4. අග්ගඤ්ඤ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී:
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා මිගාරමාතුපාසාද නම් වූ පූර්වාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වාශිෂ්ඨ භාරද්වාජ යන හෙරණ දෙ නම භික්ෂුභාවය (උපසපුව) පතන්නාහු භික්ෂූන් කෙරෙහි පිරිවෙසෙත්, එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටිසේක්. පහයෙන් බැස, පහය ඉදිරියෙහි සෙවණෙහි එළිමහනෙහි සක්මන් කරන සේක. වාශිෂ්ඨ හෙරණ තෙම, සවස් වේලෙහි පලසමවතින් නැගී සිට පහයෙන් බැස, පහය ඉදිරියෙහි සෙවණැ එළීමහනෙහි සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේ දිටී. දැක භාරද්වාජ හෙරණහු බණවා, ‘ඇවැත්නි, භාරද්වාජයෙනි, මේ භාග්‍යවතුන් වහන්සේ සවස් වේලේ පලසමවතින් නැගී සිට පහයෙන් බැස, පහය ඉදිරියෙහි සෙවණැ එළිමහනෙහි සක්මන් කරන සේක. ඇවැත්නි, භාරද්වාජයෙනි, එමු. භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹෙන්නමු. භාග්‍යවතුන් වහන්සේ වෙතින් ධර්ම කථාවක් අසන්නට ලබන්නමෝ නම් ඉතා යෙහෙකැ’ යි කී ය. ‘එසේ ය, ඇවැත්නි’ යි කියා ම භාරද්වාජ තෙම වාශිෂ්ඨයාට පිළිවදන් දුන. ඉක්බිති වාශිෂ්ඨ භාරද්වාජ දෙ නම භාග්‍යවතුන් වහන්සේ කරා ගියහ. ගොස් ඔබ වැඳ, සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේ අනුව සක්මන් කළහ.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වාශිෂ්ඨයා බණවා, ‘වාශිෂ්ඨයෙනි, තෙපි වූ කලි බ්‍රාහ්මණජාතික වූ බ්‍රාහ්මණයන් අතුරෙහි කුලසම්පන්න වූ බ්‍රාහ්මණ කුලය හැර ගිහිගෙන් නික්ම සසුන් වන්නෝ වහු. කිමෙක් ද වාශිෂ්ඨයෙනි, තොපට බ්‍රාහ්මණයෝ ආක්‍රොශ නො කෙරෙත් ද? පරිභව නො කෙරෙත් දැ?’ යි අසා වදාළ සේක.
‘වහන්ස, එකාන්තයෙන් ම බ්‍රාහ්මණයෝ අපරිපූර්ණ නො වූ (අතරැ නොනැවැති) පරිපුර්ණවූ (නිරතුරු වූ) තමනට හුරු වූ පරිභව වචනයෙන් අපට ආක්‍රොශ කෙරෙත්, පරිභව කෙරෙත්’ යැ යි හේ කී ය.
‘වාශිෂ්ඨයෙනි, අපරිපූර්ණ නොවූ පරිපූර්ණ ම වූ තමනට හුරු වූ පරිභව වචනයෙන් කෙසේ නම් තොපට බ්‍රාහ්මණයෝ ආක්‍රොශ පරිභව කෙරෙත් දැ?’ යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.
“වහන්ස, ‘බ්‍රාහ්මණ වර්ණය ම ශ්‍රේෂ්ඨ ය, අන්‍ය වර්ණයෝ පහත් හ. බ්‍රාහ්මණවංශය ම ශුක්ලවර්‍ණ ය, ඉතිරි තුන් වංශයෝ ම කෘෂ්ණවර්‍ණ හ. බ්‍රාහ්මණයෝ ම ශුද්ධ වෙත්. බ්‍රාහ්මණ නොවූවෝ ශුද්ධ නොවෙත්. බ්‍රාහ්මණයෝ ම බඹහුගේ මුවින් බිහි වූ, බඹහුගෙන් උපන්, බඹහු විසින් මවන ලද, (වේදවේදාඞ්ගාදි) බඹහුගේ දෑවැද්දට උරුම කරු වූ, බඹහුගේ ඔෳරස පුත්‍රයෝ ය. ඒ තෙපි ශ්‍රෂ්ඨ වර්ණය හැරැදමා, ගැහැවි වූ කලු වූ මාරපාක්ෂික වූ, බඹහුගේ පයින් උපන් මුඩු මහණුන් වූ හීන වර්ණයකට බටුවෝ වහු. ශ්‍රේෂ්ඨ වර්ණය හැරැලා ගැහැවි වූ කලු වූ මාරපාක්ෂික වූ බඹහුගේ පයින් උපන් මුඩුමහණුන් වූ හීන වර්ණයකට පැමිණියහු ය යන යමෙක් ඇද්ද, එය නො මැනව, එය නො සුදුස යැ’ යි, වහන්ස, මෙසේ අපරිපූර්ණ නො වූ, පරිපූර්ණ ම වූ, තමනට හුරුවූ ගැරහුම් බසින් අපට ආක්‍රොශ කෙරෙත්, පරිභව කෙරෙත්” යැ යි වාශිෂ්ඨ තෙම කී ය.
‘වාශිෂ්ඨයෙනි, බ්‍රාහ්මණයෝ එකාන්තයෙන් ම පුරාණ කථාව (ලෝකෝත්පත්තිචර්යාවංශය) සිහි නො කරන්නාහු. ‘බ්‍රාහ්මණයෝ ම ශ්‍රේෂඨ වර්ණය ය, අන් වර්ණයෝ හීනයහ, බ්‍රාහ්මණයෝ ම ශුක්ල වර්ණය ය, අන්‍ය වර්ණයෝ කෘෂ්ණයහ, අබ්‍රාහ්මණයෝ නො ව බ්‍රාහ්මණයෝ ම ශුද්ධ වෙත්, බ්‍රාහ්මණයෝ ම බ්රාහ්මයාගේ මුඛයෙන් බිහි වූ, බ්‍රහ්මයාගෙන් උපන් බ්‍රහ්මයා විසින් මවන ලද, බ්‍රහ්මයාගේ දායාද වූ, බ්‍රහ්මයාගේ ඔෳරස පුත්‍රයෝ’ යි කියත්. වාශිෂ්ඨයෙනි, බ්‍රාහ්මණයන්ගේ ඔසප් වූ ද, ගැබිනි වූ ද, වදන්නාවූ ද, (දරුවනට) කිරි පොවන්නාවූ ද බැමිණියෝ දක්නා ලැබෙත්. ඒ බමුණෝ යෝනියෙන් උපන්නෝ වන්නාහු බ්‍රාහ්මණවර්‍ණය ම ශ්‍රේෂ්ඨය … බ්‍රහ්මයෝ ම බ්‍රහ්මයාගේ දායාද වූ බ්‍රහ්මයාගේ ඔෳරසපුත්රයෝ යැ යි මෙසේ කියත්. එසේ කියන්නාහු බ්‍රහ්මයාට ම නින්දා කෙරෙත්, මුසවා තෙපලත්, බොහෝ අකුසල් ද රැස් කෙරෙත්.
3. වාශිෂ්ඨයෙනි, ක්ෂත්රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යැ යි මේ වර්ණ සතරෙකි. වාශිෂ්ඨයෙනි, මෙහි එක්තරා ක්ෂත්රියයෙක් ද පණිවා කරන සුලු වෙයි. නොදුන් දෑ ගන්නා සුලු වෙයි. කාමයන්හි වරදවා හැසිරෙන සුලු වෙයි. මසුවා බණන සුලු වෙයි. පෙහෙසුන් තෙප්ලන සුලු වෙයි. පරොස් බස් කියන සුලු වෙයි. සම්ඵප්‍රලාප දොඩන සුලු වෙයි. අභිධ්‍යා බහුල වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැත්තේ වෙයි. මිසදිටි ගත්තෙක් වෙයි. වාශිෂ්ඨයෙනි, මෙසේ අකුසල් යැයි කියන ලද, අකුසල් ම වූ, වරද සහිත යැයි කියන ලද, වරද සහිත ම වූ, නොසෙවියැ යුතු යැ යි කියන ලද, නොසෙවියැයුතු ම වූ, ආර්යභාවයට නොපොහොසත් යැ යි කියන ලද, ආර්යභාවය සිදු කිරීමෙහි නො පොහොසත් ම වූ. කෘෂ්ණවිපාක ඇති, කෘෂ්ණම වූ, නුවණැත්තන් විසින් ගරහන ලද, යම් පාප ධර්ම කෙනක් වෙත් ද, ඒ ඇතැම් ලාමක ධර්මයෝ මෙහි ක්ෂත්රියයා කෙරෙහි ද දක්නා ලැබෙත්, … බ්‍රාහ්මණයා කෙරෙහි ද දක්නා ලැබෙත්. වෛශ්‍යයා කෙරෙහි ද දක්නා ලැබෙත් … ශුද්‍රයා කෙරෙහි ද දක්නා ලැබෙත්.
වාශිෂ්ඨයෙනි, මෙහි ඇතැම් ක්ෂත්රියයෙක් ද පණිවායෙන් වැළැක්කේ වෙයි, අයිනාදනින් වැළැක්කේ වෙයි, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළැක්කේ වෙයි, මුසවායෙන් වැළැක්කේ වෙයි, පෙහෙසුන් තෙප්ලෙන් වැළැක්කේ වෙයි, පරොස් බසින් වැළැක්කේ වෙයි, සම්ඵප්‍රලාපයෙන් වැළැක්කේ වෙයි, අභිධ්‍යා නැත්තේ වෙයි, ව්යාපාදසහිත සිත් නැත්තේ වෙයි, සම්දිටු ගත්තේ වෙයි. වාශිෂ්ඨයෙනි, මෙසේ කුශල යැ යි කියන ලද කුසල් ම වූ, වරද රහිත යැ යි කියන ලද, වරද රහිත ම වූ, සෙවියැ යුතු යැ යි කියන ලද, සෙවියැ යුතු ම වූ, ආර්යභහාවය සිදු කිරීමෙහි පොහොසත් යැ යි කියන ලද, ආර්යභාවය සිදු කිරීමෙහි පොහොසත් ම වූ ශුක්ලවිපාක ඇති, ශුක්ල ම වූ, නුවණැත්තන් විසින් පසස්නා ලද යම් ධර්ම කෙනෙක් වෙත් ද, ඒ ඇතැම් දහම්හු මෙහි ක්ෂත්රියයා කෙරෙහි ද දක්නා ලැබෙත්.
වාශිෂ්ඨයෙනි, මෙහි බ්‍රාහ්මණයා ද … වෛශ්‍යයා ද … ශුද්‍රයා ද පණිවායෙන් වැළැක්කේ වෙයි, අයිනාදනින් වැළැක්කේ වෙයි, කාමමිථ්‍යාචාරයෙන් වැළැක්කේ වෙයි, මුසවායෙන් වැළැක්කේ වෙයි, පෙහෙසුන් තෙප්ලෙන් වැළැක්කේ වෙයි, පරොස් බසින් වැළැක්කේ වෙයි, සම්ඵප්‍රලාපයෙන් වැළැක්කේ වෙයි, අභිධ්‍යා නැත්තේ වෙයි, ව්‍යාපාද සහිත සිත් නැත්තේ වෙයි, සම්දිටු ගත්තේ වෙයි. වාශිෂ්ඨයෙනි, මෙසේ කුසල් යැ යි කියන ලද, කුසල් ම වූ, වරද රහිත යැ යි කියන ලද වරද රහිත ම වූ, සෙවියැ යුතු යැ යි කියන ලද සෙවියැ යුතු ම වූ, ආර්යභාවය සිදු කිරීමෙහි පොහොසත් යැ යි කියන ලද, ආර්යභාවය සිදු කිරීමෙහි පොහොසත් ම වූ, ශුක්ලවිපාක ඇති, ශුක්ල ම වූ, නුවණැත්තන් විසින් පසස්නා ලද යම් ධර්ම කෙනෙක් වෙත් ද, ඒ ඇතැම් දහම්හු මෙහි බ්‍රාහ්මණයා කෙරෙහි ද, … වෛශ්‍යයා කෙරෙහි ද ශුද්‍රයා කෙරෙහි ද දක්නා ලැබෙත්.
