අධිකරණය උපකල්පනය කරනවා, චූදිතයා කිසිම වරදක් නොකළ අහිංසකයෙක් බව. ඊට පස්සෙ සාක්ෂි, සාධකවලට එකතු වෙන්න දෙනවා. ඒවාට ඔප්පු වෙන්න දෙනවා.
එහෙම එකින් එක ඔප්පු වෙද්දි තමයි, චූදිතයා වරදකරු දක්වා ටික ටික හැරෙන්නෙ.
තවම මේ නඩුව එතැනට ඇවිත් නැති හින්දා, පල්ලේගම හේමරතනට නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය තාම අදාලයි. වරද කරනවා ඇහින් දැකපු සාක්ෂිකාරයින් හිටියත්, ඒ සාක්ෂි විමසලා ඔප්පු කරනකන්, අර පූර්ව නිගමනය අදාල යි.
සාක්ෂිය කිව්ව ගමන් ඔප්පු වෙනවාද?
නෑ. “හරස් ප්‍රශ්න“ අහනවා. ඒක ස්වභාවික යුක්ති මූලධර්මයක්. මේක එක්සත් ජාතීන් පිළිගත් ක්‍රමවේදය. ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය විසින් ගරු කරන ක්‍රමවේදය. ප්‍රකාශ එකිනෙක ගැළපෙන්නැතිනම්, සාක්ෂි පවා ඉවත යනවා. ඒ කියන්නෙ සාක්ෂි දීමේදී පවා, හෘද සංවේදී නොවී, නීතියට අනුව ඒක කරන්න වෙනවා. හෘද සංවේදී වෙලා තීරණ ගැනීම ම, නඩුවට හානියක්.
මහජන විරෝධය සහ මාධ්‍ය ආවරණය අධිකරණයට වැදගත් නැද්ද?
කෙටි පිළිතුර තමයි, මාධ්‍ය නාළිකා හෝ මාධ්‍යවේදීන්ගෙ කාර්යය නම් තීරණ ගැනීමට බළපෑමක් නෑ. හැබැයි පොදු මහජන විරෝධය සළකා බලනවා. ඒකට, රජයේ පිළිගත් බුද්ධි තොරතුරු අධිකරණයට ලැබෙන්න ඕන, ඇප දීම හින්දා මෙන්න මේ තරම් මහජන කැළඹීමක් ඇතිවෙන්න නියමිතයි කියලා.
(උදා- මේ සිදුවීමේදී නම්, අනුරාධපුර ජනතාව අටමස්ථානය වටලන්න සූදානමින් ඉන්නා බවක් සැළ උනා නම්, මහේස්ත්‍රාත්ට ඒ බව බුද්ධි ඒකක හරහා ලැබුණා නම්, ඇප ලැබෙන එකක් නැතැයි අපිට හිතන්න පුළුවන්.)
මේ ඇප නීතිය වෙනස් වෙන්න ඕනද?
පෞද්ගලික මතය නම්, නෑ. මිනිස්සුන්ට ඇප ලැබෙන්න ඕන. නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය තියෙන්න ඕන.
ඒ ඇයි?
මේ වෙලාවෙදි උනේ භික්ෂුවක්, බාලවයස්කාරියක දූෂණය කිරීම. ඇප දීලා, නඩු අහලා වැරදිකරු කරන්න පුළුවන්. හිතන්න ඇප දීම සහ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය නොතිබුණා නම්, වරදක් නොකරපු මිනිස්සු කී දාහක් හිරේ ඉන්න වෙයිද? නීතියේ ඊළඟ ප්‍රධාන සංකල්පයක් තමයි, වරදක් කරපු එවුන් දාහක් නිදහස් උනත්, වරදක් නොකළ එකඳු පුරවැසියෙක් හෝ දඬුවම් නොලැබිය යුතු බව. ඒ වෙනුවෙන් තමයි ඇප සහ ඉතිරි සියල්ල තියෙන්නෙ.
එහෙම බෑ. අපි මේ ඇප නීතියට කැමති නෑ. වෙනස් කරන්න පුළුවන් ද?
පුළුවන්. අපි අවුරුදු 5කට වරක් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරලා යවන්නෙ ඒකට. පනත් හදන්නෙ සහ ඒවා සම්මත කරන්නෙ එයාලා. ඇප පනත හැදුවෙත් එයාලා. මේක වෙනස් කරන්න බලය තියෙන්නෙත් එයාලට. එයාලා ලව්වා, ඇප පනත ඕනිනම් වෙනස් කරන්න පුළුවන්. හැබැයි, එතකොට, ලංකාවෙ ඇප නීතියයි, ලෝකයේ ඇප නීතියයි දෙකක් වෙනවා. ඒ හින්දා, අධිකරණය ඇප දීම නම් නවතීවි කියලා හිතන්න බෑ.
එතකොට හේමරතන සිදුවීමේ කිසිම අවුලක් නැද්ද?
තියෙනවා. බරපතළ ප්‍රශ්න තියෙනවා. පොලිසියේ ක්‍රියාකලාපය ඉතාම දුර්වලයි. විමර්ශන අවසන් කිව්වාට, කිසිම එකක් සම්පූර්ණව අවසන් කරලා නැති බව ළමාරක්ෂක අධිකාරිය කියනවා. චෝදනා පවා අසම්පූර්ණයි. මේ වගේ නඩුවක, පොලිසිය සහ නීතිපති මත තමයි පදනම වැටෙන්නෙ. ඒ මත තමයි නඩුව අහන්න පටන් ගන්නෙ. ආරම්භයේදිම පොලිසිය සහ නීතිපති පාර්ශවයන් බොහොම දුර්වල බව පේනවා මේ නඩුවෙදි. ඒකෙ සම්පූර්ණ වගකීම යන්නෙ පවතින ආණ්ඩුවට. ඒ තමයි ඇත්ත.