This article is copied from another blog.
Our acknowledgment goes to the original author.
Our acknowledgment goes to the original author.
පමා නොවන් සොයුර | Brother, don't be too late
අන්තර් ආගමික අධ්‍යයනය (comparative religious study) පිළිබඳ මේ දිනවල බොහෝ කරුණු අසන්නට ලැබුණද ඒ හරහා ගැඹුරු අධ්‍යාත්මික කරුණු සාකච්ඡාවට බඳුන් වූයේ ඉතා කලාතුරකිනි. ධර්මය ගැන කතාකිරීමට යාම වර්තමානයේ බොහෝ දෙනාට ලැජ්ජාවට කරුණක් වන නිසාත් යම් දෘෂ්ටියක සුවිශේෂත්වයක් පෙන්වාදීම ඇතැමුන් "ආගම්වාදය ඇවිස්සීමක්" ලෙස දකින නිසාත් මෙම ලිපියෙන් කියන්නට යන කරුණු සෑම සියලු දෙනාට එක ලෙස ප්‍රයෝජනවත් වෙතැයි මම නොසිතමි. එහෙත් ජීවිතය ගෙවාදමන සම්පූර්ණ කාලාන්තරය මුළුල්ලේ අනන්තවත් වූ ආශා සමුදාය පසුපස හඹා යාම පමණක් ජීවිතයේ එකම පරමාර්ථය නොවන බව පිළිගන්නා, බිලියන හය හමාරක් වූ මිනිසුන් අතරේ තමාට ද යම් ආකාරයක සුවිශේෂත්වයක් ඇතැයි විශ්වාස කරනා, මෙලොව මෙන්ම පරලොවක් ද ඇති බව පිළිගන්නා සෑම දෙනාම මෙම කරුණු සාවධානව අසත්වා!
ලෝකය බිහි වූ දිනයේ පටන් බොහෝ පුද්ගලයෝ "සත්‍යය" සොයා ගියහ. ඇතැම්හු තම අරමුණ සපුරා නොගෙනම මිය පරලොව ගියහ. තවකෙක් "සත්‍යය" සොයාගත්හ. ඔවුහු තමන් දැනගත් සත්‍යය ලොවට හෙළි කළහ. "සත්‍යය" සොයාගත් පුද්ගලයන් අතර අපූරු සබඳතාවක් ඔවුන්ගේ චරිත විශ්ලේශනයෙන් පැහැදිලි වේ. එනම් ඒ පුද්ගලයින් අතරින් එක් අයෙකු හැර අන් සියලු දෙනාම "සත්‍යය" සෙව්වේ තම ශරීරයෙන් පිටත බවයි. ඔවුන්ට "සත්‍යය" හමු වූයේ ඉතා දුර ඈත සිටින, නොපෙනෙන, නොදැනෙන, මහා බලසම්පන්න දෙවියෙකු සන්තකයේ තිබී ය. නමුත් "සත්‍යය" සොයා තමා තුළට ගිය පුද්ගලයා පමණක් අනෙක් "සත්‍යයන්" සියල්ලටම වඩා වෙනස් "සත්‍යයක්" සොයාගත්තේ ය. කවුරු පිළි ගත්තත්/නොගත්තත්, විශ්වාස කළත්/නොකළත් පුද්ගලයා කෙරෙහි බලපවත්වන්නා වූ "සත්‍යය" වන්නේ බාහිරව කෙරෙන බලපෑම නොව පුද්ගලයා "තුළ" පවත්නා "සත්‍යය" බැව් මධ්‍යස්ථ මතධාරී, තාර්කික බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට අපහසුවෙන් හෝ පිළිගැනීමට හැකි යැයි මම උපකල්පනය කරමි. එයට "විශ්වීය සත්‍යය" යන නම ව්‍යවහාර කෙරේ. තමා තුළ පවතින සත්යස සොයා ගිය එම ගවේෂකයා බුදුරජාණන්වහන්සේ පමණක් බව ඔබට දනියි. මා බුදුරජාණන්වහන්සේ දේශනා කළ මඟ විශ්වාස කරන්නෙකු වීම නිසා ද බුදුරජාණන්වහන්සේ දේශනා කළ මඟ යන්නෝ "බෞද්ධයෝ" නම්වන නිසා ද උපතින් බෞද්ධයන් වන පුද්ගලයන් පමණක් වර්තමානයේ එම "විශ්වීය සත්‍යය" දකිතැයි කීමට මා සැරසෙතැයි ඔබ සිතනු ඇත. නැත! මම එසේ නොකියමි. එසේ නොකියන්නේ එසේ කිවහොත් "බෞද්ධයන්" වන සියලු දෙනා සත්‍යයම මාර්ගය ම අනුගමනය කරන බවට වූ වැරදි අදහසක් ඔබ තුළ ජනිත වන බැවිනි. ඇත්ත කතාව නම් බෞද්ධයන්ගෙන් ද සියයට දශම එකක් වත් මෙම "විශ්වීය සත්‍යය" යනු කුමක්දැයි නොහඳුනන බව ය. "විශ්වීය සත්‍යය" නම් චතුරාර්ය සත්‍යයයි. චතුරාර්ය සත්‍යය නම් දුක, දුකට හේතුව, දුකින් මිදීම, දුකින් මිදෙන මඟ යන මේවා ය. විශ්වයේ පරම සත්‍යය මෙයයි. මනුෂ්‍ය ජීවිතය තුළදී මෙම සත්‍යය දැකීමේ උත්කෘෂ්ට වාසනාව "ක්ෂණ සම්පත්තිය" නම්වේ. "ක්ෂණ සම්පත්තිය" නම් මනුෂ්‍ය ජීවිතය හා චතුරාර්ය සත්‍යය හමුවීමයි.
"විශ්වීය සත්‍යය" යනු කුමක්දැයි ගවේෂණය කර, එය චතුරාර්ය සත්‍යය බව හඳුනාගෙන, ලොවට දේශනා කළ එකම ශාස්තෘවරයා බුදුරජාණන් වහන්සේ ය. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ කළේ පර්යේෂණයකි. ඔහු ළඟට කිසිදු දෙවියෙකු පැමිණ, කණට කර, "සත්‍යය මෙන්න මේකයි. මෙය ගිහින් ලෝකයට කියන්න" කියා හොර රහසේ කීවේ නැත. ඒ වෙනුවට උන්වහන්සේ මහත් දුකක් දරා මෙය කුමක්දැයි කියා තනිවම සෙව්වේ ය. සෙව්වේ කොහේද? ඒ වෙන කොහේවත් නොවේ. විශ්වයේ ඈත කොණේ නොවේ. විශ්වීය සත්‍යය සැඟවී තිබෙන තම සිත තුළම ය. බුදුන් වහන්සේ සොයාගත් මෙම සත්‍යයේ ඇති තර්කානුකූල භාවය අසමසම ය. ඊට ළං කිරීමට වෙන කිසිවක් නැත. ඇයි එය මේ තරම් තර්කානුකූල? තර්කානුකූල වන්නේ එය මෙම සැඟවුණු "විශ්වීය සත්‍යය" බාහිර සාධකයකට, තමාට පාලනය කළ නොහැකි දෙවි කෙනෙකුට පිරි නොනමා තමා තුළම, තමාට නොපෙනෙන ලෙස සැඟවී ඇති බව ප්‍රකාශ කරන බැවිනි. මානව චින්තනයේ අග්‍රඵලය එයයි....!
එය සොයාගැනීමෙන් අනතුරුව උන්වහන්සේ ලොවට කීවේ "මම සොයාගත් සත්‍යය ඔබ ද සොයාගන්න" යන්නයි. ඒ හැර උන්වහන්සේ කිසිවෙකුටත් තමාගේ ධර්මය අවබෝධ කරගැනීම පිණිස තම අනුගාමිකයෙකු වීම අවශ්‍ය යැයි කීවේ නැත. සැකෙවින් කිවහොත් බුදුන් වහන්සේ දේශනා කළ "චතුරාර්ය සත්‍යය" අවබෝධ කරගැනීමට "බෞද්ධයෙකු" වීම කිසිසේත් ම අවශ්‍ය නැත! ඊට හොඳම උදාහරණය නම් පසු කලෙක බුදුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වූ උපතිස්ස, කෝලිත පරිබ්‍රාජකයන්ගේ කතාවයි. පරිබ්‍රාජක යනු එදා සමාජයේ සිටි, බුදු දහමට එරෙහි ප්‍රධානතම ආගමික කණ්ඩායමකි. එය හරියට අපේ සමාජයේ ඉස්ලාම් හෝ ක්‍රිස්තු බැතිමතෙකුට සමාන තත්ත්වයකි. ඔවුන් සෝවාන් ඵලයට පත්වන විට මහණ වීමට තබා බෞද්ධයන් වීමට වත් සිතා තිබුණේ නැත. කොයි තරම් පුදුමයක්ද? අනෙක් ආගම් වලට සාපේක්ෂව කොතරම් වෙනසක්ද? ඕනෑම කෙනෙකුට නිර්වාණ මාර්ගයට පිවිසීමට අවශ්‍ය වන්නේ තියුණු මනසකුත්, නොසැලෙන අධිෂ්ඨානයකුත් පමණි. නමුත් මේවා කියන විට සමාජයෙන් චෝදනා එල්ල වන්නේ "ආගම්වාදියා" කියා ය. එසේ කියන තාක් කල් එසේ චෝදනා කරන්නන්ට සිදුවන්නේ මඩ ගොඩේ එරි එරී, මඩ නාමින්, මඩ කමින් ම ජීවත් වීමට ය. මඩ ගොඩෙන් ගොඩ ඒමට දඟලන වාරයක් වාරයක් පාසා ඔවුනට සිදුවන්නේ තවතවත් මඩ ගොඩේ එරීම ම පමණි.
සැබැවින්ම කිවහොත් බෞද්ධ, අබෞද්ධ යනුවෙන් බුදුරජාණන්වහන්සේ කිසිවෙකුත් බෙදා දැක්වූයේ නැත. වර්තමානයේ බොහෝ බෞද්ධයන් නමට පමණක් බෞද්ධයන් වන සන්දර්භයක් තුළ, එවන් පුහු බෞද්ධයෙකු සහ අන්‍යාගමිකයෙකු අතර සැළකිය යුතු වෙනසක් බුදු සමය දකින්නේ නැත. කෙනෙකු බෞද්ධ දර්ශනය පිළිගත්ත ද, කෙනෙකු "විශ්වීය සත්‍යය" තිබෙන්නේ බුදුන් වහන්සේ කළ පර්යේෂණයේ ප්‍රතිඵල මත බව පිළිගත්ත ද එමගින් පමණක් ඔහුගේ "බෞද්ධ"භාවය සම්පූර්ණ වන්නේ නැත. ඒ සඳහා ඔහු අනිවාර්යයෙන් ලැබිය යුතු තවත් අවබෝධයක් වේ. එය ඉහත සඳහන් කළ "ක්ෂණ සම්පත්තිය"යි. ක්ෂණ සම්පත්තිය නොලැබූ බෞද්ධයා සහ දේවවාදියා යන දෙදෙනා අතර වෙනසක් නැත. සැබැවින්ම බෞද්ධ/ අබෞද්ධ ලෙස වර්ගීකරණය කිරීමට වඩා උචිතම වර්ගීකරණය ක්ෂණ සම්පත්තිය ලැබූ/නොලැබූ යන ලෙස වර්ගීකරණය කිරීමයි.