වාශිෂ්ඨයෙනි, මේ සතර වර්ණයන් මෙසේ නුවණැත්තන් විසින් ගරහන ලද දහම්හි ද නුවණැත්තන් විසින් පසස්නා ලද දහම්හි ද, කෘෂ්ණ ධර්මයන්හි ද ශුක්ලධර්‍මයන් හි දැ යි මෙසේ කුශලාකුශල යන විවිධ ධර්මයන්ගෙන් ම මිශ්‍ර ව පවත්නා කල්හි, බ්‍රාහ්මණවර්‍ණය ම ශ්‍රේෂ්ඨ යැ යි ඉතර වර්ණයෝ හීනහ යි, බ්‍රාහ්මණවර්‍ණය ම සුදු යැ යි, සෙසු වර්ණයෝ කලු හ යි, බ්‍රාහ්මණයෝ ම ශුද්ධ වෙත් යැ යි, බ්‍රාහ්මණ නොවුවෝ ශුද්ධ නො වෙත් යැ යි, බ්‍රාහ්මණයෝ ම බ්‍රහ්මයාගෙන් උපන්, බ්‍රහ්මයා විසින් මවන ලද, බ්රහ්මදායදා වූ, බ්‍රහ්මයාගේ මුවින් උපන් ඔෳරස පුත්‍රයෝ හ යි යම් වචනයක් කියත් ද, ඔවුන්ගේ ඒ වචනය නුවණැත්තෝ නො අනුදනිත්. ඒ කවර හෙයින? යත්: වාශිෂ්ඨයෙනි, මේ සතර වර්ණ අතුරෙන් කවරකට අයත් වුව ද යම් මහණෙක් රහත් ද, ක්ෂීණාස්රව ද, වුසු මඟ බඹසර ඇත්තේ ද, කොට නිමි කටයුතු ඇත්තේ ද, පැමිණි ස්වාර්ථය (රහත් බව) ඇත්තේ ද, හැම ලෙසින් නැසූ භවබන්ධන ඇත්තේ ද, මොනොව ට දැන මිදුණේ ද, හෙ තෙමේ ඒ හැම දෙනා අතුරෙහි අග්‍ර යැ යි කියනු ලැබේ. ඒ ද අධර්මයෙන් නොව ධර්මයෙන් ම ය. වාශිෂ්ඨයෙනි, ධර්මය ම සත්මුළුයෙහි මෙ ලොව්හි ද පරලොව්හි ද ශ්‍රේෂ්ඨ ය. එහෙයිනි.
4. වාශිෂ්ඨයෙනි, මෙ ලොව්හි ද, පර ලොව්හි ද ජන මුළුයෙහි ධර්මය ම ශ්‍රේෂ්ඨ වන නියා මේ කරුණින් ද දත යුතු. වාශිෂ්ඨයෙනි. ‘මහණ ගොයුම් ශාක්‍යකුලයෙන් නික්මැ පැවිදි වූ නිරුත්තර කෙනෙකැ’ යි පසේනදී කොසොල් රජ දනී. වාශිෂ්ඨයෙනි, ශාක්‍යයෝ වනාහි පසේනදී කොසොල් රජුහට අතරක් නැති (කුලවශයෙන් සමාන වූ) ඔහු අනුව යන්නෝ වෙත්. වාශිෂ්ඨයෙනි, ශාක්‍යයෝ පසේනදී කොසොල් රජු කෙරෙහි ආදරය දැක්වීම ද වැඳීම ද දැක නැගීසිටීම ද ඇඳිලිබැඳීම ද (දැක මගින් ඉවත් වීම් ආදි) වත් දැක්වීම් ද කෙරෙත්. වාශිෂ්ඨයෙනි, මෙසේ ශාක්‍යයෝ පසේනදි කොසොල් රජු කෙරෙහි ආදරය ද වැඳීම ද දැක නැගී සිටීම ද ඇඳිලිබැඳීමද වත් දැක්වීම ද යන යමක් කෙරෙත් ද, පසේනදී කොසොල් රජ තෙම තථාගතයන් කෙරෙහි ඒ ආදර දැක්වීම ද වැඳීම ද දැක අස්නෙන් නැගීසිටීම ද ඇඳිලි බැඳීම ද වත් දැක්වීම ද යන සියල්ල කෙරෙයි. ‘මහණ ගොයුම් සුජාත ය, මම දුර්ජාතයෙමි’ යි කියා හෝ ‘මහණ ගොයුම් බලවත් ය, මම දුඹුලිමි’ යි කියා හෝ ‘මහණ ගොයුම දැකුම් කලු ය, මම් දැකුම් කලු නො වෙමි’ යි කියා හෝ ‘මහණගොයුම් මහායශස්ක ය, මම් අල්පයශස්ක වෙමි’ යි කියා හෝ හෙ තෙමේ එසේ නො කෙරෙයි. වැලි ධර්මයට ම සත්කාර කරනුයේ, ධර්මයට ම ගෞරව කරනුයේ, ධර්මයට ම බුහුමන් කරනුයේ, ධර්මයට ම පුදනුයේ, ධර්මයට ම යටත් පැවැතුම් දක්වනුයේ, මෙසේ පසේනදී කොසොල් රජ තෙම තථාගතයන් කෙරෙහි ආදර දැක්වීම ද වැඳීම ද දැක හුනස්නෙන් නැඟී සිටීම ද ඇඳිලිබැදීම ද වත් දැක්වීම ද යන මෙ හැම කෙරෙයි. වාශිෂ්ඨයෙනි, මෙ කරුණිනුත් ‘මේ ජන මුළුයෙහි දිටුදැමියෙහි ද පරලොව්හි ද ධර්මය ම උතුම්’ වන නියා දත යුතු. වාශිෂ්ඨයෙනි, තෙපි වූ කලි නානා ජාතියට අයත් වන්නාහු නානා ගොත්‍රයට අයත් වන්නාහු, නානා කුලයට අයත් වන්නාහු ගිහිගෙන් නික්මැ සස්නැ පැවිදි වූහු ය. ‘තෙපි කවුරු දැ?’ යි විචාරනු ලද්දහු ම ‘අපි ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයම්හ’ යි පිළින කරවු. වාශිෂ්ඨයෙනි, තථාගතයන් කෙරෙහි යමකුගේ සැදැහැව නොසැලී පිහිටියේද මුල්බැස ගෙන සිටියේද දැඩි වූයේද එය මහණකු හෝ බමුණකු හෝ දෙවියකු හෝ මරකු හෝ බඹකු හෝ ලොවැ කිසි ද කෙනකු විසින් සෙලැවියැ හැකි නො වේ නම්, ඒ ආර්යශ්රාවකයා විසින් ‘මම් භාග්‍යවතුන් වහන්සේගේ මුවින් උපන් ධර්මයෙන් උපන් ධර්මයෙන් නිර්මිත වූ ධර්මයට දායාද වූ ඔෳරස (ළෙහිදා) පුත් වෙමි’ යි ඔහු විසින් මේ වචනය කියනු සුදුසු ය. ඒ කවර හෙයින් ද? යත්: වාශිෂ්ඨයෙනි, ධර්මකාය යනු ද බ්‍රහ්මකාය යනු ද ධර්මභූත යනු ද බ්‍රහ්මභූත යනු දැ යි මෙ හැම තථාගතයනට නම් ය. එ හෙයිනි.
