ඇමැති මණ්ඩලය අඩු කිරීමෙන් ඉදිරි මාසය තුළ පමණක් රජයට රුපියල් කෝටි තුනක මුදලක් ඉතිරිකරගත හැකි බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ පාලන කාලයේදී එලෙස මැතිවරණයට පෙර සිය ඇමැති මණ්ඩලය අඩු කරමින් රටට ආදර්ශයක් ලබා දුන් බව සිහිපත් කළේය.
පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් පෙරේදා හලාවත සුදසුන ශාලාවට කැඳවා තිබූ එම පක්ෂයේ දිස්ත්‍රික් සම්මේලනයේදී මේ බව සඳහන් කළ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් මෙසේ ද කීය.
එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවක් පිහිටුවා ඇමැති මණ්ඩලය පත්කරනවා නම් ඒ ඇමැති මණ්ඩලය 35 දක්වා අඩු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශකොට තිබෙනවා.
මෙලෙස ඇමැති මණ්ඩලය අඩු කිරීමට මැතිවරණය අවසන් වන තෙක් සිටින්නේ මන්දැයි අපි ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට කැමැතියි. එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පාලන කාලයේ දී මැතිවරණයට මුහුණදීමට පෙර ඇමැති මණ්ඩලය අඩු කළා සේ මේ ඇමැති මණ්ඩලය ද අඩු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් අප ඉල්ලා සිටිනවා.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය 112 දක්වා මේ වනවිට වැඩි වී තිබෙනවා. මේ අය අද මහජනතාවට විශාල බරක් වී තිබෙනවා. එක් ඇමැතිවරයෙකුට වාහන 5 කට අධික සංඛ්‍යාවක් ලබාදී තිබෙනවා. විශාල කාර්යාල පවත්වාගෙන යනවා. එමෙන්ම සේවකයන් විශාල පිරිසක් රැකියාවල නියුතුව සිටිනවා. ඔවුන්ගේ පඩි නඩි ගෙවනවා පමණක් නොව ඇමැතිවරු මසකට ලක්ෂයකින් තම වැටුප වැඩිකර ගෙන තිබෙනවා. මේ බර ජනතාවට දරාගත නොහැකියි.
ජනතාව මත පැටවී තිබෙන මේ බර අඩු කිරීමට නම් ඇමැති මණ්ඩලය අඩුකළ යුතුයි. 1988 වසරේ ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු එවකට පැවැති ආණ්ඩුව විසුරුවා හැරියා. ඒ අවස්ථාවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත්, අනුර බණ්ඩාරනායක සහ මහින්ද රාජපක්ෂ මහත්වරු ප්රමුඛ තවත් පිරිසක් ජනාධිපතිතුමා හමුවේ ප්‍රකාශ කළේ එම ඡන්දය නිදහස් හා සාධාරණ එකක් වීමට නම් ඔබේ ඇමැති මණ්ඩලය අඩු කළ යුතු බවයි.
එවකට සිටි කැබිනට් මණ්ඩලයට තිබුණේ වාහන පහසුකම් පමණයි. ඒ අනුව ජනාධිපති ධුරයේ රණසිංහ ප්‍රේමදාස මහතා දිවුරුම් දුන් වහාම කැබිනට් නොවන ඇමැතිවරුන්ට සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ට වහා ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන්නා.
ඒ අවස්ථාව වනවිට සමරවීර වීරවන්නි සහ ගාමිණී අතුකෝරාළ යන නියෝජ්‍ය ඇමැතිවරු දෙදෙනා මා යටතේ සිටියා. මෙලෙස නියෝජ්‍ය ඇමැතිවරු සහ කැබිනට් නොවන ඇමැතිවරු අඩුකිරීමෙන් සෑහීමකට පත් නොවූ ප්‍රේමදාස ජනාධිපතිතුමා කැබිනට් ඇමැතිවරු පවා ඉවත් කලා. එදා මෙලෙස ඇමැති මණ්ඩලය අඩුකර රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුවත් අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මැතිවරණයට පෙර තමන්ට ඇමැති මණ්ඩලය අඩු කළ නොහැකි බවයි. මැතිවරණය අවසන් වීමෙන් පසු ඇමැති මණ්ඩලය 35 දක්වා අඩුකරන බව මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරනවා. නමුත් එලෙස ඇමැති මණ්ඩලය 35 දක්වා අඩුකරනවා නම් එය මේ සතිය අවසන් වීමට පෙර අඩු කරන ලෙස මා අභියෝග කර සිටිනවා.
