කුසගිනි නොසිඳෙන, කෑදර දළඹු සේනාවක අනතුරක් අතළඟ! ශාක වර්ග 100කට වඩා කනවා!!
![]()
* ලොව හතර වටෙන්ම අනතුරු හැඟවීම්
* සලබයා දිනකට කි.මී. 100ක් පියඹනවා
* ශාක වර්ග 100 කට වඩා කනවා. කැමතිම කෑම බඩඉරිඟු
* Fall Armyworm -ෆෝල් ආමිවර්ම්- ඉන්දියාවටත් ඇවිත්!
* කෘමිනාශකවලිනුත් පාලනය අමාරුයි
හින්දුස්තාන් ටයිම්ස්, ඉන්ඩියන් එක්ස්ප‍්‍රස් හා ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වැනි ඉන්දියාවේ පළකෙරෙන ජාතික පුවත්පත් පමණක් නොව තෙලංගානා ප‍්‍රාන්තයේ අච්චු ගසන තෙලංගානා එක්ස්ප‍්‍රස් වැනි ප‍්‍රාදේශීය පුවත්පත් පවා පසුගිය දිනෙක පරසතුරු ආක‍්‍රමණයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් තම රටවැසියන්ට නිකුත් කිරීමට කටයුතු කළහ. එකම භූමියේ පිහිටා ඇති පකිස්තානය, නේපාලය, බංග්ලාදේශය වැනි රටවලටද පරිස්සම් වෙන ලෙස එම නිවේදනයන්හි දක්වා තිබුණත් මුහුදෙන් එතෙර සිටිනා නිසා අපට කිවයුතු නැතැයි ඔවුන් සිතුවා විය හැකිය. එහෙත් තොරතුර දැන දැනත් ‘ආවොත් බලාගනිමු’ කියා කල්මැරිය නොහැක්කේ මොහු පැමිණියහොත් නම් පෘතුගීසි, ලන්දේසි හා ඉංග‍්‍රීසි ආක‍්‍රමණිකයින් ආවා මෙන් නොව ඊටත් එහා හානියක් අපට සිදුවිය හැකි බැවිනි. එසේම ඔවුන් සමූලඝාතනයකින් පසු ගොඩ ගියහොත් මිස ඔවුන්ගේ ආපසු යාමක්ද නැති නිසා තත්වය තවත් දරුණුය. ඔවුන්ගේ ආක‍්‍රමණයට හසුවූ රටවල්වලට දැන් කරන්නට ඉතිරිව ඇත්තේ යටත් වී ජීවත්වෙනවා වැනි දෙයක් නිසා අප කලින්ම මේ ගැන සිතිය යුතුවේ.
පෙර සූදානම ගැන අපට ඇත්තේ හොඳටම ඇල්මැරුණු ගති සිරිත්ය. කාවන්තිස්ස රජ දවස මුහුද ගොඩගැලීමක් ගැන බාලාංශ පන්තියේ සිටම කියවා තිබුණත්, එය එතුමාණන් කළ පාප කර්මයක් පලදීමක් සේ හුවා දක්වමින් කතාව තලූමැරුවා මිස, සුනාමියක් ඇවිත් විහාරමහාදේවිලා දහස් ගණනක් රගෙන යනතුරුත් මෙය සිදුවිය හැක්කක් බව කිසිවෙක් කියා තිබුණේ නැත. අද අප ජීවත්වන්නේ මුහුද හත් ගව්වක් නොව ඊටත් එහාදී සිටම අමුඩ ගසාගත යුතු සමාජයකය. පෙර සූදානම ඒ තරමටම වැදගත් වී ඇත්තේ පරිසරයට එරෙහි වූ මිනිසා, ඉතා අවදානම් කලාපයකට පිවිස ඇති බැවිනි. ඉදිරි ව්‍යසනයන් පිළිබඳව පූර්ව අවධානයකින් සිට කල්තියා අනතුරු හැඟවීම පෙරට වඩා අද ලෝකයේ අවශ්‍යතාවයක් වී ඇත්තේ මේ නිසාය. ඒ අනුව ඉන්දීය පුවත්පත් විසින් කළ මෙහෙවර නිවැරදිය. වගකිවයුතු බලධාරීන් අවදිවන්නටත් පෙර අප මේ ඉටුකරන්නේද ඒ සමාජ වගකීමයි. මෙම පරසතුරු ආක‍්‍රමණය ගැන කිසිවෙකු මෙතෙක් නොකළ අනාවරණයක් අප මෙසේ ඔබ හමුවේ තබන්නෙමු.