5. වාශිෂ්ඨයෙනි, දික් කලක් ඇවෑමෙන් කිසි යම් සමයෙක මෙ ලොව වැනැසෙන්නේ ද, එසේ වූ කැලයෙක් වෙයි. එසේ ලොව නැසෙන කල්හි සත්වයෝ බෙහෙවින් ආභස්සර බඹලොවැ උපන්නාහු වෙති. ඔහු එහි ධ්‍යානචිත්ත බලයෙන් උපන්නෝ වෙති, ප්‍රීතිය ම ආහාර කොටැත්තාහු වෙයි, තුමූ ම (සිය සිරුරු පෙබෙන් බබලන්නාහු වෙති.) අහසින් යන්නාහු වෙති. සිත්කලු වස්ත්රාභරණ හැඳ පැලැඳ සිටින්නාහු වෙති. එහි ඔහු ඉතා බොහෝ කලක් සිටිත්. වාශිෂ්ඨයෙනි, දික් කලක් ඇවෑමෙන් කිසි සමයෙක මෙ ලොව හටගන්නේ ද, එසේ වූ කාලයෙක් වෙයි. ඒ ලොව හට ගන්නා සමයෙහි බෙහෙවින් සත්හු ආභස්සර බ්‍රහ්මනිකායයෙන් සැව මෙ මිනිසත් බවට පැමිණෙත්. ඔහු මෙහි ධ්‍යාන සිතින් උපන්නාහු, ප්‍රීතිය ම ආහාර කොටැත්තාහු, සිය සිරුරු පෙබෙන් බබළන්නාහු, අහසින් යන්නාහු, සිත්කලු වස්ත්රාභරණ ඇති වැ සිටින්නාහු ඉතා බොහෝ කලක් එසේ සිටිත්.
6. වාශිෂ්ඨයෙනි, එ සමයෙහි සියලු සක්වළ එක් මැ දිය කඳෙක් වැ සිටියි. අඳුරෙක් මහ ගනඳුරෙක් ම වෙයි. සඳු හිරුහු නො පැනෙත්, නකත්හු තරුහු නො පැනෙත්. රෑ දාවල්හු නො පැනෙත්, මාස පක්ෂයෝ නො පැනෙත්. ඍතු සංවත්සරයෝ නො පැනෙත්, ස්ත්‍රී පුරුෂයෝ නො පැනෙත්. සත්වයෝ සත්වයෝ යැ යි ම ව්‍යවහාරයට පැමිණෙත්. වාශිෂ්ඨයෙනි, ඉක්බිති යම්සේ නිවෙන්නාවූ හුණු කිරි මත්තෙහි යොදයෙක් වේ ද, එසේ ම රස පොළොව ඒ දිය මතුයෙහි සිසාරා පැතිරගෙන පහළ විය. එය වර්ණ සම්පන්න ද ගන්ධ සම්පන්න ද රස සම්පන්න ද විය. මනාකොට නිපැයුණු ගිතෙලෙක් හෝ වෙඬුරෙක් යම්බඳු වේ ද, ඒ රස පොළොව එබඳු පැහැ ඇත්තේ ද විය. නිදොස් වූ (පිළවුන් නැති) දඬුවැල්බෑ මීවදයෙක් යම් බඳු වේ ද, ඒ රස පොළොවේ රසය ද එබඳු විය.
වාශිෂ්ඨයෙනි, එක්තරා ලෝල ස්වභාවය ඇති සත්වයෙක් භවත්නි, මේ කුමක් විය යුතු දැ?’ යි රස පොළොව මඳක් ඇඟිල්ලෙන් ගෙන දිවැ ගෑයේ ය. රස පොළොව ඇඟිල්ලෙන් මඳක් ගෙන දිවැ ගෑ ඔහුට එය ප්‍රිය විය. එහි තෘෂ්ණාව ද ඔහු සිතට බැස ගත.
