අනුරාධරා – දෙවන කොටස
"පළමු ඇණවුමෙන් පසු..."
රාත්‍රී 9.45ට විතර Uber Driver App එකේ "Go Offline" බොත්තම ඔබද්දී, අනුරාධරාගේ මුහුණේ තිබුණේ උදේ තිබුණු නොසන්සුන් බවක් නෙවෙයි. හෙල්මට් එක ගලවලා බයික් එකේ ටැංකියට අත තබාගෙන ඔහු හෙමිහිට හිනා වුණා.
"අද නම් හොඳ දවසක්..."
දවස පුරා ඔහු කිලෝමීටර් 53ක් විතර ධාවනය කරලා තිබුණා. ඇණවුම් අටක් සාර්ථකව භාර දීලා තිබුණා. Uber earnings එකේ දිලිසෙමින් තිබුණේ රු. 2725.
ගෙදර යන්න කලින් ඔහු පාර අයිනේ තිබුණු ෆුවෙල් ෂෙඩ් එකකට නැවතුණා. රුපියල් 500 ක පෙට්‍රල් ගැහුව අනුරාධරාට තමන් දැනට වසර කිහිපෙකට කලින් P.H.භාග්‍ය මල්ලිගෙ ගෙදර ගිහින් එද් එද්දි ශෙඩ් එකෙ මහලු මිනිසෙක්ට තමන් දාපු පාට් එක ගැන දුක හිතුනා. ඔහුත් මන් වගේම කීයක් හරි හරිහම්බ කර ගන්නනේ මේ රස්සව කරන්නේ කියලා. හිතින්ම "සොරි අන්කල්" කියලා මිමිනූ
අනුරාධරා wear and tear, oil, tyre වගේ වියදම්ත් හිතෙන් ගණන් කළා.
"Fuel 380... බයික් එකේ depreciation, service වගේ දේවල් එක්ක තව 620ක් කියමු... අද මුළු වියදම 1000ක් වගේ..."
2,725 - 1,000 = රු. 1,725.00
ඒ තමයි අද දවසේ පිරිසිදු ලාභය.
ඔහුට ඒ ගණන ලොකු සල්ලි ගොඩක් වගේ දැනුණේ නෑ. ඒත් ඒ සල්ලි තමන්ගේම දාඩියෙන් හම්බ කරපු නිසා හිත පිරුණා.
ගමට ඇතුළුවෙන පාරට බයික් එක හැරෙද්දී රෑ හුළඟ මූණ පුරා වැදුණා. අද ඒ හුළඟත් වෙනදා වගේ නෙවෙයි.
උදේ ගෙදරින් පිටවුණේ "අද මොනවා වෙයිද?" කියන සැකයකින්.
දැන් ආපහු එන්නේ...
"මට පුළුවන්..."
කියන විශ්වාසයකින්.
බයික් එකේ රියදුරු අසුනේ වාඩි වෙලා හිටියේ ඒ උදේ හිටපු අනුරාධරාමයි.
ඒත් ඇතුළේ මනුස්සයා ටිකක් වෙනස් වෙලා.
අද කෙනෙක් "Thank you" කිව්වා.
කෙනෙක් "බුදු සරණයි" කිව්වා.
කෙනෙක් හිනාවක් දුන්නා.
කෙනෙක්... තමන්ගේ හිතේ තැනක් අරන් ගියා.
ඒ හැමදේම එකතු වෙලා ඔහුගේ පෞරුෂයට අලුත් බරක් එකතු කරලා තිබුණා.
ගෙදර ගේට්ටුව ළඟට බයික් එක නවත්තනකොටම, ඇතුළේ ඉඳන් බල්ලාගේ බුරන සද්දේ ඇහුණා.
"බෘනෝ... බෘනෝ... ඉන්න..."
අම්මාගේ කටහඬත් එක්කම දොර ඇරුණා.
අම්මා දොර ළඟට ආවේ හිනාවෙන්.
"පුතේ... ආවද?"
තාත්තාත් වරන්දාවේ පුටුවෙන් නැගිටලා,
"කොහොමද අද?" කියලා ඇහුවා.
"හොඳයි ..."
අනුරාධරාගේ උත්තරේ වෙනදාට වඩා පිරිපුන්.
අද ඒ වචනය ඇතුළේ අරුතක් තිබුණා.
ඔහු බයික් එකේ ඩිකියෙන් පොඩි බෑග් දෙකක් එළියට ගත්තා.