![]()
මේ ආක‍්‍රමණිකයා සලබයෙකි. ගස් වල යුෂ උරාබොන අහිංසකයෙකි. ස්පොඩොප්ටෙරා ෆ්රුගිපර්ඩා (Spodoptera frugiperda) යනු ඌට ලැබී ඇති විද්‍යාත්මක නමයි. ලොවම අද කැළඹී ඇත්තේ අහිංසකයාගේ ආත්මය තුල සැඟව ඇති යක්ෂයා සතු ගති ලක්ෂණ කීපයක් නිසාය. සලබයා වේගවත් පියාසර හැකියාවක් දරන අතර එය දිනකට කිලෝමීටර 100 කටත් වැඩිවිය හැකිවේ. සුළඟ හොඳට හමන්නේ නම් දුර ප‍්‍රමාණය මෙතැනින්ද නොනවතී. ඒ අනුව තමිල්නාඩුවේ සිටී නම් තම්බපන්නිය දක්වා ඌට ගමනක් නැති තරම්ය. තද සුළං පහරක් ආවත් සතුරා මෙරටට වීසි වේ. ප‍්‍රජනන වේගයද අතිශයින් ඉහළ අගයක් ගනී. ගැහැණු සතා තම ජීවිතය පුරා බිත්තර 1000 කට වඩා දමන බව වාර්තා වී තිබේ. මිනිසා විසින් තමා වෙත දමාගසන කෘමිනාශකවලට එරෙහිව ඉතා පහසුවෙන් ප‍්‍රතිරෝධීතාවය ගොඩනගා ගැනීමටද ඌ දරන්නේ අසමසම හැකියාවකි. සියල්ලටම වඩා අපට වැදගත් වන්නේ බිත්තර පුපුරා බිහිවන කීටයින් නොහොත් දළඹුවන්ට ඇති අසාමාන්‍ය කුසගින්නයි. අප සතු සියලූ වගාබිම් කා දමා අවසන් කළත් ඒ කෑදරකම නම් අවසන් නොවේ. ඉංග‍්‍රීසියෙන් මේ සතා නම් කර ඇත්තේ Fall Armyworm (ෆෝල් ආමිවර්ම්) වශයෙන්ය. සේනාවක් සේ එකවර කඩාපැන හානිය සිදුකරන නිසාම පටබැඳී ඇති ඒ නම නම් හොඳටම සුදුසු වුවත් මොහු පනුවෙකු නොව කලින් කී සලබයාගේ කීටයා වන දළඹුවෙකි. මෙරටට ගොඩබැස නැති යයි අප තවමත් සිතා සිටින නිසා ‘සේනා දළඹුවා’ යයි කලින්ම හැඳුනුම්පත සකස්කර තැබීම වරදක් නැත. දකුණු ඉන්දියාවේ කර්නටකා ප‍්‍රාන්තයේ කෘෂිකර්ම විශ්වවිද්‍යාල භුමියේ වගාවකින් මුල්වරට අපගේ අසල්වාසීන් විසින් සේනා දළඹුවා සොයාගත්තේ මීට මාස කීපයකට කලින් එනම් 2018 මැයි 18 වෙනිදාය. ජූලි 30 වෙනිදා වනවිට ඔවුහු පලිබෝධ අනතුරු හැඟවීම් නිකුත් කරන්නට කටයුතු යොදන ලදී. ඉන්දීය කෘෂිකර්ම පර්යේෂණ සභාව යටතේ පවතින, කෘෂිකාර්මික කෘමි සම්පත් පිළිබඳ ජාතික කාර්යාංශය පවසන නිල නොවන වාර්තාවලට අනුව ආන්ද්‍රා ප‍්‍රදේශ්, මහාරාෂ්ඨ වැනි යාබද ප‍්‍රාන්ත හරහා ද උවදුර දැනටමත් වේගයෙන් පැතිර යයි. විද්වත් වාර්තාවලට අනුව අප‍්‍රිකාවේ සිට මෙම සලබ ආගමනය ටික කලකට ඉහතදී සිදුවන්නට ඇති බවත්, ගොවීන් දැනුවත්ව නොසිටි නිසා තත්වය නරක අතට හැරෙද්දී පමණක් මෙය හඳුනා ගන්නට හැකිවී ඇති බවත් කියවේ.
