පින්වත් ආනන්ද, ඔන්න ඔය අයුරින් භික්ෂුව ගම පිළිබඳව ඇති සඤ්ඤාව මෙනෙහි නොකර, මිනිසුන් පිළිබඳව ඇති සඤ්ඤාවත් මෙනෙහි නොකර, අරණ්‍ය පිළිබඳව සඤ්ඤාව හේතුකොට ගෙන ඇතිවන එකම ආකාර බවක් ඇද්ද, එය පමණක් මෙනෙහි කරනවා. එතකොට ඒ අරණ්‍ය සඤ්ඤාව තුළ සිත බැසගන්නවා. පහදිනවා. පිහිටනවා. මැනැවින් බැසගන්නවා.
එතකොට ඒ භික්ෂුව මෙහෙමයි දැනගන්නේ. 'ගම පිළිබඳව සඤ්ඤා හේතුවෙන් ඇතිවෙන යම් පීඩාවන් ඇද්ද, ඒවා මේ අරණ්‍ය සඤ්ඤාව තුළ නෑ. මිනිසුන් පිළිබඳව සඤ්ඤා හේතුවෙන් ඇතිවෙන යම් පීඩාවන් ඇද්ද, ඒවා මේ අරණ්‍ය සඤ්ඤාව තුළ නෑ. නමුත් යම්කිසි පීඩා මාත්‍රයක් තියෙනවා. ඒ අරණ්‍ය සඤ්ඤාව හේතුවෙන් ඇතිවන එකම ආකාර බවයි.' එතකොට ඔහු මේ අරණ්‍ය සඤ්ඤාව ගම පිළිබඳ සඤ්ඤාවෙන් ශූන්‍ය වූ දෙයක් වශයෙන් දැනගන්නවා. ඒ වගේම මේ අරණ්‍ය සඤ්ඤාව මිනිසුන් පිළිබඳ සඤ්ඤාවෙන් ශූන්‍ය වූ දෙයක් වශයෙන් දැනගන්නවා. නමුත් යම් මේ ශූන්‍ය නොවන දේකුත් තියෙනවා. ඒ අරණ්‍ය
සඤ්ඤාවෙන් ඇති වූ ඒකාකාරී බවයි. එතකොට එහි යමක් නැද්ද, එයින් එය ශූන්‍ය බව නුවණින් දැනගන්නවා. ඒ වගේම එහි ඉතුරු වූ යමක් ඇද්ද, තිබෙන්නා වූ එය පමණක් ඇතැයි නුවණින් දැනගන්නවා. ඔය ආකාරයටත් පින්වත් ආනන්ද, භික්ෂුව තුළ යථාර්ථවත් වූ, විපරීත නොවූ, පිරිසිදු වූ, ශූන්‍යතාව පිළිබඳව අවබෝධයේ බැසගැනීම ඇතිවෙනවා.
පින්වත් ආනන්ද, නැවත අනෙකක් කියමි. භික්ෂුව මනුෂ්‍ය සඤ්ඤාව මෙනෙහි නොකොට, අරණ්‍ය සඤ්ඤාව මෙනෙහි නොකොට, පෘථුවි සඤ්ඤාව හේතු කොටගෙන ඇතිවෙන ඒකාකාරී බවක් ඇද්ද, එය මෙනෙහි කරනවා. එතකොට ඔහුගේ සිත පෘථුවි සඤ්ඤාවෙහි බැසගන්නවා. පහදිනවා. පිහිටනවා. හොඳින් බැසගන්නවා.
පින්වත් ආනන්දය, එය මේ වගේ දෙයක්. හුල් සියයකින් ඇනපු, ගව හමක් හොඳට දිගඇරලා, ඇදලා, රැළි නැතුව තියෙනවා වගෙයි. ඒ වගේම භික්ෂුව මේ පොළොවේ උස් පහත් තැන් ඇද්ද, ගංඟාවන් ඇද්ද, වළ ගොඩැලි ආදී තැන් ඇද්ද, කඳු හෙල් විෂම පර්වත බෑවුම් ඇද්ද, ඒ සෑම දෙයක්ම මෙනෙහි නොකොට පෘථුවි සඤ්ඤාව හේතුවෙන් ඇතිවෙන එකම ස්වභාවයක් ඇද්ද, එය විතරක් මෙනෙහි කරනවා. එතකොට පෘථුවි සඤ්ඤාව තුළ තමයි ඔහුගේ සිත බැසගන්නේ. පහදින්නේ. පිහිටන්නේ. හොඳින් බැසගන්නේ.
එතකොට ඔහු දැනගන්නේ මෙහෙමයි; 'මනුෂ්‍ය සඤ්ඤාව නිසා ඇතිවන යම් පීඩාවක් ඇද්ද, ඒවා මේ පෘථුවි සඤ්ඤාව තුළ නෑ. අරණ්‍ය සඤ්ඤාව නිසා ඇතිවන යම් පීඩාවක් ඇද්ද, ඒවා මේ පෘථුවි සඤ්ඤාව තුළ නෑ. නමුත් යම්කිසි පීඩාමාත්‍රයක් නම් තියෙනවා. එය පෘථුවි සඤ්ඤාව හේතුවෙන් ඇති වූ ඒකාකාරී බවයි. එතකොට ඔහු මේ පෘථුවි සඤ්ඤාව, මිනිසුන් පිළිබඳ සඤ්ඤාවෙන් ශූන්‍ය වූ දෙයක් වශයෙන් දැනගන්නවා. ඒ වගේම මේ පෘථුවි සඤ්ඤාව, අරණ්‍ය සඤ්ඤාවෙන් ශූන්‍ය වූ දෙයක් වශයෙන් දැනගන්නවා. නමුත් යම් මේ ශූන්‍ය නොවන දේකුත් තියෙනවා. ඒ පෘථුවි සඤ්ඤාවෙන් ඇති වූ ඒකාකාරී බවයි. එතකොට එහි යමක් නැද්ද, එයින් එය ශූන්‍ය බව නුවණින් දැනගන්නවා. ඒ වගේම එහි ඉතුරු වූ යමක් ඇද්ද, තිබෙන්නා වූ එය පමණක් ඇතැයි නුවණින් දැනගන්නවා. ඔය ආකාරයටත් පින්වත් ආනන්ද, භික්ෂුව තුළ යථාර්ථවත් වූ, විපරීත නොවූ, පිරිසිදු වූ, ශූන්‍යතාව පිළිබඳව අවබෝධයේ බැසගැනීම ඇතිවෙනවා.
ඊළඟ post එක හා සම්බන්ධයි...