අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 02 කොටස

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 02 කොටස

    ඉතින් සති කීපයකට පස්සේ තමයි ආයෙත් ‘අතිශයින්ම කාන්තාවන්ට පමණයි’ දෙවනි කොටස ඔබට ලියන්නේ. පළවෙනි කොටසට බොහොම හොඳ ප්‍රතිචාර ලැබුණා, සමහරු බැනලත් තිබුණා. ඒ හැමදේම බොහොම නිහතමානීව පිළිගන්නවා.

    ඔබට පළවෙනි කොටස කියවන්න බැරිවුණානම් මෙතනින් කියවන්න පුළුවන්. හරි එහෙනම් අපි අද කතා කරන්න පටන් ගන්නේ කලින් කොටසේ කිව්වා වගේම මුල ඉඳන්ම ලිංගිකත්වය සහ ලිංගික,ප්‍රජනන සෞඛ්‍ය ගැන කාන්තා ඔබ දැනගත යුතු හැමදේම.

    ලිංගිකත්වය කියන දේ මනුස්සයාට උරුම වෙලා තියෙන්නේ මානව පරිණාමය එක්ක ප්‍රධාන වශයෙන්ම වර්ගයා බෝ කිරීම සඳහා උත්තේජනයක් විදිහට. මේ ගැන බොහොම දීර්ග පැහැදිලි කිරීමක් එම්.නේස්තුර් ගේ ‘මිනිසාගේ පරිණාමය’ පොතේ තියනවා. පහුකාලීනව මේ ලිංගිකත්වය තුලින් කාන්තාවන්-පුරුෂයන් තෘප්තිමත්භාවයට පත්වීම ගැන තේරුම්ගත්ත නිසා ඒක ජිවිතේ වෙනමම කොටසක් විදිහට පවත්වාගන්න පුරුදුවුණා.

    මේ විදිහට වර්ගයා බෝ කරන්න මිනිසා තුල ප්‍රජනන පද්ධතියක් බිහිවෙලා තියෙන්නේ ලිංගිකත්වය කියන හැඟීම තුලින් කාන්තාවක් සහ පිරිමියෙක් කායිකව එක්වීම සහ එහි ප්‍රතිිඵලයක් විදිහට කාන්තාවගේ ශරීරය තුල දරුවෙක් හටගැනීම සිදුවෙනවා. මෙන්න මේ කාරණය අපි හොඳින් දන්න කාරණයක්. ඒත් එතනදි අපි නොදන්න කාරණාත් තියෙන්න පුළුවන් නිසා සරලම තැනින් පටන්ගමු.
    කාන්තාවක් සහ පුරුෂයෙක් ලිංගිකව එක්වෙන ක්‍රියාවලිය හඳුන්වන්නේ ‘සංසර්ගය’ (intercourse) යනුවෙන්. මේ ලිංගික සංසර්ගයට කාන්තාවගේ යෝනි මාර්ගය හෙවත් ස්ත්‍රී ලිංගය සහ පුරුෂයෙක්ගේ ශිෂ්ණය හෙවත් පුරුෂ ලිංගයත් භාවිතා කරනවා. මේකට පොදු ව්‍යවහාරයේ එක එක නම් තියෙන්න පුළුවන්. ඒත් අපි මේ ගැන ඉගනගනිද්දි, ප්‍රසිද්ධියේ කතා කරද්දි භාවිතා කරන්නේ මේ නම් තමයි. එතකොට මේ යෝනිය සහ ශිෂ්ණය කියන දෙකම මිනිසාගේ ප්‍රජනන පද්ධතියේ කොටස්.
    මුලින්ම අපි කතාකරමු කාන්තාවගේ ප්‍රජනන පද්ධතිය ගැන. ඒ කියන්නේ ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ගැන. ස්ත්‍රී ප්‍රජනන පද්ධතියට ඩිම්බ කෝෂ, පැලෝපීය නාල, ගර්භාෂය හා ගැබ්ගෙල වැනි අංග අයිති වෙනවා. ඔබ කාන්තාවක් වුනත් බොහෝවිට මේ අංග ගැන ඔබට අවබෝධයක් නැතිවෙන්න පුළුවන්. ඒ නිසා හොඳට මේ ටික කියවලා ඉන්න එක බොහොම වැදගත්.

    ඩිබ්ම කෝෂ, පැලෝපීය නාල, ගර්භාෂය සහ ගැබ්ගෙල පිහිටලා තියෙන්නේ කාන්තාවගේ ශ්‍රෝණි කුහරය තුළයි. හරියටම කියනවනම් කාන්තාවගේ කකුල් දෙක අතරේ යට බඩට පහලින් ඇති යෝනි විවරය තුලින් ඇතුලත කොටසේ සිට උදරය දක්වාම මේ අංගයන් පැතිරිලා තියනවා. පිටතට පෙන්නට ඇති එකම විවරය වන යෝනි විවරය පමණක් කාන්තාවගේ ලිංගික උපාංගය විදිහට බොහෝ පිරිමින් දන්නවා වුනාට ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය බොහොම විශාලයි.

