නංගියි මස්සිනායි එනවා කියලා අම්මා උදේ පාන්දරම ලෑස්ති වෙලා තිබුණේ සුපිරි ආප්ප පාරක් දාන්න. හැබැයි ඉතින් අපේ අම්මා ආප්ප හදන්න ගියාම කුස්සිය හරියට යුද පිටියක් වගේ. මම ඉතින් සාලෙට වෙලා ඉන්නකොට කුස්සියෙන් එනවා මාර සුවඳක්. මස්සිනාත් ඉතින් සාලේ සෝෆා එක උඩ ලෙෆ්ට් වෙලා සද්දෙට ගොරව ගොරව නිදි. මම හෙමින් සැරේ කුස්සියට රිංගුවා සයිස් එක බලන්න අම්මා එතන තාච්චි දෙකක් ලිපේ තියන් මාර ගේමක හිටියේ. හැබැයි පළවෙනි ආප්ප දෙක තුනම තාච්චියට ඇලිලා, කෑලි කෑලි කැඩිලා, හරියට අලි කාපු බෝල වගේ වෙලා තිබුණේ.
අම්මා: "මේ බලපන් අනුරාධ, මේ අලුත් තාච්චියේ හැටි. ආප්පේ ගැලවිලා එන්නේ නෑනේ!"
මම: "අම්මේ, ඕකට තෙල් පොඩ්ඩක් ගාලා, බිත්තර කටුවකින් පිහදාලා ගන්න." (මම ඉතින් යුටියුබ් එකෙන් බලපු උපදෙසක් දුන්නා )
අම්මා: "උඹ මට උගන්නන්න එන්නැතුව ප
ලයන් යන්න! මම උඹලව හැදුවේ මේ තාච්චි වලින් තමයි!"
මට ඉතින් මල පැනලා ආයෙත් කාමරයට ආවා. හැබැයි ඔන්න ටික වෙලාවකින් අම්මා වැඩේ අල්ලගත්තා. ඊටපස්සේ ආපු ආප්ප ටික නම් පිස්සු හැදෙනවා. වටේ කරස් ගාලා හැපෙන රන්වන් පාට සිරාම ආප්ප!
ඔන්න නංගියි මස්සිනායි ඇහැරිලා මේසෙට ආවා. අම්මා මුලින්ම හැදුවේ ලොකු බිත්තර ආප්පයක්. මම ඉතින් ඒකට කෙල හල හල, "මේක මට" කියලා පිඟාන අදින්න හැදුවා විතරයි...
අම්මා මගේ අතට සැර පාරක් ගහලා,
"ඕක මස්සිනාට! උඹට සාමාන්‍ය ආප්පයක් දෙන්නම්" කිව්වා.
මස්සිනා ඉතින් හෙන ලොකු සීන් එකෙන්, "අනේ අම්මේ මට බිත්තර ආප්ප එපා, කොලෙස්ටරෝල්" කියලා ටෝක් එකක් දුන්නා
හැබැයි අම්මා "නෑ පුතා, මේක කන්න" කියලා පෙරැත්ත කරලා දුන්න ගමන් මූ ඒක කටවල් දෙකට ඉවර කළා! මට හිතුණා මූට කොලෙස්ටරෝල් නෙවෙයි තියෙන්නේ බඩජාරිකම කියලා
අන්තිමට ඉතින් අම්මා හදපු සැර කට ගැස්ම ලුණු මිරිසයි, සීනි දාපු පැණි ආප්පයි එක්ක මම ආප්ප 6ක් විතර එක දිගට බැස්සුවා. මස්සිනාත් කට පිහදාන ගමන්, "අම්මා හදන ආප්ප නම් වෙන කොහේවත් නෑ" කියලා අම්මට අයිස් පාරක් ගැහුවා. (ඒකෙන් වුණේ මට තව ආප්පයක් කන්න තිබුණු ඉඩ නැති වුණු එක!)