එකේ තිබුණේ උණු උණුවේ එළවළු රොටි දෙකක් සහ කොත්තු රොටියක් ය.
අම්මට තාත්තට එලවළු රොටී 2 දුන් අනුරාධරා දෙස අම්මා පුදුම වෙලා බැලුවා.
"අද මොකටද මේවා?"
"නිකං... අද දවස හොඳයි."
අම්මාගේ ඇස්වල පුංචි දිලිසීමක් ආවා.
"පුතා හම්බ කරපු සල්ලි වලින් නේද?"
"ඔව්."
ඒක කියද්දී අනුරාධරාගේ හිත ඇතුළේ හරි අපූරු ආඩම්බරයක් ඇති වුණා.
තමන් හම්බ කරපු මුල්ම මුදලින් ගෙදරට මොනවා හරි අරන් එන එක...
ඒක වෙනම හැඟීමක්.
එතකොටම ගෙදර බළලුන් දෙන්නා...
සුදු සහ කළු...
ඔහුගේ කකුල් වටේ කැරකෙන්න පටන් ගත්තා.
බෘනෝ නම් කෙලින්ම පැනලා ඉස්සරහ කකුල් දෙක උරහිසට දාන්න හැදුවා.
"හරි හරි... ඔයාලටත් තියෙනවා."
ඔහු තවත් පොලිතින් එකක් එළියට ගත්තා.
ඒකේ තිබුණේ නැවුම් සාලයෝ දෙන්නෙක්.
"අද උඹලටත් treat එකක්."
බළලුන් දෙන්නා මියාව් කියද්දී, බෘනෝ වලිගය හයියෙන් වනනවා.
වෙනදා වගේ "පස්සේ දෙන්නම්" කියලා නෙවෙයි.
අද ඔහුට පුළුවන්.
අද ඔහු හම්බ කරලා.
ඒ දේ ඇතුළේ තිබුණු ආඩම්බරය ඔහුටම දැනුණා.
රෑ කෑම කාලා, හොඳට නාගෙන, සිසිල් වතුර හිසට වැටෙද්දී දවසේ මහන්සිය ටික ටික ගැලවිලා ගියා.
කාමරේට ඇවිත් ඇඳේ වැතිරුණා.
ෆෑන් එක හෙමින් කැරකෙනවා.
ජනේලෙන් එන රෑ හුළඟ සීතලයි.
දෑස් වහගත්තම අද දවසේ සිදුවීම් එකින් එක මතකයට එන්න ගත්තා.
පළවෙනි customer...
Restaurant එකේ කාර්යබහුල බව...
GPS එක වැරදුණු තැන...
පාරේ සීමාව හිතාගන්ඩ බැරුව පාර අයිනේ කෙල්ලෙක්ගෙ හැප්පෙන්ඩ ගිය හැටි.
ඒ හැමදේම.
ඊට පස්සේ...
ඇගේ මූණ.
කළු පාට දිග කොණ්ඩේ.
ඇස් දෙක.
හිනා වුණ විදිහ.
"Thank you..." කියපු හඬ.
අනුරාධරාට නොදැනීම හිනාවක් ගියා.
"පිස්සු කෙල්ල..."
ඔහු හිතෙන්ම මිමිණුවා.
"මොනවද ඒ බලපු විදිහ..."
ආයෙත් ඔහුම හිනා වුණා.
"ආයෙත් හම්බවෙයිද දන්නෙත් නෑ..."
ඒ සිතුවිල්ලත් එක්ක ටික වෙලාවක් වහල දිහා බලාගෙන හිටියා.
ඊට පස්සේ ඇඳේ පැත්තක තිබුණු තමන්ගේ ආදරණීය කොට්ට බබා අතට ගත්තා.
පුරුදු විදිහට ඒක පපුවට තද කරගෙන, අතකින් මෘදු රෙදිපිළි මත හෙමින් අත ගාන්න පටන් ගත්තා.
දවසේ මහන්සිය...
හිතේ සතුට...
අලුත් බලාපොරොත්තු...
ඒ හැමදේම එක්ක ඔහුගේ ඇස් පියවෙන්න ගත්තා.
එකම හීනයක් හිතේ ඉතිරි වෙලා...
හෙට උදේත් හිරු උදාවෙයි.
Uber App එක ආයෙත් Go Online වෙයි.
සමහරවිට...
අද හිතේ රැඳුණු ඒ "පිස්සු කෙල්ල" නැවතත් කොහේ හරි හමුවෙයි...
(දෙවන කොටස අවසන්...)
Episode 1
Last edited:

