

විහාරස්ථානයක සිදුවූ ලිංගික අපයෝජන සිද්ධියක් අනාවරණය නොකොට සැඟවීමේ චෝදනාව යටතේ නඩු පවරා සිටි විහාරාධිපති හිමිනමක නීතිපතිවරයාගේ උපදෙස් අනුව එම චෝදනාවෙන් මුදා හැරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

කුරුණෑගල උහුමීය සඳගල ප්‍රදේශයේ විහාරාධිපති හිමිනමක එම චෝදනාවෙන් මුදා හරිනු ලැබූහ.

එම විහාරස්ථානයේ පැවිදි කිරීමේ බලාපොරොත්තුවෙන් සිටි වයස අවුරුදු 13 ක ලාබාල පිරිමි දරුවෙකුට එම විහාරස්ථානයේම වැඩ විසූ හිමිනමක් විසින් බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළැයි කියන සිද්ධියක් අනාවරණය වීමට නොදී සැඟවීමේ චෝදනාව යටතේ විත්තිකාර විහාරාධිපති හිමියන් සැකපිට අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබී ඇත.

දෙදහස් විස්ස වසරේදී සිදුවූ බව කියන එම ලිංගික අපයෝජන සිද්ධිය අනාවරණය වීමට ඉඩ නොදී සිටීම සහ ඊට එරෙහිව පියවරක් නොගැනීම සම්බන්ධයෙන් අපයෝජනයට පත් දරුවාගේ දෙමාපියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වීරඹුගෙදර පොලීසිය විසින් එම විහාරාධිපති හිමියන් අත්අඩංගුවට ගෙන තිබිණි.

එම චෝදනාවට අනුව රක්ෂිත බන්ධනාගාරගතව සිටි විත්තිකාර හිමියන් ඇප මත මුදා හැර කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව ඉදිරියට පවත්වාගෙන යනු ලැබීය. එම නඩුව පසුගිය මස 27 දින දක්වා අධිකරණයේදී විභාගයට ගැනුණු අතර එහිදී විත්තිකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ කීර්ති ජී.දුනුසිංහ මහතා නීතිපතිවරයා වෙතද එම නඩුව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර තිබී ඇත.

විත්තිකාර හිමියන් තම විහාරස්ථානයේ සිදුවූ එම අපයෝජන සිද්ධියට අදාළ විස්තර කිසිවක් නොදැන සිටි බවද ඒ බව දැනගෙන ඇත්තේ ඉන් මාස එක හමාරකට පමණ පසුව අපයෝජනයට ලක්වූ බව කියන දරුවාගේ දෙමාපියන් වෙතින් බවද ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද කරුණු වල සඳහන්ය. මෙම අපයෝජන සිද්ධියට විහාරස්ථානයේ වැඩ සිටින හිමිවරු පස් දෙනෙකු අතරින් කිසියම් හිමිනමක් සම්බන්ධව ඇති බවට තම සේවාදායකයා විශ්වාස කරන අතරම අධිකරණ වෛද්‍ය වාර්තා වලින්ද එවැනි අපයෝජනයක් සිදුව ඇති බව තහවුරු කර තිබෙන බවද එම කරුණු දැක්වීම් වල සඳහන්ය. එනිසා තම සේවාදායකයා මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති අයෙකු බවද එමගින් නීතිපතිවරයා වෙත දන්වා ඇත.

විත්තිය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද එම කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව නීතිපති උපදෙස් අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 199 වැනි වගන්තියට අනුව අපරාධයක් සැඟවීමේ චෝදනාව යටතේ පවරා තිබූ නඩුවෙන් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම මත අදාළ චෝදනාවෙන් විත්තිකාර හිමියන් මුදා හැරීමට නියම කරනු ලැබූහ. වීරඹුගෙදර පොලීසිය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය