A Must Read Article

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
This article is copied from another blog.

Our acknowledgment goes to the original author.



පමා නොවන් සොයුර | Brother, don't be too late


අන්තර් ආගමික අධ්‍යයනය (comparative religious study) පිළිබඳ මේ දිනවල බොහෝ කරුණු අසන්නට ලැබුණද ඒ හරහා ගැඹුරු අධ්‍යාත්මික කරුණු සාකච්ඡාවට බඳුන් වූයේ ඉතා කලාතුරකිනි. ධර්මය ගැන කතාකිරීමට යාම වර්තමානයේ බොහෝ දෙනාට ලැජ්ජාවට කරුණක් වන නිසාත් යම් දෘෂ්ටියක සුවිශේෂත්වයක් පෙන්වාදීම ඇතැමුන් "ආගම්වාදය ඇවිස්සීමක්" ලෙස දකින නිසාත් මෙම ලිපියෙන් කියන්නට යන කරුණු සෑම සියලු දෙනාට එක ලෙස ප්‍රයෝජනවත් වෙතැයි මම නොසිතමි. එහෙත් ජීවිතය ගෙවාදමන සම්පූර්ණ කාලාන්තරය මුළුල්ලේ අනන්තවත් වූ ආශා සමුදාය පසුපස හඹා යාම පමණක් ජීවිතයේ එකම පරමාර්ථය නොවන බව පිළිගන්නා, බිලියන හය හමාරක් වූ මිනිසුන් අතරේ තමාට ද යම් ආකාරයක සුවිශේෂත්වයක් ඇතැයි විශ්වාස කරනා, මෙලොව මෙන්ම පරලොවක් ද ඇති බව පිළිගන්නා සෑම දෙනාම මෙම කරුණු සාවධානව අසත්වා!

ලෝකය බිහි වූ දිනයේ පටන් බොහෝ පුද්ගලයෝ "සත්‍යය" සොයා ගියහ. ඇතැම්හු තම අරමුණ සපුරා නොගෙනම මිය පරලොව ගියහ. තවකෙක් "සත්‍යය" සොයාගත්හ. ඔවුහු තමන් දැනගත් සත්‍යය ලොවට හෙළි කළහ. "සත්‍යය" සොයාගත් පුද්ගලයන් අතර අපූරු සබඳතාවක් ඔවුන්ගේ චරිත විශ්ලේශනයෙන් පැහැදිලි වේ. එනම් ඒ පුද්ගලයින් අතරින් එක් අයෙකු හැර අන් සියලු දෙනාම "සත්‍යය" සෙව්වේ තම ශරීරයෙන් පිටත බවයි. ඔවුන්ට "සත්‍යය" හමු වූයේ ඉතා දුර ඈත සිටින, නොපෙනෙන, නොදැනෙන, මහා බලසම්පන්න දෙවියෙකු සන්තකයේ තිබී ය. නමුත් "සත්‍යය" සොයා තමා තුළට ගිය පුද්ගලයා පමණක් අනෙක් "සත්‍යයන්" සියල්ලටම වඩා වෙනස් "සත්‍යයක්" සොයාගත්තේ ය. කවුරු පිළි ගත්තත්/නොගත්තත්, විශ්වාස කළත්/නොකළත් පුද්ගලයා කෙරෙහි බලපවත්වන්නා වූ "සත්‍යය" වන්නේ බාහිරව කෙරෙන බලපෑම නොව පුද්ගලයා "තුළ" පවත්නා "සත්‍යය" බැව් මධ්‍යස්ථ මතධාරී, තාර්කික බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට අපහසුවෙන් හෝ පිළිගැනීමට හැකි යැයි මම උපකල්පනය කරමි. එයට "විශ්වීය සත්‍යය" යන නම ව්‍යවහාර කෙරේ. තමා තුළ පවතින සත්‍යස සොයා ගිය එම ගවේෂකයා බුදුරජාණන්වහන්සේ පමණක් බව ඔබට දනියි. මා බුදුරජාණන්වහන්සේ දේශනා කළ මඟ විශ්වාස කරන්නෙකු වීම නිසා ද බුදුරජාණන්වහන්සේ දේශනා කළ මඟ යන්නෝ "බෞද්ධයෝ" නම්වන නිසා ද උපතින් බෞද්ධයන් වන පුද්ගලයන් පමණක් වර්තමානයේ එම "විශ්වීය සත්‍යය" දකිතැයි කීමට මා සැරසෙතැයි ඔබ සිතනු ඇත. නැත! මම එසේ නොකියමි. එසේ නොකියන්නේ එසේ කිවහොත් "බෞද්ධයන්" වන සියලු දෙනා සත්‍යයම මාර්ගය ම අනුගමනය කරන බවට වූ වැරදි අදහසක් ඔබ තුළ ජනිත වන බැවිනි. ඇත්ත කතාව නම් බෞද්ධයන්ගෙන් ද සියයට දශම එකක් වත් මෙම "විශ්වීය සත්‍යය" යනු කුමක්දැයි නොහඳුනන බව ය. "විශ්වීය සත්‍යය" නම් චතුරාර්ය සත්‍යයයි. චතුරාර්ය සත්‍යය නම් දුක, දුකට හේතුව, දුකින් මිදීම, දුකින් මිදෙන මඟ යන මේවා ය. විශ්වයේ පරම සත්‍යය මෙයයි. මනුෂ්‍ය ජීවිතය තුළදී මෙම සත්‍යය දැකීමේ උත්කෘෂ්ට වාසනාව "ක්ෂණ සම්පත්තිය" නම්වේ. "ක්ෂණ සම්පත්තිය" නම් මනුෂ්‍ය ජීවිතය හා චතුරාර්ය සත්‍යය හමුවීමයි.

"විශ්වීය සත්‍යය" යනු කුමක්දැයි ගවේෂණය කර, එය චතුරාර්ය සත්‍යය බව හඳුනාගෙන, ලොවට දේශනා කළ එකම ශාස්තෘවරයා බුදුරජාණන් වහන්සේ ය. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ කළේ පර්යේෂණයකි. ඔහු ළඟට කිසිදු දෙවියෙකු පැමිණ, කණට කර, "සත්‍යය මෙන්න මේකයි. මෙය ගිහින් ලෝකයට කියන්න" කියා හොර රහසේ කීවේ නැත. ඒ වෙනුවට උන්වහන්සේ මහත් දුකක් දරා මෙය කුමක්දැයි කියා තනිවම සෙව්වේ ය. සෙව්වේ කොහේද? ඒ වෙන කොහේවත් නොවේ. විශ්වයේ ඈත කොණේ නොවේ. විශ්වීය සත්‍යය සැඟවී තිබෙන තම සිත තුළම ය. බුදුන් වහන්සේ සොයාගත් මෙම සත්‍යයේ ඇති තර්කානුකූල භාවය අසමසම ය. ඊට ළං කිරීමට වෙන කිසිවක් නැත. ඇයි එය මේ තරම් තර්කානුකූල? තර්කානුකූල වන්නේ එය මෙම සැඟවුණු "විශ්වීය සත්‍යය" බාහිර සාධකයකට, තමාට පාලනය කළ නොහැකි දෙවි කෙනෙකුට පිරි නොනමා තමා තුළම, තමාට නොපෙනෙන ලෙස සැඟවී ඇති බව ප්‍රකාශ කරන බැවිනි. මානව චින්තනයේ අග්‍රඵලය එයයි....!


එය සොයාගැනීමෙන් අනතුරුව උන්වහන්සේ ලොවට කීවේ "මම සොයාගත් සත්‍යය ඔබ ද සොයාගන්න" යන්නයි. ඒ හැර උන්වහන්සේ කිසිවෙකුටත් තමාගේ ධර්මය අවබෝධ කරගැනීම පිණිස තම අනුගාමිකයෙකු වීම අවශ්‍ය යැයි කීවේ නැත. සැකෙවින් කිවහොත් බුදුන් වහන්සේ දේශනා කළ "චතුරාර්ය සත්‍යය" අවබෝධ කරගැනීමට "බෞද්ධයෙකු" වීම කිසිසේත් ම අවශ්‍ය නැත! ඊට හොඳම උදාහරණය නම් පසු කලෙක බුදුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වූ උපතිස්ස, කෝලිත පරිබ්‍රාජකයන්ගේ කතාවයි. පරිබ්‍රාජක යනු එදා සමාජයේ සිටි, බුදු දහමට එරෙහි ප්‍රධානතම ආගමික කණ්ඩායමකි. එය හරියට අපේ සමාජයේ ඉස්ලාම් හෝ ක්‍රිස්තු බැතිමතෙකුට සමාන තත්ත්වයකි. ඔවුන් සෝවාන් ඵලයට පත්වන විට මහණ වීමට තබා බෞද්ධයන් වීමට වත් සිතා තිබුණේ නැත. කොයි තරම් පුදුමයක්ද? අනෙක් ආගම් වලට සාපේක්ෂව කොතරම් වෙනසක්ද? ඕනෑම කෙනෙකුට නිර්වාණ මාර්ගයට පිවිසීමට අවශ්‍ය වන්නේ තියුණු මනසකුත්, නොසැලෙන අධිෂ්ඨානයකුත් පමණි. නමුත් මේවා කියන විට සමාජයෙන් චෝදනා එල්ල වන්නේ "ආගම්වාදියා" කියා ය. එසේ කියන තාක් කල් එසේ චෝදනා කරන්නන්ට සිදුවන්නේ මඩ ගොඩේ එරි එරී, මඩ නාමින්, මඩ කමින් ම ජීවත් වීමට ය. මඩ ගොඩෙන් ගොඩ ඒමට දඟලන වාරයක් වාරයක් පාසා ඔවුනට සිදුවන්නේ තවතවත් මඩ ගොඩේ එරීම ම පමණි.


සැබැවින්ම කිවහොත් බෞද්ධ, අබෞද්ධ යනුවෙන් බුදුරජාණන්වහන්සේ කිසිවෙකුත් බෙදා දැක්වූයේ නැත. වර්තමානයේ බොහෝ බෞද්ධයන් නමට පමණක් බෞද්ධයන් වන සන්දර්භයක් තුළ, එවන් පුහු බෞද්ධයෙකු සහ අන්‍යාගමිකයෙකු අතර සැළකිය යුතු වෙනසක් බුදු සමය දකින්නේ නැත. කෙනෙකු බෞද්ධ දර්ශනය පිළිගත්ත ද, කෙනෙකු "විශ්වීය සත්‍යය" තිබෙන්නේ බුදුන් වහන්සේ කළ පර්යේෂණයේ ප්‍රතිඵල මත බව පිළිගත්ත ද එමගින් පමණක් ඔහුගේ "බෞද්ධ"භාවය සම්පූර්ණ වන්නේ නැත. ඒ සඳහා ඔහු අනිවාර්යයෙන් ලැබිය යුතු තවත් අවබෝධයක් වේ. එය ඉහත සඳහන් කළ "ක්ෂණ සම්පත්තිය"යි. ක්ෂණ සම්පත්තිය නොලැබූ බෞද්ධයා සහ දේවවාදියා යන දෙදෙනා අතර වෙනසක් නැත. සැබැවින්ම බෞද්ධ/ අබෞද්ධ ලෙස වර්ගීකරණය කිරීමට වඩා උචිතම වර්ගීකරණය ක්ෂණ සම්පත්තිය ලැබූ/නොලැබූ යන ලෙස වර්ගීකරණය කිරීමයි.



 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
The rest

මෙහි විශේෂත්වය වන්නේ "ක්ෂණ සම්පත්තිය ලැබූ" ගණයට අයත් වීමට කෙනෙකුට බෞද්ධයෙකු වීමට අවශ්‍ය නොවීමයි. ක්ෂණ සම්පත්තිය යනු මනුෂ්‍ය ජීවිතය සහ චතුරාර්ය සත්‍යය එක් තැනකදී හමුවීමයි. සෑම බෞද්ධයෙකුම මනුෂ්‍යයෙකු වුවත් සෑම බෞද්ධයෙකුම චතුරාර්ය සත්‍යයේ වටිනාකම හඳුනන්නේ නොවේ. එසේ නොහඳුනන සියලු දෙනා මීට අනුව වැටෙන්නේ "ක්ෂණ සම්පත්තිය නොලැබූ" නැතහොත් "දුෂ්ටක්ෂණයකින් යුතු" යන පිරිස අතරටයි. මීට බුදුදහම හැරදමා කෝවිල් වල, කේන්දර වල, සායි බාබා ඇතුලු එකී මෙකී නොකී බලවේගයන්හි සරණ ගිය මෙන්ම "සෑම ආගමක්/දර්ශනයක් ම එකයි, සෑම ආගමකම අවසන් අරමුණ මෝක්ෂයයි" කියාගන්නා බක පණ්ඩිතයන් සියලු දෙනා ද අයත් වේ. එසේම පුදුමයකට මෙන් මීට අනුව, චතුරාර්ය සත්‍යයේ වටිනාකම අවබෝධ කරගත්, බෞද්ධයන් නොවන අන්‍යාගමිකයන් කිහිපදෙනෙකු ද "ක්ෂණ සම්පත්තිය ලැබූ" පිරිසට අයත් වේ. ඕනෑම කාලයක "ක්ෂණ සම්පත්තියෙන් යුතු" මිනිසුන් මෙලොව වාසය කරන්නේ ඉතාම අතළොස්සක් බව සිහිපත් කළ යුතු ය. එම මහඟු අවස්ථාව දැන් ඔබට ද උදා වී ඇත. පිළිගැනීම හෝ නොගැනීම බාර ඔබට ය. "මම ක්ෂණ සම්පත්තියෙන් යුතු කෙනෙක්ද?" යන ප්‍රශ්නය මෙය කියවන ඔබට දැන් පහළ වී තිබෙනු ඇති. එය නිර්ණය කිරීමට සරල ක්‍රමයක් ඇත. එය මෙසේ ය.


  • ඔබට චතුරාර්ය සත්‍ය ධර්මය ගැන පිළිබඳ යමක් ශ්‍රවණය වන විට එහි කුමන හෝ ආකාරයක වැදගත්කමක් දැනෙනවාද?


  • "මේ ලෝකයේ හැම දේම දුකයි" කියා කිසිවෙකු කියනු ඇසෙන විට ඔබටත් "මේ කියන දේ ඇත්ත නේ?" කියා සිතෙනවාද?


  • ඔබ අත්දුටු යම් දුකකට හේතුව ඔබ ඒ දුකට මුල් වූ කරුණට අනවශ්‍ය ලෙස ඇලුම් කිරීම බව කවදා හෝ සිතී තිබෙනවාද?


  • ආර්ය අෂ්ටාංගික මාර්ගය, සතිපට්ඨාන භාවනාව ගැන කියන විට ඒ ගැන සුලු හෝ කුතුහලයක් ඔබට ඇතිවෙනවාද?


  • එසේත් නැතිනම් අඩු තරමින් මෙම සටහන කියවන විට What a bullshit කියා නොසිතී, මේ කියන දෙයෙහි කුඩා හෝ වැදගත්කමක් ඇතැයි හැඟෙනවාද?

පිළිතුර "ඔව්" නම් ඔබට ද ක්ෂණ සම්පත්තිය ඇත!

පිළිතුර "නැත" නම් මෙම සටහන තවදුරටත් කියවීම ඔබේ කාලය නාස්ති කිරීමකි. ඔබට තවත් සිය දහස් වාරයක් මැරි මැරී ඉපදෙමින් ගොස් ඉහත කරුණු අවබෝධ වූ දිනෙක නැවතත් ධර්ම මාර්ගයට පිවිසිය හැකි වනු ඇත.

පිළිතුර "ඔව්" වුව ද කරුණු හරියාකාරව "බුද්ධියෙන්" වටහා නොගතහොත් ඔබ ලබා තිබෙන ක්ෂණ සම්පත්තිය වැඩි කලයක් යන්නට මත්තෙන් අතුරුදන්ව යාමට බැරි නැත. එබැවින් එම මහඟු සම්පත ඔබෙන් ගිලිහී යාමට නොදී පරෙස්සම් කරගන්න. මන්ද ඔබට නොසිතුනත් අති බහුතරයක් වූ මිනිසුන්ට මෙවන් කරුණු කියන විට සිතෙන්නේ "මේවායින් අපට ඇති වැඩේ මොකක්ද? මේ ඉන්න ටික කරදරයක් නැතුව, හොඳට හිටියාම ඇති, මැරුණයින් පස්සෙ අපට වෙන්නෙ මොනාද කියල කවුද දන්නෙ?" කියා පමණක් වන බැවිනි. ඔබ ලබා තිබෙන ක්ෂණ සම්පත්තිය නැති වී ගොස් ඔබේ චින්තනය ද ඉහත මතයෙන් ප්‍රතිෂ්ඨාපනය වීමට ගතවන්නේ තත්පරයෙන් දහසෙන් පංගුවකටත් අඩු කාලයකි. ඊට හේතුවක් නම් ඔබ වැඩි වැඩියෙන් සමාජය සමඟ බද්ධ වන විට, ඔබ වැඩි වැඩියෙන් ආශාවන් ඇතිකරගන්නා විට ඉහත ඔබ වටහාගත් "විශ්වීය සත්‍යය"ට වඩා "වැදගත්" කරුණු ඔබේ සිතට නැගෙන බැවිනි. සාමාන්‍ය ලෝක ස්වභාවය එයයි. සත්‍යය සෑම විටම වැසී පවතින්නේ "මිථ්‍යාව" යන ඝන අන්ධකාරයෙනි. එය දුරස් වන්නේ ඉතා සුලු වේලාවකට පමණි. කරගන්නා දෙයක් ඒ ටිකට කර නොගතහොත් නැවතත් වැටෙන්නේ ඝන අන්ධකාරයටම ය. පුදුමය නම් බෞද්ධයන්ට ද මෙය එක ලෙස සත්‍ය වීමයි. බෞද්ධයා ද මෙය සංකල්පයක් වශයෙන් තේරුම් නොගතහොත් බෞද්ධකමින් වැඩක් වන්නේ නැත. එය සිදු වීමට පෙර ඔබ වහ වහා මෙම චතුරාර්ය සත්‍ය මාර්ගයේ යම් දුරක් වත් ගමන් කළ යුතු ය. බුදුරජාණන් වහන්සේ තම අවසන් මොහොතේ ද ප්‍රකාශ කළේ "වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදෙථ" කියාය. එහි තේරුම "සියලු සංස්කාර ධර්මයෝ නැසෙනසුලු ය. වහා කරුණු සම්පාදනය කරගන්න" යන්නයි. (ඇතැමුන් මෙහි අවසන් පාඨය, "නොපමාව කුසල් දම් හි නිරතවන්න" ලෙස වෙනස් කිරීමට උත්සාහ දරනු පෙනේ. මෙය සම්පූර්ණ වැරදි ය. කුශලකර්ම යනු ජීවිතයේ තාවකාලික සැපයට හේතුවන කරුණු වුවද නිවන් අවබෝධය ලැබීමට නම් කුශලකර්ම ද ප්‍රහාණය කළ යුතු ය. විදර්ශනා නොවඩා දිගින් දිගටම කුශලකර්මයන්හි පමණක් නිරත වෙමින් සිටීමෙන් සිදුවන්නේ සසර තව තවත් දීර්ඝ වීම පමණි. බුදුරජාණන් වහන්සේ එය අනුමත කළේ නැත) . "කරුණු සම්පාදනය කරගන්න" යන්නෙහි සැබෑ තේරුම නම් චතුරාර්ය සත්‍යය, පටිච්චසමුප්පාදය යන මේවා අධ්‍යයනය කොට, ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව ජීවත් වී, සතර සතිපට්ඨානය ඇතුලු විදර්ශනා වඩන්න යන්නයි. පැවිදි නොවූ කෙනෙකුට මේ සඳහා මහා නිදහසක් නොමැති වුවද හැකි උපරිමයෙන් එය කරන මෙන් බුදුන් වහන්සේ දේශනා කළ සේක. ජීවත් වන සෑම කෙනෙකුගේම අරමුණ විය යුත්තේ කෙසේ හෝ සෝවාන් වීමයි. මන්ද අපායගාමී වී මහා දුක් විඳීමට සිදු නොවන බවට සහතිකයක් ලැබන්නේ එවිට පමණක් වන බැවිනි. යමෙකු ජීවත් වන කාලයේ ඉතා යහපත් ලෙස ජීවත් වුවද අත්වැරදීමකින් සිදුවන සුළු පාපයක් නිසා කළ හොඳ සියල්ල වැළලී ගොස් අපායගාමී වීමට ඉඩ ඇති බැවිනි ඒ. සෝවාන් වීම සඳහා පැවිදි වීමට අවශ්‍ය නැත. අඩුතරමින් බෞද්ධයෙකු වීම වත් ඊට ඇවැසි නොවේ. ඒ බව උපතිස්ස-කෝලිත නිදර්ශනයෙන් පැහැදිලි වේ. බුදු සමයේ බොහෝ දෙනා මහණ වූයේ සෝවාන් වීමෙන් අනතුරුවයි. එසේම සෝවාන් වී මහණ නොවූ පිරිස ද අති විශාල ය.


 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Rest

මෙතැන් පටන් ලිපිය ප්‍රගමනය වන්නේ ගිරිමානන්ද සූත්‍රය පාදක කරගෙන ය. ගිරිමානන්ද සූත්‍රය යනු ගිරිමානන්ද හිමියන් රෝගාතුර වූ අවස්ථාවේ උන්වහන්සේ සුව වීම උදෙසා ආනන්ද තෙරුන්ට කීමට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ධර්මයයි.

චතුරාර්ය සත්‍ය මාර්ගයේ ගමන් කිරීමට සුලු හෝ අදිටනක් ඇතිකරගත් ඔබට එය පටන්ගැනීමට ස්ථානයක් (starting point) මෙම සූත්‍රයෙන් විස්තර කෙරේ. මෙහි එන්නේ චතුරාර්ය සත්‍ය මාර්ගයේ ගමන් ගන්නා "සිහි බුද්ධිය ඇති" පුද්ගලයාට තම ජීවිතය දෙස බැලීම සඳහා (ජීවිතය අධ්‍යයනය කිරීමට) බුදුරජාණන්වහන්සේ දේශනා කළ ක්‍රම/ආකල්ප දහයකි. ඒවා නම්,

1. අනිත්‍ය සංඥා - ජීවිතය අනිත්‍ය වශයෙන් බලන ක්‍රමය. ශරීරය රූපයක්, රූපය අනිත්‍ය දෙයක් ලෙස සිතන්න.ඇසට යම් රූපයක් ගැටුණු විට, කණට යම් ශබ්දයක් ඇසුණු විට, නාසයට යම් ගන්ධයක් දැනුණු විට, දිවට යම් රසයක් දැනුණු විට, සමට යම් ස්පර්ශයක් දැනුණු විට, මනසට යම් හැඟීමක් දැනුණු විට විඳීමක් හටගනී. ඒවා අනිත්‍ය (වැඩිකල් නොපවතින, අස්ථිර) ලෙස දකින්න.




2. අනත්ථ (අනාත්ම) සංඥා - මේ ලෝකයේ කිසිවක් තමාට අයත් නැත. ඔබේ ජීවිතයට වත්, ඔබේ ඇසට වත්, ඔබේ කණට වත්, ඔබේ නාසය වත්, ඔබේ දිවට වත්, ඔබේ ශරීරයට වත්, ඔබේ මනසට වත් ඔබට අයිති නැත! ඒවාට අයිතිකාරයෙක් ද නැත. නමුත් අප ඒවාට බැඳී සිටින නිසා අප සිතන්නේ ඒවා අපේම කියාය. ඇසට රූපයත්, කණට ශබ්දයත්, නාසයට ගන්ධයත්, දිවට රසයත්, සමට ස්පර්ශයත්, මනසට සිතුවිල්ලත් බැඳතබන රැහැන වන්නේ ආශාවයි. එම රැහැන කපා දැමූ විට ඒවා නිදහස් වේ. එකෙණෙහි ම ඉපදීම හා මරණය ප්‍රමුඛ සංසාර චක්‍රය ද අවසන් වේ.



3. අසුබ සංඥා - මිනිසා ලෝකය සෑම විටම දකින්නට පුරුදු වී සිටින්නේ සුබ දෙයක් ලෙසයි. උදාහරණයක් ගමු. වෙළෙන්දෙකුට ඇඳුමක් විකුණාගැනීමට අවශ්‍ය වූ විට එය අන්දන්නේ සුබ සංඥාවකටයි. වෙළෙන්දෙකුට ආභරණයක් විකුණාගන්නට අවශ්‍ය වූ විට එය පළන්දන්නේ සුබ සංඥාවකටයි. වෙළෙන්දෙකුට වාහනයක් විකුණාගැනීමට අවශ්‍ය වූ විට ඊට හේත්තු කරන්නේ සුබ සංඥාවකි. මෙහිදී සුබ සංඥාව කුමක්දැයි පැවසීම අවශ්‍ය නොවේ. නමුත් සැබෑ බුද්ධිමය ප්‍රාතිහාර්යය වන්නේ මෙම සුබ සංඥාව අනෙක් පැත්ත හැරවීමයි. එනම් ඒ තුළ ගැබ්ව පවතින අසුබ පැත්ත, දුක්ඛිත පැත්ත විනිවිද දැකීමයි. නිකමට සිතන්න, කාන්තාවගේ කොණ්ඩය ගැන කොතරම් කවියන් කවි ලියා ඇත්ද? කාන්තාවගේ ඇස් ගැන කවියන් කොයි තරම් කවි ලියා ඇත්ද? කාන්තාවගේ පියයුරු ගැන කවියන් කොයි තරම් කවි ලියා ඇත්ද? කාන්තාවගේ ඉඟසුඟ ගැන කවියන් කොයිතරම් නම් කවි ලියා ඇත්ද? මෙම සියල්ලන්ම කළේ මෙම ශරීරය වර්ණනා කිරීමයි. ඔවුන් අදත් කරන්නේ එයමයි.බුදුරජාණන්වහන්සේ මේ සියල්ලට පිළිතුරු දුන්නේ එක් අකුරකිනි. "චී...................." බුදුන් වහන්සේ දේශනා කළේ ඇත්ත ඇති සැටියෙන් දකින ලෙසයි. කුණුගොඩ කුණුගොඩක් ලෙස දකින ලෙසයි!


4. ආදීනව සංඥා - තමාට සිදුවන සෑම දුක් කරදරයක්ම වන්නේ තමාට ලැබී තිබෙන ශරීරය නිසාය යන වග ඔබ තේරුම්ගත යුතුය. ඔබට ලෙඩරෝග හැදෙන්නේ, ඔබට සීතල දැනෙන්නේ, ඔබට දහඩිය දමන්නේ, මෙකී නොකී සියලු දුක් කරදර රෝග පීඩා ඇතිවන්නේ ඔබේ ශරීරය නිසා ය. ශරීරය නොතිබ්බා නම් ඔබට කිසි දුකක් නැත. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේවා "හිතන්න...." කියා ය.


5. පහාණ සංඥා - ඉහත කරුණු දෙස බලන විට ඔබ පත්ව සිටින්නේ මහා අවුලකට බව ඔබට තේරුම් යා යුතු ය. ඔබ පත් වී සිටිනා අවුල ලිහාගත යුත්තේ ඔබම ය. ඒ සාඳහා ඔබ ඔබ තුළ උපන්නා වූ කාම විතර්කය ප්‍රහාණය කළ යුතුය. ආස කරන රූප, ආසන කරන ශබ්ද, ආස කරන ශබ්ද, ආස කරන රස, ආස කරන ස්පර්ශ ගැන හැඟීම් ඇති වූ විට ඒවා ගැනම නැවත නැවත සිතමින් සිටීමට ඔබ කැමතිය. ඔබට ඔබ පත්ව සිටින දුකින් නිදහස් වීමට නම් එය නැවැත්විය යුතුය. බැහැර කළ යුතුය. දුරුම දුරු කළ යුතුය. නැවත ඇතිවන්නට ඉඩ නොදිය යුතුය. මෙය කළ නොහැකි නිසාමයි හැම කෙනෙක්ම දුකින් දුකට පත් වෙන්නේ. එසේම ඔබ තුළ පහළ වූ ව්‍යාපාද විතර්කය ද ඔබම ප්‍රහාණය කළ යුතුය. අසවලා මට බැන්නා, අසවලා මට කතන්දර හැදුවා, අසවලා මට නින්දා කළා, අසවලා මා නොසලකා හැරියා යනාදී අදහස් ඇතිවන විටම බැහැර කර දුරුම දුරු කළ යුතුය.




6. විරාග සංඥා: සාමාන්‍ය ජීවිතයේ අප වඩාත් ප්‍රිය කරන්නේ රාගයටයි. උපරිම සැපය රාගය යැයි සිතීමට අපි පුරුදු වී සිටිමු. නමුත් සැබෑවටම එය මිථ්‍යාවකි. රාගයේ අවසන් ප්‍රත්ඵලය දුකකි. සැබෑ සැපය තිබෙන්නේ රාගී වූ සියලු සංස්කාර දුරු කළ (තණ්හාව ක්ෂය කළ) විරාගී වූ නිවනෙහිම පමණක් බව අප සිහි කළ යුතුය. නමුත් විරාගය එක් වරම ඇතිවන්නේ නැත. ඊට ප්‍රථමයෙන් ඔහුට කළකිරීම ඇතිවිය යුතුය. කළකිරීම එක්වරම ඇතිවන්නේ නැත. ඊට පළමුව ඔහුට යථාභූත ඥාණය (ඇත්ත ඇතිසැටියෙන් දැකීමේ නුවණ) ඇතිවිය යුතුය. ඇත්ත ඇතිසැටියෙන් දැකීමේ නුවණ එක්වරම ඇතිවන්නේ නැත. ඊට පළමුව ඔහුට සමථයත් විදර්ශනාවත් වැඩිය යුතුය. කෙනෙකුට ලැබිය හැකි උපරිම සැපය විරාගයයි. විරාගයේ ලක්ෂණ කිහිපයකි. අප සාමාන්‍ය ජීවිතයේ ඕනෑම දෙයක් විඳිද්දී අපේ ශරීරය පඨවි-තද ගතිය, ආපෝ-තෙත් ගතිය, තේජෝ-උණුසුම, වායෝ-වායුමය ස්වභාවය යන සතර මහා භූතයන්ගෙන් එකක් හෝ වැඩි ගණනක් හෝ, ඇස, කණ, දිව, නාසය, සම, මනස යන ඉන්ද්‍රීය සයෙන් එකක් හෝ වැඩිගණනක් හෝ, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු වලින් එකක් හෝ වැඩි ගණනක් හෝ, රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයෙන් එකක් හෝ වැඩි ගණනක් හෝ, මෙලොව හෝ පරලොවට ඇසුරු කරගෙන පවතී. නමුත් නිවන මේ එකක් වත් ඇසුරු කරගෙන නැත. නමුත් කිසිවක්ම නැති බව නොවේ. එතැන යම් සංඥාවක් (හඳුනාගැනීමක්) පවතී. එම සංඥාව හඳුන්වන්නේ 'විරාග සංඥාව' යන නමිනි. විරාගය යනු ඉහත කී කිසිවක් සමඟ නොඇලී, නොගැටී සිටීමයි.
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Rest.

7. නිරෝධ සංඥා: නිරෝධ සංඥාව යනු සියලු ඇලීම් නිරෝධනය කිරීමයි. නිරෝධනය කිරීම යනු දුරු කිරීමයි. මෙහි අරමුණ වන්නේ නිවන සාක්ෂාත් කරගැනීම ය. නිවන යනු කුමක්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සිව් මහා ධාතු, ආකාස ධාතුව, විඤ්ඤාණ ධාතුව, මෙලොව, පරලොව, ආකාසඤ්ඤායතන, ආකිඤ්චායතන යනාදී කිසිදු දේකට නොබැඳී නිදහස්ව, නිවහල්ව සිටීම නිවනයි. තව ද සමථයත්, විදර්ශනාවත් තුලින් යථාභූත ඥාණය (ඇත්ත ඇතිසැටියෙන් දැකීමේ නුවණ) ඇති වී, ඇත්ත ඇතිසැටියෙන් දැකීම හරහා කළකිරීම ඇතිවී, කළකිරීම නිසා ඇල්ම දුරු වී, ඇල්ම දුරු වීම නිසා තණ්හාව ක්ෂය වී, තණ්හාව නැති කිරීමෙන් ලබන අත්දැකීම නිවන නම් වේ.


8. සබ්බ ලෝකේ අනභිරථ සංඥා: සෑම ලෝකයක් පිළිබඳව ම ආශාව දුරු කරගැනීම මෙමගින් අදහස් වේ. සැකෙවින් කිවහොත් එහි අභිප්‍රාය ඊළඟ මොහොත ගැන ආශාව දුරු කිරීමයි. "ජීවත් වන තුරාවට බලාපොරොත්තුවක් ද ඇත" යනුවෙන් කියමනක් ද වේ. මෙය සත්‍ය ය. එබැවින් මෙහිදී අප උත්සාහ ගත යුත්තේ ඉපදීම වැලැක්වීම සඳහා "බලාපොරොත්තුව" නැති කිරීමයි. හෙට දවසේ මගේ රාජකාරිය සාර්ථක වේවා, මරණින් මතු මට හොඳ තැනකට යන්නට ලැබේවා යනාදී "බලාපොරොත්තු" නැතිකර දැමීම මින් අදහස් වේ. නිර්වාණාවබෝධය සඳහා එය ඉතා වැදගත් වේ. මන්ද අප ජීවත් වන්නේ "බලාපොරොත්තු" නිසා වන හෙයිනි.


9. සබ්භසංඛාරේසු අනිච්ච සංඥා: මෙහි අර්ථය නම් සියලු සංස්කාර (හේතු නිසා හටගත් දේ) පිළිබඳ අප්පිරියාවක්, හිරිකිත බවක්, පිළිකුළක් ඇතිකරගැනීමයි. අප සංසාරයේ සැරිසරන්නේ අපට අප වටා පවතින දේවල් පිළිබඳ අප්පිරියාවක්, හිරිකිතයක්, පිළිකුළක් නැති නිසා ය. එසේ පිළිකුළක් ඇති වීම සසර දුකින් නිදහස් වීම සඳහා මහත් ප්‍රයෝජනවත් වේ.


10. ආනාපානසති: ආනාපානසතිය යනු සිහිය පිහිටුවාගැනීමයි. මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවකි. සෑම දෙනාටම මෙය එකම ආකාරයෙන් කළ නොහැක. සැබැවින්ම කිවහොත් මෙය සැබෑ බුද්ධිමතුන්ට පමණක් වැටහෙන ක්‍රමයකි. බුදුරජාණන් වහන්සේම දේශනා කළපරිදි මෙය සෑම කෙනාටම කීමට සුදුසු නොවේ. එසේ සුදුසු නොවන්නන්ට අනුගමනය කිරීමට වෙනත් ක්‍රම ඇත. ආනාපානසතිය වඩන කෙනෙකුට ඉතාම සුදුසු ක්‍රමය නම් තමාගේ හුස්ම ඉහළ පහළ යාම පිළිබඳ කල්පනාවෙන් සිටීමයි. නිවැරදිව, එක දිගට මෙම භාවනාව පුරුදු කළහොත් මේ හරහාම කෙනෙකුට නිවන් දැකිය හැක. එහි පියවර මෙසේ ය.


  • භාවනානුයෝගියා තම දීර්ඝ ආශ්වාසයන්, දීර්ඝ ප්‍රශ්වාසයන්, කෙටි ආශ්වාසයන්, කෙටි ප්‍රශ්වාසයන් පිළිබඳ ඉතා හොඳින් හිහිය පිහිටුවාගනී.
  • එවිට ඔහුගේ සිහිය වැඩීමට පටන්ගනී.
  • ආශ්වාස, ප්‍රාශ්වාස සැහැල්ලු වෙමින් යයි
  • සිත එකඟ් වීමට පනට්ගනී.
  • සිත එකඟ වීමට පටන්ගත් විට සිතට සනීපයක් ඇතිවේ. (මෙය සමාධිය නම්වේ)
  • එවිට ඔහුගේ සිතට ප්‍රීතියක් ඇතිවේ.
  • ප්‍රීතිය ගැන තේරුම් ගනිමින් ඔහු ආශ්වාස ප්‍රශ්වාස කරයි.
  • සිතට මෙන්ම කයට ද මහා සැපයක් දැනීමට පටන්ගනී. මෙවිට භාවනානුයෝගියා ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳ තම සිහිය නැතිවී යාමට ඉඩ නොදිය යුතුය. (මන්ද සිතට හා ගතට සැපයක් දැනෙන විට මූලික අරමුණෙන් ඔහු ඉවතට යාමට ඉඩ ඇති බැවිනි).
  • හුස්ම රැල්ල පිළිබඳ අදහස නොව ප්‍රීතියත් සැපයත් ඔහුට ප්‍රකටව පෙනේ.
  • හඳුනාගන්නා දේ, විඳින දේ පිළිබඳ ඉතා හොඳ අවබෝධයෙන් ආශ්වාස ප්‍රශ්වාසය දිගටම කරයි.
  • හඳුනාගන්නා දේත් විඳිනා දේත් ක්‍රම ක්‍රමයෙන් සන්සිඳෙමින්, නැතිවෙමින් යයි. කල්පනාව, සිහිය යන දෙකම ආශ්වාස ප්‍රශ්වාසය යන එකම අරමුණ ඔස්සේ දියුණු වේ.
  • දැන් ඔහුට සිත බලවත් වන විට කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, විචිකිච්ඡා, උද්ධච්ච කුක්කුච්චයෙන් යන පංච නීවරණයෙන් තොර වේ.
  • ඔහු ආශ්වාසයේ, ප්‍රශ්වාසයේ අනිත්‍යය දකී, ප්‍රීතියේ, සුඛයේ, වේදනාවේ, සිතේ යන සියල්ලේම අනිත්‍යතාව දකී.
  • අනිත්‍යතාව දකිමින් දිගටම ආශ්වාස ප්‍රශ්වාස කරයි.
  • ආශ්වාස ප්‍රශ්වාස යනු අවිද්‍යාව මුල් කරගෙන පැවති දෙයකි. මෙහි අවිද්‍යාව නම් ආශ්වාස ප්‍රශ්වාස යන දෙකෙහි අනිත්‍යතාවයි. ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳ අවධානය යොමු කිරීම නිසා ඇති වූ සැහැල්ලුව අනිත්‍ය බව ඔහුට පෙනේ, ඉන් ඇති වූ ප්‍රීතියත් අනිත්‍ය බව ඔහු දකී.
  • මේ වනවිට පුද්ගලයා අවිද්‍යාව හේතුවෙන් හටගත් සංස්කාර අවිද්‍යාවෙන් හට නොගන්නා මට්ටමට ප්‍රඥාව දියුණු කර ඇත.
  • මෙය සිහි කරමින් යන විට අවසානයේදී ඔහුට එක් කරුණක් වැටහේ. එනම් ආශ්වාස ප්‍රශ්වාසය අයත් වන්නේ දුකටයි.
  • දුක කෙරෙහි ඔහු කළකිරේ.
  • ආනාපානසතිය කෙරෙහි ඇති වූ ඇල්ම දුරු වේ. ප්‍රීතිය ගැන තිබූ ඇල්ම දුරු වේ. සිත ගැන තිබූ ඇල්ම දුරුවේ.
  • ටිකෙන් ටික තණ්හාව දුරු වෙමින් යයි. ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි තිබූ ඇල්ම දුරු වෙමින් යයි. තණ්හාව නිරුද්ධ වීම දකිමින් ඔහු දිගටම අශ්වාස ප්‍රශ්වාස කරයි.
  • මේ වනවිට අනාපානාති භාවනාව මුල් කරගෙන ඔහු ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩා අවසන් වේ. එනම් පුද්ගලයා නිවන් දකියි..........

මෙය සමථ භාවනාවක් වූ ආනාපානසතියෙහි පිහිටා විදර්ශනාව වඩන ආකාරය මෙයයි. මෙම කරුණු දහයෙන් අවසන් පහ සංකීර්ණත්වයෙන් ඉතා අධික බව ඔබට තේරුම් යා යුතුය. නමුත් පහසු තැනින් ආරම්භ කර ඉදිරියට ගමන් කිරීමෙන් ඔබට ඉතා හොඳ ප්‍රතිඵල ලබාගත හැකි වේ.

- සමාප්තයි -

යාවජීව පිචේ බාලෝ පණ්ඩිතං පයුරුපාසතී
නසොධම්මං විජාණාති, දබ්බී සූපරසං යථා
මොහොත්තම් පිචේ විඤ්ඤූ පණ්ඩිතං පයුරුපාසතී
ඛිප්පං ධම්මං විජාණාති, ජිව්හා සූපරසං යථා
අඥාණයෙකු දිවි තිබෙන තුරාවට නුවණැත්තෙකු ඇසුරු කළ ද ඔහු ධර්මය නොදකින්නේ හරියටසූපයෙහි රස නොදන්නා හැන්දක් මෙනි.
ප්‍රඥාසම්පන්න මනුෂ්‍යයා එක මොහොතක් නුවණැත්තෙකු ඇසුරු කරයි ද ඔහු වහ වහා ධර්මය අවබෝධ කරගන්නේ හරියට ව්‍යංජන රසය වහා දැනගන්නා දිවක් මෙනි.


ඔබ හැන්දක් ද නැතිනම් දිවක්ද?
තීරණය ඔබට බාරයි.

- ගිරිමානන්ද සූත්‍රයේ අර්ථ විමසුම පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ධර්ම දේශනයක් ඇසුරිනි -
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
හරවත් ලිපියක්.

මම බැලුවා මෙයත් මස්ට් රීඩ් ඒවා දාන්න පටන් අරන් මොකද කියල. ඕක කොපි රයිට් තියෙන මාතෘකාවක්නෙ.
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
හරවත් ලිපියක්.

මම බැලුවා මෙයත් මස්ට් රීඩ් ඒවා දාන්න පටන් අරන් මොකද කියල. ඕක කොපි රයිට් තියෙන මාතෘකාවක්නෙ.

හරවත් ලිපියක් නිසාම තමයි පෝස්ට් කලේ..:)