එතෙක් මෙතෙක් පැවති සාම්ප්‍රදායික චිත්‍රපට සටන් රීතිය බිඳ දමමින් ගාමනී සිනමා සිත්තමේ සටන් අධ්‍යක්ෂවරයා ලෙස මේ තරුණ ජවසම්පන්නයා එහි පෑ සුරුවිරුකම් ගාමනී නැරැඹූ කොයි කවුරුත් අමන්දානන්දයට පත් කළේය.
සිංහලයාට උරුම පාරම්පරික අංගම් සටන් ක්‍රමෝපායන් මනාව හසුරවමින් එතුළ ඇඟට දැනෙන්න යමක් කළ ඔහු පිළිබඳ සොයා බලන්නටත් සමහරෙකු උනන්දු විය. ක්ෂේත්‍රය අතරෙත්, සාමාන්‍ය පොදු සමාජයෙන් ඔහු ඉතාම ජනප්‍රිය චරිතයක් වූයේ හෙතෙම සිනමා පටයේ සැලකිය යුතු චරිතයක් ද නිරූපණය කළ බැවිනි. එහෙත් ඔහු හා අපගේ පළමු හමුව සිදු වුණේ ගාමනී හරහ වීම විශේෂත්වයකි.
රිටිගල සුමේධ ඒ ඔහුගේ නාමයයි. සුමේධගේ නම ඇසුණ පමණින් ඔහුගේ උපන් ගම කොතැනද යන වග පසක් වේ. ඒ රිටිගලය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රිටිගල වඩා පතල වූයේ එනමින් ජනප්‍රවාද චරිතය සමඟිනි.
මේ සංවාදය රිටිගල සුමේධව තවත් හඳුනා ගැනීමට පමණක් නොව මෙම මස 19 වැනිදා ඔහු තවත් අලුත් කටයුත්තක් සඳහා මුල පුරන බැවිනි.
සුමේධ, අපි ප්‍රථමයෙන් ගමට ගිහින් එමුද?
හොඳයි. මහ රඹෑව, රිටිගල නම් අතිශය මනස්කාන්ත වටපිටාවක් උරුම පෙදෙසකයි මම උපන්නේ. අපේ ගම පාරම්පරික අංගම් සටන් උරුමකරුවන් ජීවත්වන තැනක්. ඒ නිසා අපි ඉපදුණේම අංගම් හරඹ මිටි මොලවාගෙන. ගමේ හිටියා යසෝ මැණිකේ නම් ගුරුවරියක්. මම අංගම් සටන් පිළිබඳ ඉගෙන ගත්තේ ඇයගෙන්. පසුව වෙනත් රටවලට ගියා. ඒත් අප රටේ තරම් දියුණු අංගම් සටන් ලෝකේ කොහේවත් නැහැ.
ලංකාව තුළ අංගම් පරම්පරාවල් කොහොමද ඇරැඹෙන්නේ?
අප අයත් වන්නේ රිටිගල විශුද්ධි අංගම් හරඹ නම් වූ පරම්පරාවටයි. එහි ඉතිහාසය දුටුගැමුණු රජුගේ යුගය තෙක් දිව යනවා. රිටිගල තෙල්හවඩියාව ගමේ විසූ රිටිගල ජයසේන මිය යාමෙන් පසු යක්ෂ ආත්මයක් ලබා මහසෝන් යක්ෂ බලවේගයත් හා මිශ්‍රවීමෙන් රිටිගල අංගම් හරඹ පටන් ගැනෙන්නේ.
රිටිගල අංගම් හරඹ තවත් කොටස් ගණනකට බෙදෙනවා නේද?
ඔව්. ඒ ගැට හරඹ, නිල සටන් හරඹ, ජ්‍යෙතිශ්‍ය, වෙදකම, මන්ත්‍ර ශාස්ත්‍රය.
මේවා අතරින් ඔබ වඩාත්ම දක්ෂ කුමන අංශයටද?
මේ හැම දෙයක්ම හොඳින් මට පුළුවන්. ඒත් වැඩිපුර කරන්නේ ජ්‍යෙතිශ්‍ය කටයුතු.
එතකොට රිටිගල සුමේධ කොළඹ ආවේ?
සිවිල් ආරක්ෂක බලකායට දේශීය ශිල්ප ක්‍රම සහ ශ්‍රී ලංකා නාවික හා යුද හමුදාවන්ට අංගම් සටන් හරඹ, අපේ උරුමයන් පිළිබඳ කියා දීම උදෙසායි මං කොළඹ එන්නේ. මේ වෙලාවේ සිවිල් ආරක්ෂක බලකායේ ආරක්ෂක පුහුණු ලුතිනන් කර්නල් රත්නප්‍රිය මහත්තයාව මතක් කරන්න ඕනේ.
එතැන් සිට ඔබ ගාමනී දක්වා එන්නේ?
මෙහෙමයි, ඒක සිදු වන්නේ සරත් වීරසේකර මහත්තයාගේ ආරාධනාවෙන්. එතුමා කාලයක් සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් හැටියට හිටියා.එහෙයින් එතුමා මගේ දක්ෂතාවයන් දැකලා තිබුණා. ඔහුට ඕන කරලා තිබුණේ අපේකම රැගත් සජීවී සටන් ක්‍රමෝපායන් චිත්‍රපටය හරහා පෙන්වන්න.
මොනවද ඔබ ඒ සඳහා භාවිත කළේ? ඔබට සම්පූර්ණ නිදහස ලැබුණද ඔහුගෙන්?
අනිවාර්යයෙන්ම. මං දන්න කඩු ශිල්ප ක්‍රමයන්ගෙන් අවශ්‍ය දේවල් ඒ ඒ තැන්වලට යොදා ගත්තා. ඒ සඳහා පාවිච්චි කළේ ඇත්තම කඩු. සිනමා කෘතියකට වුණත් බොරු කරන්න හොඳ නැහැනේ.
ගාමනී හරහා ඔබ රංගන ශිල්පියකු වශයෙන් ද කලඑළියට එනවා?
මම මුලින්ම කැමරාව ඉදිරියේ කළේ පන්සලට එන සීන් එක. සරත් මහත්මයා ඇක්ෂන් කියපු ගමන් හිතුවෙ රඟපාන්න අමාරු වෙයි කියලා. ඒත් පුරුදුකාරයෙක් වගේ රඟපෑවා. ටික වේලාවකින් වැඩේ අල්ල ගත්තා.
ගාමනීගෙන් පසු ආයේ රඟපාන්න ආරාධනා ලැබෙන්න ඇති?
ඔව්, ලැබුණා. ඒත් මගේ වැඩත් එක්ක මේ දිනවල ටිකක් කාර්යබහුලයි. කෙසේ නමුත් මං වඩාත් ආස සටන් අධ්‍යක්ෂණයට.
මෙච්චර දේවල් කතා කළා. ඒත් මේ 19 වැනිදා සිදු වන අපි ඔබේ අලුත්ම කටයුත්ත පිළිබඳ කතා කළේ නැහැනේ. දැන් ඒකට අවස්ථාව?
මම ග්‍රන්ථයක් රචනා කළා. ඒකේ නම ‘රිටිගල අංගම්’. එය 19 වැනිදා සවස තුනට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ එළි දකිනවා. අංගම් හරඹ පිළිබඳ ඉතිහාසයේ ඉඳලා බොහෝ කරුණු ඊට ඇතුළත්. අංගම් සටන් යන මාතෘකාව කියද්දී මිනිස්සු හිනාවෙන කාලයක් තිබුණා. සටන් කලාට සම්බන්ධ දේවල් ගැන සමහරෙක් ප්‍රසිද්ධියේ කතා කළෙත් නැහැ. ඒත් දඬුබස්නාමානය විකාශය වීමත් සමඟ මේ තත්ත්වය මඟ හැරුණා. මට වුවමනා මේ ග්‍රන්ථය හරහා සමාජය තවත් දැනුවත් කරන්න.
ඔබ කුලුඳුලේ සටන් අධ්‍යක්ෂණය කරද්දී සිදු වූ අමතක නොවන අත්දැකිම් ගොන්න අවුස්සන්නයි දැන් මගේ සූදානම?
චිත්‍රපටයේ එක් දර්ශනයක් තියනවා කෙනෙකු මට කඩුවෙන් ගහනවා. එයින් මං බේරෙන්නේ කරනමක් ගහලා. මං ප්‍රතිවාදියාට කිව්වා ඇත්තටම මට කඩුවෙන් ගහන්න කියලා. ඔහු මට ගැහැව්වෙම නැහැ. මටත් ඒක හින්දා සීන් එක කරන්න බැරි වුණා. මාගේ දැඩි පෙරැත්ත මත ඔහු ඇත්තටම ගැහැව්ට පස්සෙයි සීන් එක කළේ. තව දර්ශනයකදී මට මතකයි මහේන්ද්‍ර පෙරේරාට ගහපු පාරක් ඇත්තටම ඔහුගේ හිසට වැදුණා. ඔහුට එවලේ සෑහෙන්න තරු පෙනෙන්නට ඇති.
කොහොමද ඔබේ ජීවිතය මේ දිනවල ගෙවෙන්නේ?
මං පෙර පැවසූ පරිදි වැඩිපුර කරන්නේ ජ්‍යෙතිශ්‍ය කටයුතු නිසා කොළඹට යාම් ඊම් කරනවා වැඩියි. ඒ සමඟම ගමේ මං සටන් පාසලක් පවත්වාගෙන යනවා. කලා ජීවිතය පැත්තෙන් ගත්තොත් සරත් වීරසේකර මහතාගේ දෙවැනි සිනමා නිර්මාණය සඳහා කතා කරලා තියනවා.
ඔබට හිතැති අයකුට ඔබව සම්බන්ධ කර ගන්න පුළුවන් විදිහක් කියලා මේ සංවාදය අවසන් කරමු.
0772653553 මගේ දුරකතන අංකය. රිටිගල අංගම් සටන් පුහුණු පාසල, මහරඹෑව, පඩිකාරමඩුව, ලිපිනය ඔස්සේ මාව හමු විය හැකියි.
Last edited: