මෙතෙක් කල් විධායක ජනාධිපතිවරයාගේ විශේෂ පරිහරණය සඳහා පමණක් වෙන්කර තිබූ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂ කාමරය ඊයේ (24දා) සිට පොදු ජනතාවගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් විවෘත කරන ලදී. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබාදෙනු ලැබූ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රෝහල් පාලනාධිකාරිය එක්ව මෙම තීරණය ගෙන තිබේ.
ජපාන රජයේ ප්‍රදාන ආධාරයක් ලෙස 1984 වසරේදී ඉදිකරන ලද ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ආරම්භ වූයේ ඇඳන් 1000ක ධාරිතාවකිනි. කෙසේ වෙතත් එම සැලසුමට අනුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා අංක 1001 දරන විශේෂ කාමරය ද අතිරේකව එක්කර තිබිණි.
රෝහල ආරම්භ කළ දා සිට ගෙවුණු වසර 42ක කාලය පුරාම මෙම කාමරය භාවිත කර ඇත්තේ අතිශය සීමිත අවස්ථා කිහිපයකදී පමණක් වුවද, ජනාධිපතිවරයකුගේ පැමිණීම අපේක්ෂාවෙන් රෝගීන්ගේ භාවිතයට නොගෙන එය වසර ගණනාවක් තිස්සේ නඩත්තු කරමින් පවත්වාගෙන ගොස් ඇත. ඊයේ සිට මෙම විශේෂ කාමරය රෝහලේ ප්‍රතිකාර ලබන සාමාන්‍ය රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා යෙදවීය.
රාජ්‍ය දේපළ සහ සම්පත් වඩාත් ඵලදායී ලෙස ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යෙදවීමේ වත්මන් රජයේ ප්‍රතිපත්තිය යටතේ මෙම පියවර ගෙන තිබේ.
ජපානය එදා ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර රෝහල ලබා දුන්නේ ඓතිහාසික සැන්ප්‍රැන්සිස්කෝ සමුළුවේදී එදා ජපානයට සාමය ලබාදෙන ලෙස ලෝක බලවතුන් ඉදිරියේ කළ කතාවට කෘතවේදිත්වය දක්වමිනි. ඒ අනුව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට එම රෝහලේ වෙනම කාමරයක් වෙන් කරන ලද්දේ රෝගාතුර වූ විට ප්‍රතිකාර ගැනීම සඳහාය. එහෙත් ජයවර්ධන මහතා එහි ප්‍රතිකාර ගැනීමට නේවාසික වූයේ නැත. ඒ අනුව එම කාමරය මෙලෙස දැන් ජනතාවට පවරා තිබේ
