යාපනේ පොළොව යට චෛත්‍ය සංකීර්ණයක්
//යාපනය කදුරුගොඩත් අනුරාධපුරය වගේ පූජා නගරයක් හා වෙළඳ නගරයක්//
//මැදිරිගිරිය වගේම වටදාගයක් තිබූ බවට සලකුණු//
//1965 දී රෝලන්ඩ් සිල්වා කිව් අනාවැකිය 2025 දී නිමල් පෙරේරා සනාථ කලා//
//කර්මාන්ත රැසක් තිබූ බවට සාධක රැසක්//
“නඛදිව” නමින් විශේෂයෙන් හැඳින් වූ පළාතක් අපේ රටේ උතුරුකරේ අතීතයේ සිටම පැවැතිණි. මේ අන් කවරක් හෝ නොව වර්තමාන යාපනය අර්ධද්වීපයයි. ඒ අනුව එවකට මුළු යාපනය අර්ධද්වීපයම හැඳින්වූයේ “නඛදිව” ලෙසය. මෙම ඓතිහාසික සත්‍ය වසභ මහ රජතුමා (බු.ව. 608 – 652 / ක්‍රි.ව. 65 – 109) පිළිබඳව විස්තර ඇතුළත් වැලිපුර (වලිපුරම්) රන් සන්නස මඟින් තහවුරු වේ. එමඟින් හෙළි වන්නේ අනාදිමත් කාලයක සිට ලංකාව ඒකීය සිංහල බෞද්ධ රාජ්‍යයක් ලෙස පැවැති බවය. මුළුමහත් උතුරුකරය පුරාම විසිරී පවතින බෞද්ධ පුරාවස්තු සමුදාය මෙයට කදිම සාධක සපයයි.
මෙකී සාක්ෂි සනාථ කරන තවත් වැදගත් බොදු පුදබිමක් වන්නේ යාපනය අර්ධද්වීපයේම පිහිටි කදුරුගොඩ (කන්දරෝඩය) විහාරයයි. වර්තමානයේ මෙම විහාරය චුන්නාකම් ආශ්‍රිතව පිහිටා ඇත. මෙහිදී අප ඓතිහාසික පැතිකඩින් කදුරුගොඩ විහාරයට ප්‍රවේශ වුවද එහි ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවයයි. ඒ, කදුරුගොඩ නගරය පිළිබඳවය.
මෙකී නගරය මුල්වරට ජනාවාස වී තිබෙන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේදී එනම් නවීන මානව අවධියේදී බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. මෙහිදී සියුම් ගල් ආයුධ භාවිත කර තිබෙන බවත් පර්යේෂණ මඟින් සනාථ වී තිබේ. ඒ අනුව එතෙක් යාපනය ප්‍රදේශයේ ගල් ආයුධ නොමැති බවට පුරාවිද්‍යාඥයන් තුළ තිබූ පිළිගැනීම මේ හේතුවෙන් බිඳවැටිණි. එයට හේතු වූයේ යාපනය ප්‍රදේශයේ පස හුනුගල්වලින් නිර්මිත වීම හේතුවෙන් ගල් ආයුධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය නොමැති බව සැලකූ නිසාය. ඒ අනුව, පහත රට තෙත් කලාපය ආශ්‍රිතව මෙන්ම යාපනය ප්‍රදේශය මූලිකවද ගල් යුගයක් පැවැති බව තහවුරු විණි. ඒ 2010දී මෙන්ම 2019දී – 2022දී ආචාර්ය නිමල් පෙරේරා මහතා විසින් සිදුකරන ලද පුරාවිද්‍යාත්මක පර්යේෂණ මඟිනි.
ඉන්පසු “යකඩ යුගය”ද කදුරුගොඩ නගරය ආශ්‍රිතව විද්‍යමාන වී ඇති අතර එය ක්‍රිස්තුපූර්ව 700 දක්වා ඈතට දිව යයි. මේ යුගයේ පැවැති අක්ෂර දැනුම හැරුණුකොට සතුන් ඇති කිරීම, මසුන් ඇල්ලීම, යකඩ තාක්ෂණය වැනි අංග පැවැති දියුණු නගරයක් එහි තිබී ඇත.