යක්ෂයාගේ නිර්මාණයක් සේ සැලකිය හැකි මේ සලබයා දකුණු ඇමරිකාවේ බිහිවූවා සේ සැලකුණත් නයිජීරියාවේදී පළමු වරට හඳුනාගෙන ඇත්තේ 2016 වසරේ ජනවාරියේදීය. එනම් තවමත් යන්තම් ගෙවුණේ වසර දෙක හමාරකි. මේ වනවිට අප‍්‍රිකාව කේන්ද්‍ර කරගත් රටවල් 44 ක් තුළ මොහු පැතිර ගොස් තිබේ. සලබ ළපැටියා නොහොත් සේනා දළඹුවා ශාක වර්ග 100 කට වැඩි ගණනක් කා දැමීමේ හැකියාව දරන අතර ප‍්‍රියතම ආහාරය බඩඉරිඟුය. සෝගම්, කුරක්කන් ආදියටද ඌ හොඳටම කැමතිය. මීට අමතරව ආර්ථික බෝග සේ සැලකෙන ගොයම්, එළවළු, රටකජු, උක්, කපු ආදී මෙකී නොකී හැමදෙයක්ම පාහේ මෙම යෝධ කුසගින්න හමුවේ ඌ විසින් ගිලදමනු ලබයි. හානියේ තිගැස්මෙන් ලෝකය කෙතරම් කැළඹුනාදැයි කියනවානම්, 2017 අපේ‍්‍රල් මසදී රටවල් 29 කට අයත් විද්‍යාඥයින් 160 කට වැඩි සංඛ්‍යාවක් කෙන්යාවේ නයිරෝබි නුවරට රස්වී දැන් කුමක් කරම්දැයි විමසමින් සේනා දළඹුවාට එරෙහිවීම උදෙසා ක‍්‍රියාකාරී සැලැස්මක් පවා සාදා තිබේ. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයද අනතුරු හැඟවීම් නිකුත්කර තිබේ.
දකුණු අප‍්‍රිකාවට සේනා දළඹුවා පහර දුන්නේ අනුකම්පා විරහිතවය. ඒ වනවිට දකුණු අප‍්‍රිකානුවන් දරුණු නියඟයක් පසුකරවිත් යන්තම් හිස එසවූවා පමණි. ආහාර සුරක්ෂිතතාවය උදෙසා මිලියන 208 ක ජනතාවක් බඩඉරිඟු මත යැපෙන අප‍්‍රිකාවට මේ නිසා වැදුනේ මරු පහරකි. අප‍්‍රිකානු රටවල් 12 ක 21% - 53% අතර ප‍්‍රතිශතයකින් අස්වැන්න හානිවිය. යක්ෂයාට බිලිවූ බඩඉරිඟු අස්වැන්න ප‍්‍රමාණය ටොන් මිලියන 8-20 කි. වාර්ෂිකව හානිය ගණනය කළ විට ලැබුනේද අහස පොළොව උහුලන්නේ නැති තරමේ උත්තරයක්ය. එනම් ඇමරිකානු ඩොලර් බිලියන 2.5 - 6.2 ක වාර්ෂික අස්වැනු හානියක්ය. ඊට අමතරව ඇමරිකන් ඩොලර් බිලියන 13 ක් වටිනා බෝගයක් අවදානම් කලාපයේ ස්ථානගතව තිබුණි. සැම්බියාව හැකි පමණට අවදානම අඩුකර ගනු වස් ගුවන් හමුදාවේද සහයෙන් ආසාදිත වගාබිම්වලට ගුවන් මගින් කෘමිනාශක ඉසීමට පවා කටයුතු කර තිබුණි.
පසුගිය සතියේ රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ බි‍්‍රතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් කෑදර සේනා දළඹුවාගේ ආක‍්‍රමණය කෘමිනාශකවලින් තොරව නවතාලීමට උත්සාහ දරමින් සිටිනා බවයි. කීල් විශ්වවිද්‍යාලයේ කෘමි රසායන පරිසර විද්‍යා මහාචාර්ය ටොබී බ්රූස් පවසා සිටින්නේ මේ සඳහා නවතම පලිබෝධ කළමනාකරණ ක‍්‍රමවේදයක් කෙරෙහි යොමුවීමේ හදිසි අවශ්‍යතාවයක් ගැනය. කැලේ නසන්නට කැලේ ගසක්ම ඕනෑයයි කියවෙන සිංහලයේ පැරණි ප‍්‍රස්තා පිරුල අපගේ මතකයට නැගෙන්නේ ඔහු පියවර තබමින් යන ‘සොබාදහමට එරෙහිව සොබාදහම’ යන මාවත දකිනා විටය. ප‍්‍රතිරෝධී මාදිලි වේගයෙන් බිහිකරමින් පැතිරෙන මේ සලබයා හා උගේ දළඹුවා නසන්නට කෘමිනාශක යොදාගැනීම වනාහී, පරිසරය කෘමිනාශකවලින් නහවන තවත් අසාර්ථක උත්සාහයක් පමණක් වනු ඇතැයි ඔහු පෙන්වා දෙයි. ඔහුගේ ඔවදන් පිළිගන්නා ආහාර සහ කෘෂිකර්ම සංවිධානය දහස් ගණන් අප‍්‍රිකානු වැසියන් දැනුවත් කිරීම සඳහා ඉදිරියට පැමිණ සිටී. දළඹුවන් පොඩිකර විනාශ කිරීමටත්, කොහොඹ, දුම්කොළ වැනි ස්වභාවික සාරයන් ඉසීමටත්, අළු, වැලි වැනි දෑ ඉසීමේ යාන්ත‍්‍රික ක‍්‍රමවලටත් ඔවුහු ගොවීන් පුරුදු කරති.
සොබාදහමට පරිසරයට හිතැති මේ විද්වත් පිරිස දළඹුවා කා දමන ස්වභාවික සතුරන් ආකර්ෂණය කරගැන්මට අපූරු මූලධර්මයක්ද පෙන්වාදෙයි. දළඹුවන් ඉරිඟු ගසක් කා දමන විට එම ශාකය මගින් වෙනස් ආකාරයේ ගන්ධයක් පරිසරයට මුදා හරින බවත්, එයට සංවේදීවෙන දළඹුවාගේ සතුරු කෘමීන් එතනට ඇදී එන බවත්, ඒ හරහා දළඹුවාගේ අවසානය සනිටුහන්ව, ශාකයේ විනාශය යම් තරමකට හෝ අවහිර වන බවත් ඔවුන් ඉදිරිපත් කරන තර්කයයි. කෘෂි විද්‍යාඥයින් උනන්දු වන්නේ නම් එම සුවඳට අදාළ සංයෝග හඳුනාගෙන, ස්වභාවිකව ඒවා සාමාන්‍ය මට්ටමට වඩා වැඩියෙන් අන්තර්ගත බෝග මාදිලි බිහිකළ හැකි බවත්, ඒ තුළින් බෝගයත් සමග මෙම ස්වභාවික සතුරන් නිතර ගැවසෙන ගොවිබිමක් නිර්මාණය වන බවත් ඔවුහු සඳහන් කරති. කෘමිනාශක හැදූ බලවතුන් ඒවායින් පරිසරය තෙතබරිත කර හති වැටී, දැන් මේ ආපසු හැරීවිත් නැංගුරම් දමන්නේ අප අනාදිමත් කාලයක සිට ගැවසුණු පරිසර හිතකාමී ගොවිගෙදර අබියස බව බුද්ධිමත් ලාංකිකයින් දැන්වත් තේරුම් ගන්නේ නම් තවමත් අපට එල්ලෙන්නට පිදුරු ගසකට වඩා වැඩි යමක් ඉතිරිව තිබේ.
අප මෙතරම් සංඛ්‍යාලේඛන හා දත්ත ඉදිරිපත් කරන්නේ අතේ දුරින් ඇති ගොඩබිම වන තමිල්නාඩු ප‍්‍රාන්තය ද සේනා දළඹු උවදුරින් හොඳටම තැතිගෙන ඇති නිසාය. යාබද කර්නටකා ප‍්‍රාන්තයෙහි උවදුර තදින් පැතිරෙන පසුබිමක, ඉන්දීය හයිබි‍්‍රඞ් බඩඉරිඟු නිෂ්පාදනයේ හදවත බඳුවූ තමිල්නාඩු ප‍්‍රාන්තය දෙස දළඹුවා නොබලා සිටී යයි සිතිය නොහැකිය. එසේනම් වත්මන් බලධාරීන්ගේ යුතුකම වන්නේ විශේෂයෙන් තම බඩඉරිඟු වගාවන්හි සිටිනා ආගන්තුක පලිබෝධකයින් පිළිබඳව හොඳ අවධානයකින් සිටින ලෙස ගොවි ප‍්‍රජාව දැනුවත් කිරීමයි.
ඒ. එස්. වස්ට‍්‍රාඞ් සහ පී. එස්. හියුගර් යන ඉන්දීය කීට විද්‍යාඥයින් පවසන පරිදි දළඹු සේනාවක් ඉරිඟු පත‍්‍රයක් මත බිහිවූ පසු මුලින්ම සිදුරක ආකාරයට පත‍්‍රය කා දමන අතර එතනින් ඇරඹී අතු බෙදුණු සිදුරක් සාදමින් මුළු පත‍්‍රයම සුළු කාලයක් තුළ අනුභව කරයි. ඊට පසු පත‍්‍ර කොපුව අතරින් ලපටි කරල වෙතට පිවිසී එයද කා දමනු ලැබේ. පුරුක් පනුවා නම් කරලට ඇතුල් වන්නේ පාදීය හෝ අග‍්‍රස්ථ පෙදෙසින්ය. නමුත් සේනා දළඹුවාට එවන් සංවරයක් නැත. ඒ නිසා ලපටි කරලට මැදින් හෝ ඇතුල් වෙමින් මුලින්ම මැද ප‍්‍රදේශය වුවත් කා දැමීමට ඌ සමත්ය. අඟල් එක හමාරක සිට දෙකක් දක්වා දිග විය හැකි සේනා දළඹුවා හඳුනාගත හැකි පහසුම ලක්ෂණ වන්නේ හිසේ නළල් ප‍්‍රදේශය මත යටිකුරු වූ ඉංග‍්‍රීසි වයි අකුරක සටහනක් දක්නට තිබීමයි. මීට අමතරව දළඹු දේහය පුරා ඉදිමුණු බිබිලි වැනි කොටස් ගණනාවක් පිහිටන්නේ එක්තරා රටාවකටය. හැම දේහ ඛණ්ඩයේම මෙවැනි ඉදිමුම් හතර බැගින් පිහිටන බව ඉහළින් බැලූවිට පෙනේ. අවසන් ඛණ්ඩයට පෙර ඛණ්ඩයේදී මෙම ඉදිමුම් හතර කොටුවක මුළු හතර සලකුණු කරමින් සමචතුරශ‍්‍රයක මායිම සාදා ඇත. මීට අමතරව දළඹු දේහය ස්පර්ශයට සිනිඳුය. දින 14 - 30 දක්වා ජීවිත කාලයක් ගතකිරීමේ හැකියාව දැරීම මගින්ම දළඹුවා මගින් වන හානියේ තරම මැනගත හැකිවේ. කුරුමිණියන්, පක්ෂීන් ඇතුළු ස්වභාවික සතුරන් බහුලව පරිසරයේ සිටියත්, තම සීග‍්‍ර ප‍්‍රජනන වේගය තුළින්, සතුරන් වෙතින් තම පරපුරට සිදුවෙන විනාශය අවම කර ගැනීමට සේනා දළඹුවා සමත්ව තිබීම විශ්මය දනවන කාරණයකි.