වාශිෂ්ඨයෙනි, අන් සත්හු ද ඒ සත්වයාගේ දෘෂ්ටානුගතියට පැමිණෙන්නාහු (ඒ සත්වයා කළ දෑ දැක එය අනුගමනය කරන්නාහු) රසපොළොව ඇඟිල්ලෙන් ගෙන ලෙවැ කෑහ. රස පොළොව ඇඟිල්ලෙන් ගෙන ලෙවැ කන ඔවුනට එය ප්‍රිය විය. එය කෙරෙහි තෘෂ්ණාව ද ඔවුන් සිතට බැස ගත. වාශිෂ්ඨයෙනි, එකල්හි ඒ සත්හු රස පොළොව පිඬු කොට කඩාගෙන වළඳන්නට පටන්ගත්හ. වාශිෂ්ඨයෙනි, එසේ කරන කල්හි ඒ සත්වයන්ගේ ස්වයම්ප්‍රභාව අතුරුදහන් විය. එය අතුරුදහන් වූ පසු සඳ හිරුහු ප්‍රකට වූහ. සඳු හිරුන් ප්‍රකට වූ පසු නකත් තරුහු ප්‍රකට වූහ. රෑ දාවල් පැනුණහ. රෑ දාවල් පැනෙන කල්හි මාස පක්ෂයෝ පැනුණහ. මාසපක්ෂයන් පැනෙන කල්හි ඍතු සංවත්සරයෝ පහළ වූහ. වාශිෂ්ඨයෙනි, මෙ තෙකින් මෙ ලොව යලි දු පහළ වූයේ වෙයි.
7. වාශිෂ්ඨයෙනි, එ කල්හි, ඒ සත්වයෝ රසපොළොව පරිභෝග කරන්නාහු, එය වළඳන්නාහු, එය ම ආහාර කොටැත්තාහු බොහෝ දික් කලක් සිටියාහ. වාශිෂ්ඨයෙනි, යම් යම් සේ ම ඒ සත්වයෝ රසපොළොව පරිභෝග කරන්නාහු, එය වළඳන්නාහු, එයි ම ආහාර කොට ඇත්තාහු ඉතා බොහෝ කලක් සිටියාහු ද, එසේ එසේ ම ඒ සතුන්ගේ සිරුරෙහි රළු බව ඇති විය, නො පැහැපත් බව පැනිණ. ඔවුන් අතුරෙහි ඇතැම් සත් කෙනෙක් පැහැපත් ද ඇතැම් සත් කෙනෙක් නො පැහැපත් ද වෙත්, ඔවුන් අතුරෙන් යම් කෙනෙක් පැහැපත් වූහු ද, ඔහු අපි මොවුනට වඩා පැහැපත්තම්හ මොහු අපට වඩා පැහැයෙන් අඩුහ’ යි නොපැහැපත්තන් ඉක්මැ සිතක් (පහත් කොට සලකත්). වර්ණාතිමාන හේතුයෙන් මානාතිමාන ස්වභාවය ඇති ඔවුන්ගේ ඒ රස පොළොව අතුරුදහන් විය. රස පොළොව අතුරදහන් වූ කල්හි, ඔහු එක් රැස්වූහ. එක්රැස් වැ ‘අහෝ පෘථිවි රස ය, අහෝ පෘථිවි රසයැ’යි පුනපුනා කීහ. අද ද මිනිස්සු මනාප රසයක් ලැබ, ‘අහෝ රස ය, අහෝ රස යැ’ යි මෙසේ කියත්. ඒ පැරැණි ලොකොත්පත්ති වංශකථාව අනුව යෙත්. එහෙත් එහි අරුත් නො දනිත්.
වාශිෂ්ඨයෙනි, එසමයෙහි ඒ සත්නට රස පොළොව අතුරුදහන් වූ කල්හි, භූමිපප්පටකය (බිම් පප්පඩම්) පහළ වී ය. යම්සේ නාහතු පහළ වන්නේ ද, එ මෙන්ම එය පහළ වීය. එය පැහැපැත් ද සුවඳවත් ද රසවත් ද විය. මොනොවට නිපැයුණු ගිතෙල් යම් සේ ද, මොනොවට නිපැයුණු වෙඬරු යම් සේ ද, එය එබඳු පැහැ ඇත්තේ විය, පිළවුන් නැති දඬුවැල බෑ මීය යම්සේ ද, එය එබඳු රස ඇත්තේ විය.
වාශිෂ්ඨයෙනි, එ කල්හි ඒ සත්හු භූමිපර්‍පටකය වළඳන්නට පටන් ගත්හ. ඔහු එය පරිභෝග කරන්නාහු එය වළඳන්නාහු එය අහර කොට ඇත්ත හු ඉතා දික් කලක් සිටියාහ. වාශිෂ්ඨයෙනි, යම් යම්සේ ඒ සත්හු භූමිපර්‍පටකය පරිභෝග කරන්නාහු, එය වළඳන්නාහු, එය අහර කොටැත්තාහු, ඉතා බොහෝ කලක් සිටියාහු ද, එසේ එසේ ම බොහෝසෙයින් ඒ සතුන්ගේ කයෙහි රළු බව ද බැස ගත, පැහැය අඩු බවද පැනිණ. ඇතැම් සත් කෙනෙක් පැහැපත් වෙත්, ඇතැම් කෙනෙක් නො පැහැපත් වෙත්. ඔවුන් අතුරෙන් යම් සත් කෙනෙක් පැහැපත් වෙත් ද, ඔහු ‘අපි මොවුනට වඩා පැහැපතතම්හ. මොහු අපට වඩා පැහැයෙන් අඩු හ’ යි නො පැහැපත් සතුන් ඉක්මැ සිතත් (අවමන් කෙරෙත්). මානාතිමානය ස්වභාවය කොටැති ඔවුන්ගේ ඒ පැහැය නිසා ඇති වූ අතිමාන කාරණයෙන් භූමිපර්‍පටකය අතුරුදහන් විය.