මෙකී අවධියෙන් පසු ක්‍රිස්තු පූර්ව 400 පමණ වන විට මූල් ඓතිහාසික යුගයට එළැඹි සිට ඇති අතර එහිදී බ්‍රාහ්මී අක්ෂර සහිත මැටි බඳුන් භාවිතය, පබළු නිෂ්පාදනය, කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය ආදී ආයතනයන්ගෙන් යුත් දියුණු නගරයක් බවට කදුරුගොඩ පත්වී ඇත.
මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීමෙන් පසු කදුරුගොඩ නගරය ආශ්‍රිතව විශාල විහාර කර්මාන්තයක්ද පැවැති බව කියති. මහාවංශයට අනුව දේවානම්පියතිස්ස මහ රජුන් දඹකොළ පටුනේ සිට අනුරාධපුරේ දක්වා තැනින් තැන ගල් කණු සිටුවා ඇති බවත් ඉන් එක් ස්ථානයක් කදුරුගොඩ බවත් සඳහන් වෙයි. එමෙන්ම හතර වැනි කාශ්‍යප මහ රජුන් (ක්‍රි.ව. 989 – 914) විසින් ස්ථාපිත කරන ලද ශිලා ලේඛනයක කදුරුගොඩ විහාරයට කරවන ලද ප්‍රදානයක් පිළිබඳව සඳහන් වේ. පසුකාලීනව මහා පරාක්‍රමබාහු රජු, නිශ්ශංකමල්ල රජුන්, ලීලාවතී මහ රැජන, බුවනෙකබාහු රජුද කදුරුගොඩ විහාරය සඳහා විවිධාකාරයෙන්ම පුදපූජා පවත්වා ඇත. එමෙන්ම මහනුවර යුගයේ ලියැවුණු “නම් පොත” හෙවත් “විහාර අස්න” ග්‍රන්ථයේද “කදුරුගොඩ විහාරය” යන නමින්ම මෙකී විහාරය පිළිබඳව සඳහන් වේ.
පරසතුරු ආක්‍රමණ හේතුවෙන් රජරට රාජධානිය නිරිතදිගට සංක්‍රමණය වීමත් සමඟම මුළු උතුරුකරේද එම ආක්‍රමණවලට ලක් විය. ඒ හේතුවෙන් යාපනය අර්ධද්වීපය පමණක් තාවකාලිකව පාලනය කළ දෙවැනි සංකිලි රජු විසින් කදුරුගොඩ විහාරය විනාශ කරන ලද අතර පසුව පෘතුගීසීන්ගේ තාඩන පීඩන හමුවේ සිංහලයන්ද දකුණට සංක්‍රමණය වූ අතර මේ හේතුකොටගෙන කදුරුගොඩ විහාරයද නටබුන් බවට පත්විය. ඉන්පසු සතවර්ෂ කිහිපයක් ඇවෑමෙන් කදුරුගොඩ විහාරය යළි ඉස්මතු වූයේ 1917 වර්ෂයේදීය. ඒ, කීර්තිමත් ඉතිහාසඥයකු මෙන්ම විනිශ්චකාරවරයකු වූ පෝල් ඊ. පීරිස් මහතා මඟිනි. ඔහු යාපනයට දුම්රියෙන් ගමන් කරන විට චුන්නාකම් ප්‍රදේශයේදී මෙහි නටබුන් දැක ඇති අතර පසුව ඒවා සමීපයට ගොස් නිරීක්ෂණය කිරීමේදී ස්තූප රැසක් ඔහු විසින් නිරීක්ෂණය කොට ඇත. එහිදී හමු වූ අනෙකුත් පුරාවස්තු ඔහු විසින් යාපනය කෞතුකාගාරය වෙත ලබාදී ඇති බව ඔහුගේ වාර්තාවල සඳහන් වේ. කෙසේ වුවද ඉන්පසු මෙම ස්ථානය පිළිබඳ අවධානය යොමු වී නොමැති අතර 1965 වනතුරුම එම තත්ත්වය එසේම පැවැති බව පෙනේ. මෙම වසරේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාස්තු විද්‍යා අංශය පිහිටුවනු ලැබූ අතර එහි ප්‍රථම සහකාර කොමසාරිස්වරයා ලෙස පත්වූ රෝලන්ඩ් සිල්වා මහතා විසින් කදුරුගොඩ යටගියාව යළි ඉස්මතු කිරීමේ ප්‍රයත්නයක නිරත විය. එතුමා 1965 වසරේදීම කඳුරුගොඩ විහාරයට ගිය අතර