
ලංකාවේ වලංගු සාමාන්‍ය නීතිය බල නොපැවැත්වෙන ලෙස වාර්ෂිකව පැවැත්වෙන සංදර්ශන මේලාවක් වෙනුවෙන් හික්කඩුවේ කලාපයක් වෙන් කිරීමට සංචාරක අමාත්‍යංශය කටයුතු කර ඇත. මෙම සංදර්ශනය "Hikka-2009" යනුවෙන් නම් කර ඇති අතර, මෙහිදී තමන්ට රිසිසේ විනෝදවීමේ අවකාශ සලසා ඇත. ලංකාවට සංචාරකයින් ගෙන්වීමේ එක් ක්‍රියාවලියක් ලෙස සංවිධානය වෙමින් පැවැත්වූ මෙම මේලාව වෙනුවෙන් මෙවර ලංකාවේ තරුණ තරුණියන්ටද අවස්ථාව හිමිව ඇත.
ලංකාවේ ප්‍රසිද්ධ දුරකථන සමාගමක් මෙහිප්‍රධාන අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කර ඇති අතර, මෙහිදී තරුණ තරුණියන්ට තමන්ට කැමැති පරිදි මත්පැන් හා දුම්වැටි භාවිත කිරීමේ අවස්ථාව ලබා දී ඇත. වාර්තා වන අත්දමට මෙම ස්ථානයේදී ලංකාවට දුම්වැටි ආනයනය කරනු ලබන සමාගමක් විසින් නොමිලේ තරුණ තරුණියන්ට දුම්වැටි ලබා දී ඇත.
ජුලි මස 30 සිට අගෝස්තු 02 දින දක්වා පැවැති මෙම සංදර්ශන මේලාව සංවිධානය කර ඇත්තේ සංචාරක අමාත්‍යංශය විසිනි. රජය විසින් හා මහින්ද චින්තනය විසින් "මතට තිත" තබන බව පැවසුවද, සංචාරක අමාත්‍යංශය මගින් සංවිධානය කළ මෙම සංදර්ශනයේදී තරුණ තරුණියන්ට "තිතට මත්වීමට" අවස්ථාව සලසා දී තිබුණි. එමෙන්ම මෙහි පැමිණ සිටි තරුණියන්ගෙන් බොහොමයක් අඩ නිරුවත් විලාසිතාවන්ගෙන් සැරසී පැමිණ සිටි අතර, "වැඩිහිටියන්ට පමණයි" චිත්‍රපට තහනම් කරමින් ලංකාවේ සංස්කෘතිය ගොඩනැගීමට තැත්කරන ආණ්ඩුවේ යෝජනාම මෙවැනි උත්සව මගින් විකෘති වන අයුරු මනාව දර්ශනය විය.
මෙම මේලාවට හික්කඩුව ප්‍රදේශවාසින් සිය විරෝධය දක්වා, මෙය නැවැත්වීමට බලවත් උත්සහයක් ගෙන තිබුණිද, රජයේ බලපෑමෙන් එය නැවැත්වීමට නොහැකි වූ බව ප්‍රදේශවාසීහු අප සමග පැවසූහ.