භූමිපර්‍පටකය අතුරුදහන් වූ කල්හි බදාලතාව පහළ විය. විල්පලා යම් සේ ද ඒ බදාලතාව ද එසේ ම පහළ විය. එය පැහැපත් ද සුවඳවත් ද රසවත් ද විය. මොනොවට නිපැයුණු ගිතෙල් හෝ මොනොවට නිපැයුණු වෙඬරු යම බඳු ද, එය එබඳු පැහැ ඇත්තේ විය. පිළවුන් නැති දඬුවල් බෑ මීයක් යම් බඳු ද එසේ ම එය මිහිර රසැත්තේ විය. වාශිෂ්ඨයිනි, එකල්හි ඒ සත්හු බදාලතාව වළඳන්නට පටන්ගත්හ. ඔහු එය පරිභෝග කරන්නාහු, එය වළඳන්නාහු, එය ආහාර කොටැත්තාහු, ඉතා බොහෝ කලක් සිටියාහ. වාශිෂ්ඨයිනි, යම් යම් සේ ම ඒ සත්වයෝ බදාලතාව පරිභෝග කරන්නාහු, එය වළඳන්නාහු, එය අහර කොටැත්තාහු, ඉතා බොහෝ කලක් සිටියාහු ද, එසේ එසේ ම බොහෝ සෙයින් ඒ සතුන්ගේ කයෙහි රළු බව ද ඇති විය. පැහැ අඩුබව ද පැනිණ. ඇතැම් සත් කෙනෙක් පැහැපත් වෙත්. ඇතැම් කෙනෙක් නොපැහැපත් වෙත්. ඔවුන් අතුරෙන් යම් සත් කෙනෙක් පැහැපත් වෙත් ද, ඔහු ‘අපි මොවුනට වඩා පැහැපත් වම්හ, මොහු අපටත් වඩා පැහැයෙන් අඩු හ’ යි නොපැහැපත් සතුන් ඉක්මැ සිතත්. මානාතිමානජාතික වූ ඔවුන්ගේ වර්ණාතිම නප්රත්යය හෙයින් බදාලතාව අතුරුදහන් විය. බදාලතාව අතුරුදහන් වූ කල්හි ඔහු එක්රැස් වූහ. එක් රැස් වැ (මිහිරි රසැති බදාලතාව) අපට ඇති විය. එය දැන් නැති වී යැ’යි පුනපුනා කීහ. දැනුදු මිනිස්සු කිසි දුකෙකි, පැහැසුණාහු ‘අපට ඇති විය, දැන නැති වී යැ’ යි මෙසේ කියත්. ඒ පැරැණි වංශකථාව අනුව යෙත්. වැලිදු එහි අර්ථය නො දනිත්.
8. වාශිෂ්ඨයෙනි, ඉක්බිත්තෙන් ඒ සත්නට බදාලතාව අතුරුදහන් වූ කල්හි නොසෑ පොළවෙහි හටගෙන පැසෙන, කුඩු නැති, දහවෙයියා නැති, සුවඳවත සහල් ම ඵල කොට ඇති හැල් වෙසෙසෙක් පහළ විය, යම් සහලක් සවස් වේලෙහි සවස් බොජුනට ගෙනෙත් ද, පසු දින උදාසනැ එය පැසුණේ යලි දු වැඩුණේ වෙයි. කපා නොගන්නා ලද තැනක් ව (නොඅඩු ව) පැනෙයි. වාශිෂ්ඨයෙනි, එකල්හි ඒ සත්වයෝ නො සාන ලද බිමෙහි හටගෙන පැසුණු හැල්සහල් පරිභෝග කරන්නාහු, එය ම වළඳන්නාහු, එය ම ආහාර කොටැත්තාහු, ඉතා බොහෝ කලක් සිටියාහ.
9. වාශිෂ්ඨයෙනි, යම්සේ යම්සේ ඒ සත්හු නො සෑ බිමැ හටගෙන පැසුණු හැල්සහල් පරිභෝග කරන්නාහු, එය ම වළඳන්නාහු, එය ම ආහාර කොටැත්තාහු, ඉතා බොහෝ කලක් සිටියාහු ද, එසේ එසේ ඒ සතුන්ගේ සිරුරෙහි බොහෝ සෙයින් රළුබව පහළ විය, නොපැහැපත් බවද පැනිණ. ස්ත්‍රියට ස්ත්‍රීලිංගය ද, පුරුෂයාට පුරුෂලිංගය ද පහළ විය. ස්ත්‍රී ද වූ කලී ඉතා බොහෝ වේලාවක් පුරුෂයා දෙස බලාඉඳී, පුරුෂයා ද ස්ත්‍රිය දෙස බොහෝ වේලා බලාඉඳී. මෙසේ ඉතා බොහෝ වේලා ඔවුනොවුන් දෙස බලා ඉන්නා ඔවුනට සරාගය පහළ විය. රාගපරිදාහය කයෙහි බැස ගත්තේ ය. ඔහු රාගපරිදාහ හේතුයෙන් මෙවුන්දම් සෙවූහ. වාශිෂ්ඨයෙනි, එ සමයෙහි යම් සත්ව කෙනෙක් මෙවුන්දම සෙවුනාවුන් දකිත් ද ඒ අන්‍යයෝ ‘වසලිය, නැසෙව, වසලිය, වැනැසෙව. කෙසේ නම් සතෙක් සතක්හට මෙබන්දක් කරන්නේ දැ’ යි කිය, පස් දමාගසත්, අන් කෙනෙක් අළු දමාගසත්, තව කෙනෙක් ගොම දමාගසත්. දැනුදු ඇතැම් දනවුහි මිනිස්සු එය කරත්. ස්ත්‍රියක ගෙනයනු ලබන කල්හි අන් කෙනෙක් පස් දමාගසත්, අන් කෙනෙක් අළු දමාගසත්, තව කෙනෙක් ගොම දමාගසත්. ඒ පැරැණි ලොකොත්පත්තිවංශ කථාව අනුව යෙත්. එහෙත් එහි අදහස නො ම දනිත්.
10. වාශිෂ්ඨයෙනි, එ සමයෙහි පස් දමාගැසුම් ආදි විසින් අධර්‍මයැ යි සම්මත වූ යමෙක් වී ද, එය දැන් ධර්ම යැ යි සම්මත වැ ඇත. වාශිෂ්ඨයෙනි, එ සමයෙහි යම් සත්ත්ව කෙනෙක් වනාහි මෙවුන්දම් සෙවිත් ද, ඔහු තුන් මසකුදු නැත හොත් දෙ මසකුදු ගමකට හෝ නියම්ගමකට හෝ පිවිසෙන්නට අවසර නො ලබත්. වාශිෂ්ඨයෙනි, එ සමයෙහි සත්වයෝ යම් හෙයෙකින් අසද්ධර්මයෙහි (මෙවුන්දම්හි) ඉතා බොහෝ වේලාවක් යෙදිය යුතු බවට පැමිණියාහු ද, එහෙයින් ම ඒ අසද්ධර්මය වසා ලනු පිණිස ගෙවල් කරන්නට පටන්ගත්හ.
වාශිෂ්ඨයෙනි, එ කල්හි එක්තරා අලස ගති ඇති සතක්හට “භවත්නි, උදේ බොජුන් පිණිස උදාසන ද හවස බොජුන් පිණිස සවස් කල්හි ද හැල් ගෙන එනුයෙම් මම් කුමට මෙසේ වෙහෙසෙම් ද? උදේ හවස දෙක්හි ම බොජුන් පිණිස එක් වරට ම හැල්ගෙන ආයෙම් වීම් නමැ යෙහෙකැ” යි මේ සිත විය. වාශිෂ්ඨයෙනි. ඒ සත් තෙම උදේ සවස බොජුන් පිණිස එක්වර ම හැල් ගෙනායේ ය. එ කලැ එක්තරා සත්වයෙක් ඒ සත්වයා කරා එළැඹි යේ ය. එළැඹ ඔහුට ‘භවත් සත්වය, එව, හැල් ගෙන ඊමට යම්හ’ යි කී ය. ‘භවත් සත්වය, කම් නැත. උදේ සවස බොජුන් පිණිස මා විසින් එක් වර ම හැල් ගෙනෙන ලදැ’ යි හේ කී ය. වාශිෂ්ඨයෙනි, එ විට ඒ සත්ව තෙම ඒ (එක් වර දෙවේලට ම හැල් ගෙනා) සත්වයාගේ දෘෂ්ටානුගතියට (ඔහු කළා දුටු දැය අනුව යෑමට) පැමිණෙනුයේ, ‘භවත්නි, මෙසේත් යහපතැ’ යි කිය දෙදවසකට එක් වරක් හැල් ගෙනායේ ය. වාශිෂ්ඨයෙනි, එ කල්හි එක්තරා සත්වයෙක් (ඒ දෙදවසකට එක් වරක් හැල් ගෙනා) සත්වයා කරා එළැඹියේ ය, එළැඹ, ‘භවත් සත්වය, හැල් ගෙනීමට යම්හ’ යි කී ය. ‘භවත් සත්වය, එයින් කම් නැත. මා විසින් දෙදවසකට ම (පොහොනා පමණ) හැල් එක් වරට ම ගෙනෙන ලදැ’ යි ඒ සත්ව තෙම කී ය, වාශිෂ්ඨයෙනි, එ විට ඒ සත්ව තෙම අනෙකා කළා දුටු දෑ අනුව යන්නේ, ‘භවත්නි, මෙසේත් යහපතැ’ යි කියා එක් වර ම සතර දිනකට පොහොණා පමණ හැල් ගෙන්යේ ය. … එකල්හි ඒ සත් තෙම අනෙකා කළා දුටු දෑ අනුව යනුයේ, ‘භවත්නි, මෙසේත් යහපතැ’ යි කියා එක් වර ම අට දවසකට පහොනා පමණ හැල් ගෙනායේ ය. වාශිෂ්ඨයෙනි, ඒ සත්වයෝ යම් කලෙක හැල් රැස් කොට තබා පරිභෝග කරන්නට පටන් ගත්තු ද, එකල්හි කුඩු ද සහල වසා ගත්තේ ය. දහවෙයියා ද සහාල වසා ගත්තේ ය. හැල් කපා ගත් තැන ද යලි නො වඩුණේ ය. හැල් කපා ගත් තැන ද ඌන ව පැනුණේ ය. හැල්හු පඳුරු පඳුරු වැ සිටියාහ.
වාශිෂ්ඨයෙනි, එ කල් හි ඒ සත්වයෝ එක් තැනකට රැස්වූහ. රැස් ව උනුන් හා මෙසේ කතා කැරැගත්හ: භවත්නි, ඛෙදයෙක! ලාමක ස්වභාවයෝ සත්වයන් කෙරෙහි පහළ වූහ. අපි පෙරැ මනෝමය වූ, ප්‍රීතිය භෝජනය කොටැති ව ස්වයම්ප්‍රභ ව, ශොභන වස්ත්රාභරණ ඇති ව සිටින්නමෝ ඉතා බොහෝ කල් සිටුම්හ. ඒ අපට කිසි කලෙක්හි ඉතා බොහෝ කලක් ඇවෑමෙන් රස පොළොව දියෙහි පැතිරැගෙන සිටියේය. එය පැහැවත් ද සුවඳවත් ද රසවත් ද විය. ඒ අපි රස පොළොව අත්වලින් පිඬුකොට ගෙන වළඳන්නට පටන් ගතුම්හ. රස පොළොව අත්වලින් පිඬු කොට ගෙන වළදන්නට පටන්ගත් අපගේ ස්වයම්ප්‍රභාව අතුරුදහන් විය.
එය අතුරුදහන් වූ කල්හි සඳහිරුහූ ප්‍රකට වූහ. සඳුහිරුන් පහළවූ කල්හි නක්ෂත්රයෝ ද තාරකාරූපයෝ ද ප්‍රකට වූහ. නක්ෂත්රතාරකාරූප ප්‍රකට වූ පසු රෑදාවල්හු පැනුණහ. රෑදාවල් පැනෙන කල්හි මාස පක්ෂයෝ පැනුණහ. මාසපක්ෂයන් පැනෙන කල්හි ඍතුසංවස්තරයෝ පැනුණහ. ඒ අපි රස පොළොව පරිභෝග කරන්නමෝ, එය වළඳන්නමෝ, එය ආහාර කොටැ ගත්තමෝ, ඉතා බොහෝ කලක් සිටියම්හ. ඒ අපට ලාමක අකුසල් දහම් පහළ වීමෙන් ම රසපොළොව අතුරුදහන් විය. රස පොළොව අතුරුදහන් වූ කල්හි භූමිපර්‍පටකය පහළ විය. ඒ අපි භූමිපර්‍පටකය පරිභෝග කරන්නට පටන් ගතුම්හ. ඒ අපි එය පරිභෝග කරන්නමෝ, එය වළඳන්නමෝ එය ම ආහාර කොට ඇත්තමෝ ඉතා බොහෝ කලක් සිටියම්හ. ඒ අපට ලාමක අකුසල් දහමුන් පහළ වීමෙන් භූමිපර්‍පටකය අතුරුදහන් විය. භූමිපර්‍පටකය අතුරුදහන් වූ කල්හි බදාලතාව පහළ විය. එය පැහැවත් සුවඳවත් රසවත් විය. ඒ අපි බදාලතාව පරිභෝග කරන්නට පටන් ගතුමු. එය පරිභෝග කරන්නමෝ, එය වළඳන්නමෝ, එය ම ආහාර කොටැත්තමෝ ඉතා බොහෝ කලක් සිටියම්හ. ඒ අපට ලාමක අකුශල ධර්ම පහළ වීමෙන් බදාලතාව අතුරුදහන් විය. බදාලතාව අතුරුදහන් වූ කල්හි කුඩු නැති දහවෙයියා නැති පිරිසිදු සුවඳැති සහල ම ඵල කොටැති නො සානා ලද බිමැ හටගෙන පැසෙන හැල් වෙසෙසෙක් පහළ විය. සවස් කලැ සවස් බොජුනට යම් සහලක් ගෙනෙත් ද පසුදිනැ උදාසනැ එය පැසුණේ යලි දු වැඩුණේ වෙයි. කපා නොගන්නා ලද තැනෙක් ම (නොඅඩු ව) පැහුණේ ය. ඒ අපි නො සාන ලද බිමැ හටගෙන පැසුණු හැල්සහල් පරිභෝග කරන්නමෝ, එය ම වළඳන්නමෝ, එය ම අහර කොටැත්තමෝ, ඉතා බොහෝ කලක් සිටියම්හ. ඒ අපට ලාමක අකුසල් දහම් පහළ වීමෙන් ම කුඩු ද සහල වසාගෙන බැඳී සිටියේ ය. දහවෙයියා ද සහල වසා බැඳී සිටියේ ය. කපා ගන්නා ලද තැන ද යලි නො නැඟුණේ ය. ඌනත්වය පැනුණේ ය. පඳුරු පඳුරු වැ හැල්හු සිටියාහ. අපි හැල් (අප අතරැ) වෙන වෙන ම බෙදා ගන්නමෝ නම්, ඉම් තබන්නමෝ නම් මැනැවැ” යි මෙසේ කතා කැරැගත්හ. වාශිෂ්ඨයෙනි, ඉක්බිති ඒ සත්වයෝ හැල් බෙදූහ. ඉම් තැබූහ.
11. වාශිෂ්ඨයෙනි, එ කල්හි ලොල්පියෙවි ඇති එක්තරා සතෙක් සිය කොටස රැකගනුයේ තමාට නො දෙන ලද එක්තරා කොටසක් ගෙන පරිභෝග කෙළේ ය. (සෙස්සෝ) ඔහු අල්ලා ගත්හ, අල්ලා ගෙන ‘භවත් සත්වය, යම් බඳු තෝ සිය කොටස රකිනුයෙහි තමහට නොදුන් එක්තරා කොටසක් ගෙන පරිභෝග කෙළෙහි ද, ඒ තෝ ඒකානත්තයෙන් ලාමක දැයක් කෙළෙහි ය. භවත් සත්වය, යලිත් මෙබන්දක් නහමක් කරව’ යි කී හ. වාශිෂ්ඨයෙනි, ඒ සත්ව තෙම ‘එසේ ය භවත්නි’ යි කියා ම ඒ සත්නට පිළිවදන් දුන. වාශිෂ්ඨයෙනි, දෙවෙනි වර ද ඒ සත් තෙම සිය කොටස රකිනුයෙහි, තමාට නොදුන් එක්තරා කොටසක් ගෙන පරිභෝග කළේය. සෙස්සෝ ඔහු අල්ලා ගත්හ. අල්ලා ගෙන, ‘භවත් සත්වය, යම්බඳු තෝ සිය කොටස රකිනුයෙහි, තමාට නොදුන් එක්තරා කොටසක් ගෙන පරිභෝග කෙරෙහි ද, ඒ තෝ ලාමක දැයක් කෙරෙහි ය. භවත් සත්වය, යලිත් මෙබන්දක් නො කරව’ යි කී හ. වාශිෂ්ඨයෙනි, තෙවෙනි වර ද ඒ සත් තෙම සිය කොටස රකිනුයෙහි, තමාට නො දුන් කොටසක් ගෙන පරිභෝග කළේ ය. සෙස්සෝ ඔහු අල්ලා ගත්හ. අල්ලා ගෙන, ‘භවත් සත්වය, යම් බඳු තෝ සිය කොටස රකිනුයෙහි, තමාහට නොදුන් එක්තරා කොටසක් ගෙන පරිභෝග කෙරෙහි ද, ඒ තෝ ලාමක දැයක් ම කෙරෙහි ය. භවත් සත්වය, යලිත් මෙබන්දක් නහමක් කරව’ යි කී හ. කෙනෙක් අතින් පහළහ. කෙනෙක් කැටින් පහළහ. කෙනෙක් දංඩෙන් පහළහ, වාශිෂ්ඨයෙන, එතැන් පටන් කොට අයිනාදන පැනෙයි, ගැරැහුම පැනෙයි, මුසා බිණීම පැනෙයි, දඬු ගැනුම් පැනෙයි.
.