කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියකට කිසියම් පිරිසක් අලාභහානි කර එහි කොටස් ගලවාගෙන ගොස් තිබේ.
මැදිරි 9කින් සමන්විත මෙම දුම්රියේ ජනේල බිඳ එයට ඇතුළු වී, එහි තිබූ විදුලි කේබල්, ඇලුමිනියම්, යකඩ බට, උපකරණ, වයර්, බැටරි ආදී වටිනා උපකරණ ගලවාගෙන ගොස් ඇත.
මෙම සොරකම හේතුවෙන් සිදුවූ පාඩුව ගණනය කර නොමැති වුවත්, එය කෝටි ගණනක් වනු ඇති බව සඳහන්.
'දිට්වා' හේතුවෙන් විනාශ වූ ප්‍රධාන දුම්රිය මාර්ගයේ පිළිසකරකිරීම් මේ වනවිට සිදුකෙරෙන අතර, එම කටයුතු අවසන් වනතෙක් මෙම දුම්රිය ගමනාගමනයෙන් තාවකාලිකව ඉවත් කර ඇත.
සොරකම සිදුවන විට එම දුම්රිය මාළිගාවත්ත පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ඉංජිනේරු ධාවන බල අංගනයේ ගාල්කර තිබී ඇත.
එහි පෙරේදා (19) රාත්‍රියේදී ආරක්ෂක නිලධාරියෙකුට ඇසුණු ශබ්දයක් අනුව සෝදිසිකිරීමක් සිදුකර ඇති අතර, එහිදී මෙම සොරකම අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව එක් සැකකරුවෙකු අත්තඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත් අනෙකුත් සැකකරුවන් පළාගොස් ඇති අතර, ඔවුන් සොයා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකය.
අත්තඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි පුද්ගලයෙකු බවත්, ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවෙකු බවත් පොලිසිය පවසයි
