අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනී මහත්මිය ගායනා කළ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචිත කිසිදු ගීතයක් වාණිජ්‍ය පරමාර්ථයෙන් යුතුව නැවත ගායනා කිරීම, ප්‍රතිනිර්මාණය කිරීම හෝ ප්‍රචාරය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.
මහාචාර්ය සුනිල් ආරියරත්නගේ උපදෙස් පරිදි ‘කැපිටල් සිටි ලෝ’ (Capital City Law) නීතිඥ සමාගම විසින් මේ බව ප්‍රසිද්ධ නිවේදනයක් මඟින් දැනුම් දී ඇත.
ඒ අනුව අදාළ නිර්මාණ වාණිජ අරමුණින් යුතුව නැවත ගායනා කර පටිගත කිරීම, ‘කවර් වර්ෂන්ස්’ ලෙස ප්‍රතිනිර්මාණය කිරීම මෙන්ම උපහාර හෝ අනුස්මරණ ප්‍රසංග නාමයෙන් ගෘහස්ථ හෝ එළිමහන් වේදිකාවල ගායනා කිරීම සපුරා තහනම් වේ.
එමෙන්ම මෙම ගීත වාණිජ්‍ය පරමාර්ථයෙන් මහජනතාව වෙත විකාශය කිරීම හෝ රචකයාගේ සදාචාරාත්මක අයිතීන් උල්ලංඝනය වන පරිදි භාවිත කිරීම ද නීති විරෝධී බව දක්වා ඇත.
මෙම නීතිමය ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ 9 සහ 10 වන වගන්තිවලට අනුකූලව මෙන්ම, මහාචාර්ය සුනිල් ආරියරත්න සාමාජිකත්වය දරන ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) සහ සේ මියුසික් (Cey Music) යන සාමූහික කළමනාකරණ සංවිධානවල රෙගුලාසි ප්‍රකාරවය.
මෙම ගීත සම්බන්ධයෙන් පවතින බුද්ධිමය සහ වාණිජ අයිතිය මීට පෙර මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු අංක 22070/05 සහ අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් තහවුරු කරන ලද SC Appeal No: 155/2014 තීන්දුව මඟින් ද පිළිගෙන තිබේ.
එබැවින් මෙම හිමිකම් කඩකරමින් කටයුතු කරන පුද්ගලයන්ට හෝ ආයතනවලට එරෙහිව බුද්ධිමය දේපළ පනතේ 22 වන වගන්තිය යටතේ සිවිල් මෙන්ම අපරාධ නඩු පැවරීමට කටයුතු කරන ලෙස සිය සේවාදායකයා උපදෙස් දී ඇතැයි අදාළ නීති සමාගම පෙන්වා දෙන අතර මෙම නීතිමය බලාත්මකභාවය ශ්‍රී ලංකාව තුළ මෙන්ම මෙරටින් බැහැරව සිදුවන උල්ලංඝනයන්ට ද එලෙසින්ම අදාළ වෙයි.
කෙසේ වෙතත්, වාණිජ්‍ය නොවන අරමුණින් පාසල්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන තුළ සිදුකරන අධ්‍යාපනික ගායනා සඳහාත්, ගුවන්විදුලි හෝ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වන ආධුනික ගායනා තරග ආදිය සඳහාත් මෙම වළක්වාලීම අදාළ නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.
- https://sinhala.lankanewsweb.net/09/11/296167/
Last edited: