අක්බාර් මුදලාලිගේ කෑම සහ ගෙදර කෑම
පේරාදෙණිය සරසවියේ අක්බාර් ශාලාවේ කෑම කා ඇති අය බ්ලොග් ලියන්නන් අතර නොඅඩුව සිටිති. පේරාදෙණියේ සරසවි බිම මැදින් ගලා යන මහා වාලුකා නදිය ඉංජිනේරු පීඨය අනෙකුත් පීඨ වලින් වෙන් කරයි. ඉංජිනේරු පීඨය හැර අනෙකුත් පීඨ සියල්ලම පිහිටා ඇත්තේ මහවැලි ගඟේ එක් ඉවුරක, ගලහ පාර දෙපැත්තේය. ගං ඉවුරේ අනෙත් පස ලෙව්කේ මැතිඳු මෙන් තනියම සිටගෙන සිටින ඉංජිනේරු පීඨය මහවැලි නදියට අමතරව ගම්පොළ පාරෙන්ද අනෙක් පීඨ වලින් වෙන් වේ.
අනූව දශකයේ මුල කාලයේ, නේවාසික ශාලා රැසක් ඇති පේරාදෙණිය සරසවියේ ගඟෙන් මෙගොඩ පිහිටි එකම නේවාසික ශාලාව අක්බාර්-නෙල් ශාලාව වූ අතර ගඟෙන් මෙගොඩ පිහිටි වැඩි පිරිසකට කෑම ගැනීමට පහසුකම් තිබුණු එකම ආපන ශාලාව වූයේද අක්බාර් කැන්ටිමයි. ඉංජිනේරු පීඨ ආපන ශාලාවේ තිබුණේ සීමිත ඉඩකඩකි.
අක්බාර්-නෙල් ශාලාවේ නේවාසිකව සිටි හෝ නොසිටි ඉංජිනේරු පීඨ සිසුන් බහුතරයක් දිවා ආහාරය ගත්තේ අක්බාර් කැන්ටිමෙනි. සාමාන්‍යයෙන් ඉංජිනේරු පීඨ කාල සටහන් වල 'හිල්' නැත. දිවා ආහාර පැය හැරුණු විට අනෙක් සෑම වැඩ කරන පැයකම දේශනයක් හෝ විද්‍යාගාර සැසියක් සඳහා සහභාගී විය යුතුය. මේ නිසා බහුතරයක් ඉංජිනේරු සිසුන්ට දිවා ආහාරය ගැනීමට සිදුවන්නේ දහවල් දොළහේ සිට එක දක්වා කාලය තුළදීය. ගෙදරින් කෑම ගෙන එන හෝ කෑම උයා ගන්නා සුළුතරයද, පීඨ කැන්ටිමෙන් හෝ ගඟෙන් එගොඩ, මෙගොඩට කිට්ටුවම තිබුණු වූස් කැන්ටිමෙන් හෝ ගෙම්බා කැන්ටිමෙන් කෑම ගැනීමට යන ටික දෙනෙකුද අඩු කළත් දිවා ආහාර පැය තුළ අක්බාර් කැන්ටිමෙන් කෑම ගන්නා පිරිස (ඒ කාලයේ) දහසකට ආසන්න විය යුතුය. වෙනත් පීඨ වල සිසුන් හා සිසුන් නොවන්නන්ද යම් ප්‍රමාණයක් එකතු කළ විට මේ ඇස්තමේන්තුව නරක එකක් නොවේ.
