අතීතයේ ලංකාවේ නැව් විදෙස් රටවල් බලා යාත්‍රා කළ තොටුපළ

kpg

Well-known member
  • Jun 3, 2008
    3,468
    1,151
    113
    In My Home
    ලංකාව වටේම මූද තිබුණත් අපි මූද එක්ක තිබුණ ගනුදෙනු ගැන ඉතිහාසයේ තිබෙන්නේ අඩුවෙන්. වෙනත් රෝම, චීන යුගවල ඔවුන් අපේ රටට පැමිණ වෙළඳාම් කරන ලද විස්තර සහ ඉතිහාස සාධක තියෙනවා. ඒත් අපේ අය රටින් පිටතට ගිය බවක සඳහනක් නැහැ. දොඩන්දූව කලාපය, දකුණු වෙරළ කලාපය යටත්විජිත ඉංගිරිසි සමයේදී විශාල රුවල් යාත්‍රා හදන්නත්, ඒවා යාත්‍රා කරවන තොටක් වශයෙනුත් වැදගත් වුණා. අපි ඒ ගැන තොරතුරු ටිකක් බලමු.





    1. ජාඩි වෙළඳාම

    01-90.jpg


    ශීතකරණ ජනප්‍රිය වෙන්න කලින් කාලේ අපේ ලංකාවේ මූදට දුර පළාත්වල ජනතාව මාළු කෑවේ ජාඩි විදිහට. ජාඩි කියන්නේ මාළු කල්තබාගැනීමේ ක්‍රමවේදයක්. දැන් දැන් ජාඩි හදලා ජෑම් බෝතල් වල සහ මුට්ටි වල දාන හැටි වීඩියෝ වල තියෙනවා. මේ ජාඩි මාළු දැම්මේ පීප්ප වල. එකල අපේ උදවිය ඉන්දියාවේ දකුණු වෙරළබඩ කලාපයේ කාවේරි, නිගුර්, මදුරේ, නාගපට්ටනම්, ගෝව ආදී ප්‍රදේශ වලට යාත්‍රා කළා. එහිදී ඒ වෙරළබඩ තීරයෙන් අල්ලාගත් මසුන් හොන්ඩර් 12ක් (ආසන්නව කිලෝ 600ක්) තරම් විශාල පීප්ප වලට ජාඩි ඇසිරුවා. මේ ජාඩි අඩි පනහකටත් වඩා දිග මහා යාත්‍රා මගින් දොඩන්දූවට ගෙනත්, දොඩන්දූවෙන් රට වටේ තැන්වලට කරත්ත වලින් බෙදා හැරුණා.





    2. දොඩන්දූවේ ඔරු කර්මාන්තය

    02-88.jpg


    ඉතිහාසයේ ලියවුණු කොටස් වගේම නොලියවුණු කොටස්ද තියෙනවා. දොඩන්දූවේ මේ ඔරු හැදූ තාක්ෂණය සහ ඒවා නිර්මාණය කළ උදවිය දැන් කාලයේ වැලි තලාවට හසුව ගහගෙන ගිහින්. මේ යාත්‍රාවලට ඔරු කිව්වට මේවා සුවිශාල යාත්‍රා විදිහට තමයි පැවතුණේ. මේ යාත්‍රා වල රුවල් බලයෙන් වගේම හබල් ගාන්නත් පහසුකම් තිබී තියෙනවා. 1800-1900 මුල් කාලයේ මේ යාත්‍රා මගින් ඉන්දියාව පමණක් නොවෙයි, මියන්මාරය, තායිලන්තය, ඉන්දුනිසියාව ආදී දුර බැහැර රටවල් කරාත් යාත්‍රා කර තිබෙනවා.





    3. ශාසන දියුණුව සහ දොඩන්දූව

    03-89.jpg


    1800 ගණන් වල අගභාගයේ සියම් නිකායට අමතරව වැලිතර ඥාණවිමලතිස්ස මාහිමිපාණන් විසින් අමරපුර නිකාය ආරම්භ කරන්නට යෙදුනා. එයින් පසු පහතරට දානපතියන්ගේ ආශීර්වාද යටතේ විවිධ කණ්ඩායම් විදෙස් රටවල් කරා ගොස් ධර්මදූත කටයුතු වල නිරත වුණා. උපසම්පදා කර්මය, ධර්මවිනය කොටස් බුරුමය හෙවත් එවකට රාමඤ්ඤ දේශය සහ තායිලන්තය හෙවත් එවකට සියමට ගොස් අපේ හිමිවරුන් රැගෙන ආවා. ඒවා සුමට මුදු වර්තමාන මුහුදු ගමන් වැනි සුවපහසු ගමන් වුණේ නැහැ. ඒත් එකල ස්වාමීන් වහන්සේලා ඒ දැඩි කැපකිරීම ශාසනය වෙනුවෙන් සිදුකළා. ඒ ගමන්බිමන් වලට මේ දොඩන්දූව පැරණි වෙරළ තීරයත් ස්ථානයක් ලෙස වැදගත් වුණා.





    4. ගැඹුරු නැති ඔරු නැවතුම්පොළ

    04-88.jpg


    නූතනයේ නම් වරායන් කියද්දි කෙලින්ම ගැඹුර කියන සාධකය මුලට එනවා. ඒත් අතීතයේදී වරායන් පැවතුණේ තොටුපළ විදිහට. ලංකාවේ ඉපැරණි වරායන් විදිහට සැළකෙන ගොඩවාය, මහාතිත්ථ. ගෝකණ්ණ ආදී වරායනුත් එකල වැඩි ගැඹුරක් තිබුණේ නැහැ. මහා යාත්‍රා පැමිණ ගොඩබිමට එන්නට බැරි තැන මේ මහා ඔරු මුහුදේම තියනවා. ඉන් පසු කුඩා ඔරුවක් මගින් වෙරළ කරා භාණ්ඩ සහ මිනිසුන් රැගෙන එනවා. මෙය ලංකාවේ පමණක් නොව ඉපැරණි චීනය සහ ලන්ඩන් වැනි නගර වලත් අතීතයේ තිබුණ තත්ත්වයක්. ඉතින් දොඩන්දූවේ පැවති ඔරු සහ නැව් ආදියත් එහෙම නොගැඹුරු වෙරළට වෙනමම ඔරු වලින් සේන්දු වුණ බවක් තමයි සඳහන් වෙන්නේ.





    5. රට තුළ ගමනාගමනයට දිරි දුන් දොඩන්දූව

    05-87.jpg


    එකල දකුණු පළාතේ ගාල්ලට ආසන්න දොඩන්දූව තොටුපළ මගින් නැගෙනහිර පළාතේ සේරුවාවිල වැනි සිද්ධස්ථාන සොයා ගියා. නැගෙනහිර පළාතට පිවිසෙන්නට තිබුණ මාර්ග තිබුණත් ගාල්ලේ සිට ඒ තැන්වලට රිය ගමනාගමන පහසුව නොතිබුණ 1800 ගණන්වල අග භාගයේ ඔරුවෙන් වන්දනාවේ යාම ජනප්‍රිය වුණා. ඒ ගමනේදී හම්බන්තොට එක් නැවතුම්පොළක් බවට පත් වුණා. දැනටත් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයේ ඇතැම් සිද්ධස්ථානවල හිමිකාරීත්වය දකුණේ සංඝ පරම්පරාවලට හිමිවෙන්නට එක් හේතුවක් ලෙස මේ දකුණෙන් ගිය බොදු කොටස් සිද්ධස්ථාන සොයා ගැනීම දැක්වෙනවා. හම්බන්තොටින් ලුණු ගෙන ඒම, කොළඹින් බඩු බාහිරාදිය ගෙන ඒම වගේම නැගෙනහිර පළාතේ ප්‍රවාහන අවශ්‍යතාවලටත් මේ දේශීය යාත්‍රා උපකාරී වුණා.





    6. යාත්‍රා නඩත්තුව

    06-85.jpg


    මේ යාත්‍රා හැදුණේ ලී වලින්. ලී වලින් හැදුන මේ යාත්‍රා වල ලණු බැමිත් තිබුණා. කොල්ලෑවක් සවිකර රුවල් මතින් යාත්‍රා වුණ මේ නැව් යාත්‍රා කරන්න වෙනමම දක්ෂයින් පිරිසක් හිටියා. ඇතැම් විට යාත්‍රා අනතුරට පත් වුණත් මෙය එකල හොඳ ප්‍රවාහන මාධ්‍යයක් වුණා. මේ දොඩන්දූවෙන් හැදුන යාත්‍රා වසරකට වරක් ගොඩට ගන්නවා. අරගෙන මාසයක් දෙකක් විතර යාත්‍රා අනෙක් පස හරවාගෙන නඩත්තු කටයුතු කරනවා. ඉන් පස්සේ තමයි යාත්‍රාව නැවත ධාවනයට යොදවන්නේ.





    7. අවසාන නැව

    07-85.jpg


    වරායන් ජනප්‍රිය වීම, ලෝක යුද්ධ ආදී හේතු නිසා මේ දොඩන්දූවේ අඩි සිය ගණන් දිග යාත්‍රා තුනක් පමණයි 1930 වනවිට ඉතිරි වුණේ. එම නැව් තුනෙන් දෙකක් කඩා බිඳ දමා ඒවායේ දැව ගෘහ භාණ්ඩ හදන්න යොදාගෙන තිබුණා. ඉතිරි එක් නැවක් හම්බන්තොට සිට දොඩන්දූවට ලුණු රැගෙන යනවිට අනතුරට පත් වුණා. නැව අනතුරට පත් වී මාස තුනක් පමණ ගිය පසු එහි ගමන් ගත් සමහරුන්ගේ නිවෙස්වල උදවිය පාංශකූල පවා මේ අයට පිළිගන්වා තිබුණා. ඒත් නැව කැඩුණු පසු මාලදිවයිනට සේන්දු වී සිටි ඔවුන් පසුව කොළඹට පැමිණ, දොඩන්දූවට පැමිණියා.



    දැනට මේ මහා යාත්‍රා වැනි යාත්‍රා වැලිගම ප්‍රදේශයේදී දැකගන්න පුළුවන්. ඒවායේ දැන්නම් රුවල් දකින්නට ලැබෙන්නේ අඩුවෙන්. මේ පැරණි මහා යාත්‍රා වල අනුරූ ගාල්ල සමුද්‍ර කෞතුකාගාරයේ වගේම කොළඹ කෞතුකාගාරයෙත් තියෙනවා. දේශ දේශාන්තර තරණය කර, ලංකාව වටේ යාත්‍රා කළ අපේ එදා යාත්‍රිකයින්ගේ ඉතිහාසය සැබැවින්ම කතාන්දර මත පදනම් වූ ඉතිහාසයක් නෙමෙයි. දොඩන්දූවේ ශෛලබිම්බාරාමයේ අදටත් දකුණු ඉන්දීය කාවේරි පටුනෙන් බලෙන්ම වගේ වැඩමවා වදාළ පිළිම වහන්සේ නමක් වැඩ සිටිනවා. ඒ හරහා එකල ලාංකික ඔරුකරුවන්ට, වෙළෙන්දන්ට තිබූ බලය යම් තරමකින් හෝ අපිට අවබෝධ කරගන්නට පුළුවන්.