මෙම ස්තූප සංකීර්ණයට ඒ වන විට සිදුවෙමින් තිබූ විනාශය දැක සංරක්ෂණය සඳහා විශාල වැඩපිළිවෙළක් ආරම්භ කරන ලදී. ඒ අනුව එහි තිබූ අවශේෂ ද්‍රව්‍ය රැගෙන සංරක්ෂණ කටයුතු කළ අතර පසුව පුරාවිද්‍යාඥයන් විසින් 1970 දශකයේදී තවදුරටත් සංරක්ෂණ කටයුතු සිදුකරනු ලැබීය. මේ සඳහා හැත්තෑව දශකයේ ඇමරිකාවේ පෙන්සිල්විනියා විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ අතර ආචාර්ය විමලා බේග්ලි මහත්මිය මෙයට සම්බන්ධ වූවාය. එකී පර්යේෂණ මාලාවෙන් පසු ප්‍රථම වරට කදුරුගොඩ දකුණු ආසියාවේ තිබූ අනුරාධපුරය වැනි නගරයක් ලෙස පැවැති බවට හඳුනාගන්නා ලදී. එනම් ආසන්න වශයෙන් අනුරාධපුර ඇතුළුනුවර හා පූජා නගරයේ මෙන්ම කදුරුගොඩද වෙළෙඳ නගරය හා පූජා නගරය සේ නගර ද්විත්වයක් පැවැතී ඇත.
එහෙත් අවාසනාවකට මෙන් අසූව දශකයේ කොටි ත්‍රස්තවාදය ඇරැඹීමත් සමඟම උතුරේ පමණක් නොව නැඟෙනහිර පවා පුරාවිද්‍යා පර්යේෂණ කටයුතු ඇණහිටිණි. ඒ අනුව කදුරුගොඩ පුරාවිද්‍යා පර්යේෂණ කටයුතුද සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සිදුවිය. ඉන්පසු යුද්ධය අවසන් වීමෙන් පසු 2010 වසරේදී කදුරුගොඩ හා 2019, 2022, 2025 දීද පුරාවිද්‍යා කැණීම් සිදු වූ අතර ඉහත සඳහන් ප්‍රාග් ඓතිහාසික තොරතුරු තහවුරු කරගත්තේ එකී කැණීම්වලදීය.
ඉන්පසුව මෙම 2025 වසරේ අගෝස්තු මාසයේදී නවතම පුරාවිද්‍යා පරීක්ෂණ මාලාවක් ඇරැඹුණු අතර මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ජර්මන් පුරාවිද්‍යා ආයතනය ඒකාබද්ධව සිදුකෙරිණි. මෙහිදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පාර්ශ්වයෙන් ආචාර්ය නිමල් පෙරේරා සහ ජර්මන් පාර්ශ්වයෙන් මහාචාර්ය අරියානා සක්සේනා මහත්මිය මීට දායක වූහ. මේ සම්බන්ධව ප්‍රසිද්ධ දේශනයක් පසුගිය අගෝස්තු 14 වැනි දින කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේදී පැවැත්විණි.
“මෙවර ප්‍රධාන පරමාර්ථය වුණේ “කඳුරුගොඩ ස්තූප සංකීර්ණය” පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනය කිරීමය. මේක අපි අගෝස්තු මාසේ තමයි පටන් ගත්තේ. අපට කාල නීර්ණය කිරීමට අවශ්‍යතාවක් තිබුණා. ඒ වගේම මේවා මොනවද කියල බලාගන්නත් අවශ්‍යතාවක් තිබුණා. ඉතින් කැණීම් සාර්ථකව කළා. මෙතැනදී අපි අවධි දෙකක සාධක හඳුනා ගත්තා. දැනට ස්තූප 49ක් දුරකට ආසන්න තියෙනවා. තවත් පාදම් කිහිපයක් අපි මතුකර ගත්තා. ඒ කියන්නේ මෙහි තවත් ස්තූප තිබුණා කියන එකයි. ඒවා ඉදිරියේදී මතු කරලා පාදා ගන්න ඕනෑ. මේ ස්තූප පිළිබඳ සැලකීමේදී වර්තමානයේ තියෙන ප්‍රමාණයෙන්ම ස්තූප තිබුණා කියලා සලකන්න පුළුවන්.
මෙසේ කීවේ 2010 වර්ෂයේ සිට කදුරුගොඩ විහාර සංකීර්ණය පුරාවිද්‍යා පර්යේෂණ කටයුතුවල නිරතව සිටින ආචාර්ය නිමල් පෙරේරා මහතාය.
අනෙක් වැදගත්ම කාරණය තමයි මෙහිදී අපි වටදාගෙයක සාධක හඳුනා ගත්තා. ඒ කිව්වේ කදුරුගොඩ, මැදිරිගිරිය වටදාගේ වගේ වටදාගෙයක තිබූ සාධක මෙහි පවතිනවා. ඒ කියන්නේ මෙහි වටදාගෙයක් තිබූ බවට කණුවල පාදම් තියෙනවා. බොහෝදුරට ක්‍රිස්තු වර්ෂ හය වැනි, හත වැනි සියවස්වල කදුරුගොඩ විහාරයේ වටදාගෙයක් තිබිලා තියෙනවා කියලා හිතන්න පුළුවන්. මෙතැනදී තව දෙයක් විශේෂයෙන් මතක් කරන්න ඕන. රෝලන්ඩ් සිල්වා මහත්තයා 1965දී කළ පර්යේෂණවලින් අනුමාන කරලා තිබුණා කදුරුගොඩ විහාරයේ වටදාගෙයක් තිබුණු බවට. ඒක අපි මෙවර 2025 අපේ පර්යේෂණවලින් තහවුරු කරගත්තා.”
මෙකී පර්යේෂණ කටයුතු කෙසේ සිදුවන්නේ දැයි අප අචාර නිමල් පෙරේරා මහතාගෙන් වැඩිදුරටත් විමසුවෙමු.
“අපි සාමාන්‍යයෙන් මීටර් තුනක් විතර පොළොව යටට කැණීම් කළා. එතැනදී තවත් ගොඩනැඟිලි ආදිය හමුවුණා. ඒ කියන්නේ ආගමික වශයෙන් වැදගත් ගොඩනැඟිලි තියෙනවා කියන එක. මේවා සාමාන්‍යයෙන් ක්‍රිස්තුපූර්ව දෙක, තුන වගේ සියවස්වලට අයිති වෙන්න පුළුවන් කියලා හිතනවා. ඒ වගේ තමයි කලින් කියූ ආකාරයට වටදාගෙයක සාධක හමුවීම.
මෙතැනදී අපිට මීටරයක්, එකහමාරක් පමණ පොළොව යටට යන විට තමයි ස්තූප කොටස් හමුවුණේ. පැහැදිලිවම කදුරුගොඩ පොළොව යට තව ස්තූප තියෙනවා. මොකද ස්තූප රැසක පාදම් අපට හමුවුණා.
දැන් අපි මෙතැනදී හඳුනාගත් සාම්පල් පරීක්ෂණාගාරවලට යොමු කරලා තියෙනවා කාලය හඳුනාගැනීමට C-14 පර්යේෂණ මඟින්. ඉදිරියේදී අපි මේ සම්බන්ධව අපේ සංස්කෘතික උරුමයන් පිළිබඳව විශාල ව්‍යාපෘතියක කොටසක් ලෙස මේ පිළිබඳව තවත් පර්යේෂණ කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ සඳහා දායක වුණු ජර්මනියේ පුරාවිද්‍යාඥ අවියාන මහත්මිය මෙන්ම රජරට, යාපනය, ජයර්ධනපුර විශ්වවිද්‍යාලවල ආචාර්යවරු සහ සිසු සිසුවියන් සම්බන්ධ වුණ බවත් මතක් කරන්න ඕන.”