මේ පිරිසට කෑම ලබා දීමට ඇති කාලය ඇත්තටම පැයකටත් වඩා අඩුය. දොළහට දේශන නිමවී අක්බාර් කැන්ටිමට පැමිණීමට අඩු වශයෙන් විනාඩි පහක්වත් ගතවන අතර, කෑම ගෙන නියමිත වේලාවට ඊළඟ දේශනයට සහභාගී වීමටනම් එකට විනාඩි විස්සකට පෙරවත් කෑම පිඟාන ලබාගත යුතුය. මේ අනුව ගණනය කර බැලූ විට අක්බාර් මුදලාලිට එක් පාරිභෝගිකයෙකුට කෑම ලබා දීමට තිබුණේ තත්පර දෙකක පමණ කාලයකි. මේ අයගෙන් අඩක්වත් අඩු ගැනීමට නැවත පෝලිමට එක් වන අතර අඩු එකකට වඩා කන අයද සිටිති. මුදල් ලබා ගැනීම හෝ ආහාර ලබා දීම සඳහා සමාන්තර කවුන්ටර තිබුණේද නැත. අඩු සඳහා පමණක් වෙනම පෝලිමක් තිබුණේය. මේ අනුව, මගේ උපකල්පන වල අඩුපාඩු සැලකුවද මුදල් අය කර බත් පිඟානක් ලබා දීමට අක්බාර් මුදලාලිට සහ සේවකයින්ට තිබුණු කාලය තත්පර තුනකටනම් වැඩි විය නොහැක. මෙය පහසු කටයුත්තක් නොවන බව නොකිවමනාය.
මේ කාලයේ පේරාදෙණියේ කැම්පස් බත් පිඟානක මිල රුපියල් හතරයි පණහකි. අඩුවක් එකයි පණහකි. නගරයේ හෝටලයක දිවා ආහාර වේලක් මේ කාලයේදී රුපියල් විස්සක් පමණ විය. මේ අනුව කැම්පස් බත බොහෝ සේ ලාබ වුවද ඒ මිලට එය ලබා දීම අපහසු නොවූයේ උයන භාජන වල සිට විදුලි බිල්පත් ගෙවීම දක්වා වියදම්ද, සේවකයන්ගේ නවාතැන් වියදම් ආදියද දැරුවේ සරසවිය මඟින් බැවිනි. අක්බාර් මුදලාලිගේ වියදම බොහෝ දුරට අමු කෑම ද්‍රව්‍ය සඳහා යන විචල්‍ය පිරිවැයයි. අනෙක් අතට, පාලනාධිකාරිය මඟින් නියාමනය කර තිබුණේ මූලික ආහාර වේලක මිලයි. මීට අමතරව විකුණන්නට තිබුණු අන්නාසි කෑලි, ගොටුකොල සම්බෝල, බැදපු මාළු කූරි වැනි බොහෝ දෙනා මිල දී ගත් විශේෂ දීසි වලින් වැඩි ලාභයක් ලබා ගැනීමට අවස්ථාව තිබුණේය.
කැන්ටිම කිරීමේ තිබුණු අපහසුම කාර්යය පාරිභෝගිකයින් කළමනාකරණය කර ගැනීමයි. දිවා ආහාර පැය කළමනාකරණය කර ගැනීම මෙහිදී ඉතා වැදගත් විය. මේ සඳහා අවශ්‍ය වූ ප්රාගුණ්යය ලබා ගත හැකි වූයේ පළපුරුද්දෙන්ම පමණි.
පිඟානට වැටෙන බත් හැඳි දෙක හෝ ඇඟිලි පුරුක් බාගයක ප්‍රමාණයේ මස් කෑලි තුන හතරක් සමඟ එන මස් හොද්ද ප්‍රමාණවත් නැති බව කියා 'අදින' සරසවි සිසුන් විරල නැත. මේ වෙලාවට "මේ ගාණට මස් රාත්තල් බාගයක් දෙන්න පුලුවන්ද, හලෝ?" වැනි දෙයක් නිකමටවත් කියවුණොත් සිදුවන්නේ කුමක්ද කියා කිවයුතු නැත. අක්බාර් මුදලාලිගේ සේවකයින්ට මෙවැනි අවස්ථා වලට මුහුණ දීම ගැන සුවිශේෂී පළපුරුද්දක් තිබුණේය. ඔවුහු මෙවැනි අවස්ථාවලදී කිසිවිටෙකත් මැසිවිලි නොනැගූහ. මස් භාජනයට යන හැන්ද වහාම නැවත පිඟානට එනු අදාල සිසුවාට පෙනේ. තාවකාලිකව සතුටට පත් වන ඔහුට පිඟානේ මස් වැඩි වී නැති බව පෙනෙන්නේ මේසයට වාඩි වී කන්නට පටන් ගත් පසුය.