රවුල ගිනි ගනිද්දී සුරුට්ටුව පත්තු කරන්නට සැරසෙන පිරිසක් ද අප සමග සිටිනා බව වගකිවයුත්තන් අමතක නොකළ යුතුය. කෘත‍්‍රිම පලිබෝධනාශක නිෂ්පාදකයින් හා අලෙවිකරුවන්ට සේනා දළඹුවාගේ ලංකාගමනයක් වේ නම් එය ආශීර්වාදයකි. ඔවුන් ඇතැමුන් මේ වනවිටත් තමිල්නාඩුවේ කඳවුරු බැඳ ලංකාවට යන පාර කියන්නට සලබයා සොයමින් සිටිනවා විය හැකිය. විද්වතුන්ගේ නිහඬභාවයද ප‍්‍රශ්නයකි. පෙරකී ඒජන්තයින්ගෙන් නිදිපෙති සාත්තුවක්වත් ලැබුණාදැයි ජනතාවගෙන් කයි කතන්දර ඇසීමට පෙර විද්වත් ප‍්‍රජාව අවදිවිය යුතුය. ජනමාධ්‍ය හරහා ගොවි ජනතාව මෙහෙයවමින් සතුරා පැමිණ ඇතිදැයි සෙවිය යුතුය. රසායනික පොහොර, ග්ලයිෆොසෙට් වැනි මාතෘකා හමුවේ විද්වත් චර්යා ධර්මයන් කිසිදු සාක්ෂියක් පවා නොමැතිව සමාජයේ හෑල්ලූවට ලක්වූයේ නිසි කලට, රටට තේරෙන භාෂාවෙන් කතා නොකිරීමේ සිරිතට පෙම්බැඳි ඇතැම් විද්වතුන්ගේ කුසීතකම නිසාවෙනි. වරදක් සිදු නොකරන්නන් කිසිදු සමාජ තලයක නැත. එහෙත් එවන් එක වරදක් හමුවේ සමස්ත විද්වත් ප‍්‍රජාවම බැනුම් ඇසිය යුත්තේද නැත. සත්‍ය දකිමින් සද්දෙට කතාකරන්නටත්, උගත්කමේ තරමටම ඇඟපත හුරු කරගන්නවානම් විද්වතුන් හට මීට වඩා කාර්ය භාරයක් කළහැකි යයි අප විශ්වාස කරමු. ඉන්දියාවද සැක කරන්නේ සලබයා ජනතා අවධානයට හසු නොවී ටික කලක් එහි ජීවත්ව සිට ඇති බව නිසා, ඔබ ලිපිය කියවන මේ මොහොතේ වුවද, ආගමනය සිදුවී තිබීමට හොඳටම ඉඩ ඇත. අභිමානවත් ගොවි පරපුරකින් පැවත එන බවට පුරසාරම් දොඩනා අප, දළඹුවෙකුට පැරදුනු ගොවිතැනක හිමිකරුවන් යයි අනාගතයේදී යම් තැනක ලියවේනම්, සමස්ත ගොවි ප‍්‍රජාවත්, ගොවිතැන හා ගෑවී ඇති වත්මන් විද්වත් ජාලයත්, එහි විත්තිකරුවන් බවට පත්වීම නොවැළැක්විය හැකි කරුණකි. දන්නා නොදන්නා සැවොම එක්වී අමුත්තා ඇවිත් ඇතිදැයි විමසිලිමත් විය යුත්තේ එබැවින්ය.
(තොරතුරු සොයායාමේදී සහයදුන් රුහුණු සරසවියේ හිටපු මහාචාර්ය, කීට විද්‍යාඥ ලයනල් නුගලියද්ද මහතාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙමි.)
සනත් එම්. බණ්ඩාර
[email protected]
උඹ ගොන් කතා කියල වැරදුනාම ඒක වහගන්න තව ගොන් කතාවක් කියන්න එපා. ලියපු එකා ඒ ආටිකල් එක හොඳටම ලියල තියෙනවා. ඒකෙ කොහෙවත් ඔය උඹ කියල තියෙන "ඔන්න දලඹුව එනව.. අපි ඉවරයි.. ලෝකෙ විනාසයි" වගේ ගොන් කතා නැහැ. ඒ වගේම ඒ ආටිකල් එකේ ප්‍රෙඩ්ක්ට් කරපු එක ඒ විදියටම වෙලා තියෙනවා ලංකාවට.
උඹල වගේ උන් තමයි "ලංකාවට බලපෑම් කරන්න බටහිර ජාතීන්ට පිස්සුයැ" වගේ ගොන් කතා කියන්නෙත්.
