විහාරාධිපති ධුරය සම්බන්ධයෙන් රිදීමාලියද්ද සෙනසුන්ගල පුරාණ රජමහා විහාරයේ භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් එක් හිමිනමකට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් වාර්තා වේ.
මෙම පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිමිනම ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහියංගණය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
විහාරස්ථානයේ හිටපු විහාරාධිපති හිමියන් අපවත්වීමෙන් පසු මෙම ධුරය සඳහා අළුකැටියාවේ සීලවංශ හිමි සහ කෙසෙල්පොත මේධංකර හිමි අතර කලක සිට ගැටුම් පවතී.
මීට පෙර ද මෙම ආරවුල් සම්බන්ධයෙන් මහියංගණය පොලිසියට පැමිණිලි කිහිපයක් ලැබී තිබූ අතර, අධිකරණය මගින් දෙපාර්ශ්වයටම අත්හිටුවූ සිරදඬුවම් පවා නියම කර තිබූ පසුබිමක මෙම නවතම ගැටුම හටගෙන ඇත.
පොලිසිය පවසන පරිදි, පසුගිය 24 වැනිදා සීලවංශ හිමියන් තමා විහාරාධිපති ලෙස පත්කළ බවට ලිපියක් ද රැගෙන විහාරස්ථානයට පැමිණ එහි වැඩ විසූ මේධංකර හිමියන්ගෙන් විහාරයේ යතුරු ඉල්ලා ඇත.
එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් සීලවංශ හිමියන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ එක්ව මේධංකර හිමියන්ට පහර දී පලාගොස් තිබේ.
පහරකෑමෙන් තුවාල ලැබූ මේධංකර හිමියන් මහියංගණය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.
සැකකාර හිමිනම අරාව ප්‍රදේශයේ සැඟව සිටියදී මහියංගණය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, පහරදීමට සහාය වූ බව කියන සෙසු සැකකරුවන් දෙදෙනා ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.
ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම විහාරස්ථානයේ ඇති ගුහාවක පුරාවස්තු පවතින බවට විශ්වාසයක් පවතින අතර, අපවත්වූ විහාරාධිපති හිමියන්ගේ නමින් වූ බැංකු ගිණුමක රුපියල් ලක්ෂ හැටකට අධික මුදලක් තැන්පත් කර තිබීම ද මෙම ගැටුමට හේතු වී ඇති බවට සැක කෙරේ.