    සාමාන්‍යයෙන් කාන්තාවගේ ගර්භාෂය මිට මෙලවූ අතක් ප්‍රමාණය වෙනවා. එහෙත් දරුවෙක් ඒ තුල පිළිසිඳගත් අවස්ථාවේ ඉඳන් එය කෙමෙන් කෙමෙන් වැඩෙන්න පටන් ගන්නවා. ගර්භාෂය කියන්නේ කාන්තාවගේ ප්‍රජනන පද්ධතිය තුල තියන වැදගත්ම අංගයක්.

    ඒ වගේම ඩිම්බ කෝෂ ගැන කතාකරද්දි ඒවා වෙරළු ගෙඩියක පමණ ප්‍රමාණයෙන් යුක්ත වෙනවා. කාන්තාවගේ ඩිම්බ කෝෂ දෙක තුළ ඩිම්බ නිෂ්පාදනය වෙනවා, ඒ කියන්නේ දරුවන් හටගැනීමට පුරුෂයෙක්ගේ ශුක්‍රාණු සමග එක්වෙන ඩිම්බ නිෂ්පාදනය වෙන්නේ ඩිම්බ කෝෂ තුලයි. ඒ විතරක් නෙවෙයි ස්ත්‍රී හෝර්මෝන වන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් නිපදවෙන්නේත් ඒ තුලයි. සාමාන්‍යයෙන් මසකට වතාවක් කාන්තාවකගේ මේ ඩිම්බ කෝෂ තුලින් එක ඩිම්බයක් පිටවෙනවා. මේක හඳුන්වන්නේ ඩිම්බ මෝචනය කියලයි. මේ විදියට ඩිම්බයක් පිටවෙන්නේ කාන්තාවකගේ ඔසප්වීම (ආර්තවය) පටන්ගෙන දවස් 14ක වගේ කාලයකින්.

    එහෙම පිටවෙන ඩිම්බය පැලෝපීය නාලය දිගේ ගර්භාෂය දිහාවට ගමන් කරනවා. මෙහෙම කියනකොට ඔබේ හිතේ චිත්‍රයක් ඇඳෙන්න පුළුවන් වැඩේ වෙන්නේ මෙහෙමයි කියලා. ඒක හොඳයි, මොකද එතකොට මේ කියන කතාව තේරුම්ගන්න ලේසියි. මෙහෙම ගමන්කරන ඩිම්බය ගර්භාෂය තුලදි පුරුෂයෙක්ගේ ශුක්‍රාණුවක් එක්ක එකතුවෙලා සංසේචනය වුනේ නැත්නම් (ඒ කියන්නේ අනාර්ක්ෂිත ලිංගික එක්වීමකින් පුරුෂයෙක්ගේ ශුක්‍රාණු කාන්තාවගේ ගර්භාෂයට ගමන් කරලා එහිදි ඩිම්බයක් එක්ක එකතු වෙලා නැත්නම්) ගර්භාෂය ඇතුලත බිත්ති ගැලවිලා රුධිරයත් එක්ක යෝනි මාර්ගයෙන් පිටවෙන්න පටන් ගන්නවා. මෙන්න මේක තමයි ඔසප්වීම (ආර්තවය) විදිහට හඳුන්වන්නේ.

    සාමාන්‍යයෙන් කාන්තාවක් සහ පිරිමියෙක් ලිංගිකව එක්වුනාම පුරුෂ ශුකාණු තැන්පත් වෙන්නේ කාන්තාවගේ යෝනි මාර්ගයේ. එහෙම ශුක්‍රාණුවක් ඩිම්බයක් එක්ක එකතුවෙලා දරුවෙක් නිර්මාණය වුනාම ඒ දරුවා බිහිවෙන්නේත් කාන්තාවගේ යෝනි මාර්ගයෙන්, තව ඔසප්වීමේදී රුධිරය පිටවන්නේත් යෝනි මාර්ගයෙන් නිසා ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ මූලිකම ස්ථානය විදිහට යෝනි මාර්ගය හඳුන්වන්න පුළුවන්. යෝනි මාර්ගය සහ ගර්භාෂය අතරේ ඇති විවරය ගැබ්ගෙල විදිහට හඳුන්වනවා.
    හරි මෙන්න මේ විදිහට තමයි කාන්තා ඔබගේ ප්‍රජනන පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නේ. ඔබගේ ප්‍රජනන පද්ධතිය ගැන විතරක් දැනගත්තම ඇති කියලා හිතන අය අත උස්සන්න බලන්න. හරි එහෙම අය ඉතින් ඊළඟ ලිපිය කියවලා වැඩක් නෑ. මොකද ඊළඟ ලිපියෙන් අපි කතාකරන්නේ පුරුෂ ප්‍රජනන පද්ධතිය නැතිනම් පිරිමියෙක්ගේ ප්‍රජනන පද්ධතිය ගැනයි. ඒකෙත් තියනවා මීටත් වඩා අරුම පුදුම ක්‍රියාවලියක්. අපි ඒ ගැන කතා කරමු ඊළඟ කොටසින්.

    උපුටා ගැනීම - www.her.lk