ජංගම දුරකතන
ජංගම දුරකතන
සිරකරුවන්ට ජංගම දුරකතන ලැබෙන ක්‍රම ද කිහිපයකි. සමහර බන්ධනාගාර නියාමකවරුන්ට (සමහර ජේලර්වරුද මේ කටයුතුවල යෙදී සිටිති) රුපියල් පන් දහසක් දුන්නොත් රුපියල් දෙදහස් පන්සීයක් හෝ තුන් දහසක් වටිනා ජංගම දුරකතනයක් ලබා ගත හැකි ය. අනිත් ක්‍රමය නම් අධිකරණයට ගොස් එද්දී ගුද මාර්ගයට ඇතුල් කරගෙන ය. ජංගම දුරකතනයත්, චාජරයත් යන දෙකම එකවර මෙසේ ගුද මාර්ගයට ඇතුළු කරගෙන හිරගෙදරට රැගෙන එන සිරකරුවෝ ද සිටිති.
සිරකුටි පරීක්ෂා කරන අවස්ථාවලදී යට ඇඳුම් තුළ හෝ ගුද මාර්ගයේ මේවා සඟවා ගනිති. නොඑසේ නම් සිර කුටිවල ඇති රහස් ගුල්වල සඟවා තබති. නොඑසේ නම් පරීක්ෂාවට පැමිණෙන ගාඩ්වරයාට රුපියල් පන්සියයක් දහසක් අතමොලවා දුරකතනය බේරා ගනී.
රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින්නන් බැලීමට සිය ඥාතීන්ට දිනපතා වුව පිළිවන. එසේ ම ඕනෑම ආහාර පාන වර්ග ද ලබා දිය හැකි ය. මේ ආකාරයෙන් සිර ගෙදරට මිදි, ඇපල් පවා ලැබේ. කේක්, බිස්කට් ආදී සෑම ආහාර වර්ගයක්ම ලැබේ. අච්චු ලැබූවන් මේවා මිලදී ගනී.
සිරකරුවන්ට සිගරට් තහනම් නැත. එබැවින් සිගරට් හොර මාර්ගයෙන් ලබාගත යුතු නැත. ගංජා, දුම්කොළ ආදිය ද බන්ධනාගාරවල ඕනෑම වෙලාවක, ඕනෑම තරමක් මිල දී ගැනීමට හැකි ය. අවශ්‍ය මුදල් පමණි.
“මීට අවුරුදු 3කට කලින් මම දෙසැම්බර් 31 වැනිදා දිනෙක රෑ හොඳටම මත් වෙනකම් ගංජා බිව්වා. අන්තිමට වමනෙත් ගියා. එදායින් ගංජා බීම නැවැත්වුවා. ආයි දවසක් අරක්කු බෝතලයක් ම බිව්වා. “
මේ සිරකරුට මේවා ලැබුණේ කෙසේ ද ?
සමහර සිරකරුවන්ට මෙට්ට ඇත. කොට්ට, පැදුරු බාරව සිටිනා ගාඩ්වරුන්ට කීයක් හෝ අතමෙල වූ පසු කොට්ට 4ක් 5ක් වුව ලබා ගත හැකි ය. පෙරවීමට දෙන ඇතිරිල්ල මුට්ටුකර කොට්ට ගලවා පුළුන් ඒ තුළට දමා මෙට්ටය සකසා ගනී.
සිරකුටි තුළ ආහාර පිස ගන්නා සිරුකරුවන් ද වේ. සිරකරුවන්ගේ ප්‍රයෝජනය සඳහා තහඩුවලින් නිෂ්පාදිත කුඩා බාල්දි වැනි උපකරණ ලබා දේ. හිස ගැල්වීමට පොල්තෙල් ද ලබා දේ නොඑසේ නම් මිලදී ගනී. ඇද ඇතිරිල්ලකින් පටියක් ඉරා මහත පාන්තිරයක් ලෙස අඹරා එය ඇලුමිනියම් භාජනයේ ඇතුළත දරණුවක් ලෙස අතුªරයි. දැන් ඒ තුළට පොල් තෙල් දමා තිරය අවුලුවා ලිප සකසා ගනී සමහර සිරකරුවන් හොට් ප්ලේට් ද සාදාගෙන ඇත. කුඩා බාල්දියක පතුල ගලවා වටේ සිදුරු කර එය ලිප උඩින් තබා ඒ මත තවත් බඳුනක පිළියෙළ කළ ආහාරය පිස ගනී.
බොහෝ විට ලැබෙන මස් හොද්ද තෙල් ලුණු තුන පහ දමා රසවත් ලෙස සකසා ගනී. සිරකුටි තුළ දී තේ සාදා ගැනීමට ද සමහර සිරකරුවෝ කටයුතු කරති. තේ කොළ, සීනි, පිටි, රිමාන්ඩ් සිරකරුවන්ගෙන් මිලදී ගනී. මේ සමහර සිරකුටිවල හීටර ඇත.
සමහර සිරකරුවන් දිනපතා ලැබෙන ආහාරය අප්‍රිය වූ විට කුස්සි පාටියට මුදල් දී ආහාර වේල රසවත්ව පිළියෙල කරවා ගනී. එක් ආහාර වේලක් සඳහා රුපියල් 10ක් පමණ දීම ප්‍රමාණවත් ය.
ණයට දීම් ණය ගැනීම් ද ඇත. එහෙත් වේලාවට ණය නොබේරුවොත් ගුටි කෙළිය. මිනී මරා ගන්නා අවස්ථා ද ඇත. ඒ බොහෝ විට කුඩු සම්බන්ධ ගනු දෙනුවලදී ය.
සිරකුටි තුළ දී ගිනි මොලවා ගැනීමට ගිනි පෙට්ටියක් නොමැති විට ගල් යුගයේ දී ගිනි මොලවා ගත් ආකාරයට වඩා ටිකක් දියුණු ක්‍රමයක් උපයෝගී කරගෙන ගින්දර නිෂ්පාදනය කර ගනී.
මොවුන්ගේ ප්‍රයෝජනය සඳහා දී තිබෙන තහඩු බාල්දියක පහළ වටේ ගැට්ට ගලවා එය කොතැනක හෝ එල්ලයි. එම ගැට්ට බාල්දියේ අනෙක් කොටසට වඩා ශක්තිමත් ය. ගල් කැටයක් රෙදි කැබැල්ලක් ආධාරයෙන් ගැට ගසා එයින් බාල්දි ගැට්ටට තදින් පහර දේ. එවිට ගින්දර නිෂ්පාදනය වේ. නොඑසේ නම් කාමරයේ ඇති විදුලි බල්බය ගලවා හෝල්ඩරයේ පින්වලට හීටරයේ පින් එක තබා වයර් ෂෝට් වීමට ඉඩ හැර ගින්දර නිපදවා ගනී. ජංගම දුරකතන චාජ් කරගන්නේ ද විදුලි බුබුල සවිකර ඇති හෝල්ඩරයෙන් විදුලි බලය ලබා ගැනීමෙනි.