ඒ අනුව ඉදිරියේදී කදුරුගොඩ විහාරයේ පර්යේෂණ සාම්පල්වල කාල නිර්ණ දත්ත ලැබීමෙන් පසු අතීතය පිළිබඳ හෙළිදරව් වීම් රැසකට මඟ පෑදෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
අපගේ අතීත රජ දරුවන් චෛත්‍ය නිර්මාණය කළේ සර්වඥ ධාතුන් වහන්සේ මෙන්ම මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කිරීම සඳහාය. කදුරුගොඩ විහාර සංකීර්ණයටද මෙය එකසේ අදාළය. ඒ කදුරුගොඩ විහාර සංකීර්ණයේ වූ මෙම චෛත්‍ය සමූහය තුළ පුවන්ගු දිවයින (පුන්කුඩතිවු)හි වැඩ විසූ මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිදන් කර ඇතැයි විශ්වාස කෙරේ.
කුමන සංරක්ෂණ ක්‍රමවේදයක් ලෙස ගත්තද එය පුරාවිද්‍යා සංරක්ෂණයක් වනවා සේම පූජනීය වස්තු පිළිබඳ සංරක්ෂණයක්ද වේ. එහෙත් අපේ සම්ප්‍රදාය අනුව සැබෑ සංරක්ෂණයක් වන්නේ එය පූජනීය තත්ත්වයෙන් පවතින විටය. ඒ අනුව මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ හෝ සර්වඥ ධාතුන් වහන්සේ වැඩවෙසෙන චෛත්‍ය පවතී නම් මෙකී සියලු චෛත්‍යය බුදුරජාණන් වහන්සේට, රහතන් වහන්සේට සේ වන්දනාමාන කරන පුදපිළිවෙත් කරන තත්ත්වයෙන් පවතින්නේ නම් එහි සංරක්ෂණතාවද වඩාත් සුරක්ෂිතය.
“කදුරුගොඩ වූකලී ශ්‍රී ලංකාවේ සම්පූර්ණ සංස්කෘතික මෙන්ම ජනාවාස ඉතිහාසය ගැන කතා කරන ප්‍රධාන වැදගත් නගරයක්. මේ වගේ නගර පුරාණයේ තව තියෙන්නේ අනුරාධපුර ඇතුළුනුවර, තිස්සමහාරාමය සහ මාතොට, මහාතිත්ථ පමණයි. මේ භූමිය 1948 වන විට අක්කර හතක් පුරා විහිදී පැතිරී තිබිලා තියෙනවා. හැබැයි දැන් මානව ක්‍රියාකාරකම් හේතුවෙන් අක්කර තුනකට පමණ සීමා වෙලා. අවට පුරාවිද්‍යා ගවේෂණ සිදුකරනවා නම් තවත් බොහෝ පුරාවස්තුයි අපිට ලබාගන්න පුළුවන් වෙයි කියන විශ්වාස අප තුළ තිබෙනවා.”
ආචාර්ය නිමල් පෙරේරා මහතා අවසන් වශයෙන් පැවැසුවේ,
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් විසින් උතුර – නැඟෙනහිර සිංහල බෞද්ධ උරුමය පිළිබඳ ලියන ලද ග්‍රන්ථයේද සඳහන් වන්නේ කදුරුගොඩ පූජනීය මෙන්ම පුරාවිද්‍යා ඉඩකඩම් දැනට පවතින භූමි ප්‍රමාණයට වඩා වැඩි භූමි ප්‍රමාණයක විසිරී පැතිරී පවතින බවට සාධක ඇති බවයි.
කෙසේ වුවද සිදුකරනු ලබන සෑම පුරාවිද්‍යාත්මක පර්යේෂණයක් මඟින්ම යළි යළිත් තහවුරු වන්නේ උතුරේ පවතින සිංහල බෞද්ධ උරුමයයි. ඒ මඟින් දෙමළ බෙදුම්වාදයේ ඊළාම් නිජබිම් මිථ්‍යාවද මුළුමනින්ම මිථ්‍යාවක්ම බවට තවත් තහවුරු වේ. කදුරුගොඩ විහාරයේ පර්යේෂණ මාලාවේ මෙකී ප්‍රතිඵල අපට කියාපාන පැහැදිලි සත්‍යය එයයි.
ප්‍රසාද් ධනුෂ්ක ගුණසිංහ
[email protected]