මෙවැනි ශිල්පීය දක්ෂතා ප්‍රගුණ කර තිබුණේ මුදලාලිලා කිහිප දෙනෙකු පමණක් නිසා වාර්ෂිකව ටෙන්ඩර් දැම්මත් නැවත නැවතත් කැන්ටිම බොහෝ විට ලැබුණේ එකම පිරිසකටය. නුපුරුදු කෙනෙකු ටෙන්ඩරය ගත්තත් සිසුන් කළමනාකරණය කරගත නොහැකිව 'ඇනගැනීමට' වැඩි දවසක් ගත නොවේ.
සරසවිය මඟින් සියළු මූලික පහසුකම් ලබා දුන්නද හෝටලයක බත් පිඟානක් විකුණන මිලෙන් තුනෙන් එකකට තරු පහේ කෑම වේලක් ලබා දිය නොහැකිය. මේ නිසා සරසවි රෙගුලාසි අනුව ලබා දිය යුතු වූ එළවළු වර්ග තුනට බොහෝ විට අයත් වුණේ කොහෙන් හෝ හොයාගත් ලාබ එළවළුවක් හෝ මැල්ලුමකි. බොහෝ සිසුන් මේසයට වාඩිවන්නේම මේ 'ඩිෆෝල්ට්' එළවළු කුණු බක්කියට දැමීමෙන් පසුවය. අක්බාර් කෑම වේල දිව පිනා යන රසවත් දිව බොජුනක් නොවූ බව නොකිවමනාය.
ඒ දිනවල අක්බාර් කැන්ටිමෙන් දිනපතා කෑම ගත් සිසුන් අතර ජනප්‍රියව තිබූ කියමනක් වූයේ "කවදාහරි දවසක අපේ ගෑණු අක්බාර් මුදලාලිගේ පින්තුරය ගෙදර එල්ලාගෙන මල්, පහන්, හඳුන්කූරු පත්තු කරනු ඇති" බවයි. "අපේ ගෑණු අපට රහට කෑම උයා දිය යුතු බවට" වූ මනෝභාවය අමතක කළහොත් මෙයින් අදහස් කළේ "අවුරුදු හතරක් අක්බාර් මුදලාලිගේ ජරාව කෑමට හුරුවූ අපේ බඩවැල් වලට අපේ අනාගත ගෑණු උයන කෙතරම් නීරස කෑමක් වුවද විරෝධතාවක් නොදක්වා පිළිගත හැකි වනු ඇති බැවින් එහි ගෞරවය අපේ අනාගත බිරින්දෑවරුන්ගෙන් අක්බාර් මුදලාලිට ලැබිය යුතු" බවයි.
අක්බාර් මුදලාලිට මගේ බැචාලාගේ බිරින්දෑවරුන් කිසිවෙකු මල්, පහන්, හඳුන්කූරු පත්තු කරන බව කවුරු හෝ කියනවානම් මා පිළිගන්නේ නැත. එමෙන්ම, අපේ ජනාධිපතිතුමාගේ පුතාගේ නිදන කාමරයේ එල්ලා ඇති පරණ ජනාධිපතිතුමාගේ පුත්තුන්ගේ ඡායාරූපයකට දිනපතා නොවරදවා මල්, පහන්, හඳුන්කූරු පත්තු කරන බව කවුරු හෝ කියනවානම් එයද මා පිළිගන්නේ නැත.
From Blog
http://economatta.blogspot.com