ශල්‍යවෛද්‍ය වාට්ටුවේ දී මුණ ගැසෙනා මේ ලෙඩා ඇවිත් හිටියේ බඩේ කැක්කුමකට බෙහෙත් ගන්න. බඩ ඔබලා බලද්දි මැද හරියෙ පොඩි අමුතු කැක්කුමක් තියෙනවා. කොහොමහරි මේ ලෙඩාට කරපු මූලික ප්‍රතිකාර වලින් සුවයක් ලැබිච්ච නැති හන්දා කැක්කුමට හේතුව හොයන්න scan පරීක්ෂණයක් සිදු කරනවා...
එතකොට තමයි අපි ටිකක් විතර අවාසනාවන්ත දෙයක් දැක්කෙ. මෙයාගෙ අක්මාව පුරාවට සැක සහිත ගෙඩි කිහිපයක් ඇතිවෙලා තිබ්බ. නිකන් හරියට අක්මාවට පැතිරිච්ච පිළිකාවක් වගේ.
දැන් ඉතින් මේක මොකද්ද කියලා හරියටම කියන්න නම් CT පරීක්ෂණයක් කරන්න වෙනවා...
ඊයෙ පෙරේදාත් මේ වගේ හදිසි ලෙඩෙක්ට CT එකක් කරන්න දින ඉල්ලපු වෙලාවේ එයාට ලැබුණේ තව මාස දෙකකින් වගේ දිනයක්. ඉතින් අපි මේ ලෙඩාගෙන් අහලා බැලුවා CT එක private hospital එකකින්වත් කරගන්න පුළුවන් ද කියලා...
අනේ මහත්තයෝ අපි හරි දුප්පත් මිනිස්සු අපිට එච්චර සල්ලියක් නෑ...
මුහුණේ හරි අසරණ බැල්මක් ඇඳිල යනකොට ඒක මගෙන් වහං කරන්නද කොහෙද ලෙඩා ළඟ තිබ්බ ජනේලයෙන් ඈත ක්ෂිතිජ ඉම දිහා බලාගෙන සුසුම් හෙළුවා...
මගෙත් හිතට හරි නෑ වගේ... මගෙත් හිත පුරාවටම අඳුරු වැහි වළාකුළු සක්මන් කරද්දී එක්වරම පුපුරාගිය අකුණකින් හතර වටේම ඒකාලෝක වෙලා හැමදේම පේනවා වගේ, මම ලෙඩාගේ වෙනසක් එක පාරටම දැක්කා...
ඔව්. එයාට තිබ්බෙ බේබද්දෙක්ගේ පෙනුමක්. අක්මාවේ ලෙඩයි අරක්කුයි අතරේ සම්බන්ධයක් තියෙනවානේ. ඉතින් මං පරක්කු කරන්නේ නැතුවම එයාගෙන් ඒ ගැන ඇහුවා...
දැන් නම් මං බොන්නෙ නෑ මහත්තයෝ...
අන්තිමටම බීවේ කවද්ද ?
ගිය සතියේ.
දවසට කොච්චර බොනවද?
බෝතල් භාගයක් වගේ...
හෑ...
අහ්. ඒකයි ඔයාට සල්ලි නැත්තෙ... මං කිව්වා නෙවෙයි කියවුණා...
ඉතින් මෙහෙම තමයි ලංකාවේ ගොඩක් තැන්වල තත්ත්වය... පරීක්ෂණයක් ඉක්මණට කරන්න කියපුවාම සල්ලි නෑ. ඒත් බොන්න නම් මෙයාලට ඕනි තරම් සල්ලි තියනවා...
මෙයාලගේ ගෙවල් වල තත්ත්‍වයත් මෙහෙමමයි. ළමයි අඳින්නෙ එක ඇඳුමයි. කන්නෙ හැමදාම කරවලයි බතුයි. ගෙයක්වත් හරියකට නෑ... ඒත් බොන්න නම් සල්ලි තියෙනවා සුපිරියටම... මේ වගේ මත්පැන් වලට විතරක් ප්‍රමුඛතාව ලබාදෙන අය ගැන කරන්න කිසිම දෙයක් නැති එක තමයි දුක...
කලින් ලිපි පොතක් විදියට කියවන්න කැමති නම් මෙන්න link එක.
https://cutt.ly/oxXG78C
ග්‍රන්ථ.lk එකෙන් ගෙදරට ම ගෙන්නාගන්න පුළුවන් .
ඩොකාගෙ ඩයිරිය FB





