පක්ෂ 12 ක එකතුවකින් සැදි "එක්සත් ජාතික පෙරමුණ"
නව සන්ධානය ඇරඹේ
පියසේන දිසානායක
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන ඒකාබද්ධව ගොඩනගන ලද "එක්සත් ජාතික පෙරමුණ" නම් වූ නව දේශපාලන සන්ධානයේ පොදු එකඟතා ගිවිසුමට ඊයේ (03 වැනිදා) දහවල් 12.30 ට යෙදුණු සුබ මොහොතින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේදී අත්සන් තබන ලදී.
මහා සංඝරත්නයේ ආශිර්වාද හා සෙත්පිරිත් සඡ්ජායනා මධ්‍යයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වයේ නායක මංගල සමරවීර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්, ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් ඇතුළු දේශපාලන පක්ෂ 12 ක නායකයෝ සහ විද්වත් මණ්ඩලයේ නායකයෝ මෙම පොදු එකඟතා ගිවිසුමට අත්සන් තැබූහ.
"එක්සත් ජාතික පෙරමුණ" නව දේශපාලන සන්ධානයේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේ ශාලා අංක 2 හි ඉතා චාම් එහෙත් අභිමානවත් ලෙස සංවිධානය කොට තිබිණි.
එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සියලු පක්ෂ සහ සංවිධානවල නායකයන් සහ නියෝජිතයන් ඊයේ පෙරවරු 11.30 පමණ වන විට රැස්වීම් ශාලාව වෙත පැමිණ සිටි අතර චාරිත්‍රානුකූලව ආගමික වතාවත්වලින් අනතුරුව උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කෙරිණි.
උත්සවයේ වැඩකටයුතු ආරම්භ කරමින් "එක්සත් ජාතික පෙරමුණ" නම් වූ නව සන්ධානය පිහිටුවීමට පාදක වී තිබෙන අරමුණු සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එහි නායකයන් අදහස් දැක්වූ අතර ඒ අතර එළැඹි සුබ මොහොතින් ගිවිසුමට අත්සන් තැබිණි.
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ, රුහුණු ජනතා පක්ෂය, ජාතික සංවර්ධන පෙරමුණ, නව සිහළ උරුමය, එක්සත් සමාජවාදී පක්ෂය, ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති සහයෝගිතා පෙරමුණ, අපේ ජාතික පෙරමුණ, එක්සත් ජාතික සන්ධානය යන දේශපාලන පක්ෂ සහ විද්වත් මණ්ඩලය එක්ව මෙම එක්සත් ජාතික පෙරමුණ ගොඩනගා ඇත.
එක්සත් ජාතික පෙරමුණේ නායකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, එහි මහ ලේකම් ලෙස තිස්ස අත්තනායක, සම සභාපතිවරු ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසස් නායක රාවුෆ් හකීම් සහ ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් යන මහත්වරුන් කටයුතු කරන බව ඊයේ අනාවරණය කෙරිණි.
එකඟතා ගිවිසුමට අත්සන් තැබූ දේශපාලන පක්ෂ සහ සංවිධානවලට අමතරව තවත් දේශපාලන පක්ෂ 10 ක් සහ සංවිධාන රැසක් එක්සත් ජාතික පෙරමුණ සමඟ ඉදිරියේදී එක්වීමට සාකච්ඡා ආරම්භ කොට තිබෙන බව එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවැසීය.
නොබෙදුන ශ්‍රී ලංකාවක් තුළ භෞමික අඛණ්ඩතාවත් ස්වෛරීත්වයත් සුරැකීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ආර්ථික නිදහස සෑම පුද්ගලයකුට තහවුරු කිරීම, ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් සුරක්ෂිත කෙරෙන පරිදි දේශපාලන නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා තොරතුරු දැනගැනීමේ නිදහස ආරක්ෂා කිරීම, ජනවාර්ගිකත්වය, ආගමික ඇදහිලි, සංස්කෘතික බැඳීම් කුමක් වුවද සියලු දෙනාම සමානත්වයෙන් සලකා සමාජ සංස්කෘතික නිදහස තහවුරු කිරීමත් ළමා හා කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත්, සමාජයේ විවිධ කොටස්වල අයිතිවාසිකම් තහවුරු කිරීමත්, රට වෙලාගෙන තිබෙන අල්ලස් හා දූෂණය දුරලන නිදහස් හා පිරිසිදු විනිවිදභාවයෙන් යුතු පාලන තන්ත්රයක් ඇති කිරීමත් එක්සත් ජාතික පෙරමුණේ ඉදිරි අරමුණු අතර ප්‍රධානත්වයක් දී තිබේ.
Last edited:

