උපුටාගැනීම kinihiraya.com
අනුක් අරුද්ප්‍රගාසම් ගේ A Passage North : ආකෘතිමය හා දෘෂ්ටිමය සීමාවන් තුළ හිරවෙමින් උතුරට ගිය ගමනක්!
අනුක් අරුද්ප්‍රගාසම් මේ වසරේ ලියූ A Passage North (උතුරට ගමනක්) නම් නවකතාව මෙවර බුකර් ත්‍යාගය සඳහා නිර්දේශිත නවකතා කීපය අතරට තේරී පත් ව ඇත. ඇමරිකාවේ කොළොම්බියා විශ්වවිද්‍යාලයෙන් දර්ශනවාදය පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබ ගත් මෙහි කතුවරයා කොළඹ නගරයේ උපත ලැබූවකු වන අතර දැනට වරින් වර ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජීවත් වෙයි. අනුක් ගේ පළමු නවකතාව වූයේ The Story of a Brief Marriage ය. එය දැනට භාෂා හයකට පරිවර්තනය වී ඇති අතර එයට දකුණු ආසියාතික සාහිත්‍යය උදෙසා වූ DSC ත්‍යාගය හිමි ව ඇත.
A Passage North නවකතාව උතුරු නැගෙනහිර තිස් අවුරුදු යුද්ධයෙන් කායික ව ද ආත්මීය ව ද පිටස්තර ව සිටි ක්‍රිශාන් නම් කොළඹවාසී මධ්‍යම පාන්තික දමිළ තරුණයකුගේ සාංකාබර හැඟීම් හා සිතිවිලිවල ප්‍රකාශනයක් අප වෙත ගෙන එයි. නවකතාවේ දිගට ම අපට දැක ගන්නට ලැබෙන්නේ වර්තමාන සිද්ධීන් හරහා ඔහු අතීත සැමරුම්වල ගිලෙන අයුරු ය. ඒ සිතිවිලි මාලාව දිව යන්නේ උතුරු නැගෙනහිර පැවති යුද්ධයත් එම යුද්ධයෙන් දෙමළ ජනතාව මුහුණ දුන් අනේකවිධ ව්‍යසනයනුත් අළලා ගනිමිනි. ඒ අතරේ ම සිය පිටස්තර පැවැත්ම දෙස කථකයා යම් වරදකාරී හැඟුමකින් ද ස්වයං-ලජ්ජාවකින් ද යුතු ව සිහිපත් කරන සැටි ද අපට පෙනේ. ඒ සියල්ලෙහි කුළු ගැන්වීමක් හැටියට ලෝකයත් ජීවිතයත් පිළිබඳ ඇතැම් දාර්ශනික සහ ආගමික කල්පනාවන්හි ඔහු ගිලෙයි. මේ නවකතාව කතුවරයාගේ ම ආත්ම ප්‍රකාශනයක් ය යන හැඟීම පාඨකයා තුළ නිතැතින් ම ඇති වෙයි.
ක්‍රිශාන් තමා අවට ලෝකය අවලෝකනය කරනු පිණිස තමාට සමීප චරිත කීපයක් ඇසුරු කර ගනී. ඔහුගේ ආච්චි (අප්පම්මා), ඇය බලා කියා ගත් ස්ත්‍රියක වන රාණි, රාණිගේ දියණිය හා ඉන්දියාවේ ඉගෙනුම ලැබූ අවධියෙහි ඔහු සමඟ සමීප ඇසුරක් පැවැත්වූ අන්ජුම් නම් තරුණිය ඒ චරිත වේ. ඒ අතරිනුදු මූලික වන්නේ රාණි නම් චරිතය යි.
හැට වියට ආසන්න රාණි උතුරේ පැවති තිස් අවුරුදු යුද්ධයෙන් සිය පුතුන් දෙදෙනා අහිමි වූ ස්ත්‍රියකි. එම අතිශය කම්පනකාරී අත්දැකීමෙන් ඇය උතුරු නැගෙනහිර බොහෝ මිනිසුන් ගැහැනුන් මුහුණ දුන් පශ්චාත් යුධ මානසික අවපාතයකට ඇද දැමෙයි. ක්‍රිශාන්ට රාණි හඳුනා ගන්නට ලැබෙන්නේ කිළිනොච්චියේ මානසික රෝහලක දී ය. මේ අතරේ ක්‍රිශාන්ගේ අබල දුබල වූ ආච්චි (අප්පම්මා) බලාකියා ගැනීමට ස්ත්‍රියකගේ අවශ්‍යතාව මතු වෙයි. පුතුගෙන් රාණි ගැන තොරතුරු අසා දැන සිටි ක්‍රිශාන්ගේ මව ඇය ඒ සඳහා ගෙන්වා ගැනීමට යෝජනා කරයි. වෙනත් පරිසරයකට පැමිණීමෙන් රාණිගේ මානසික තත්වයට ඉන් පිළියමක් වෙතැයි යන හේතුව ද මතු කිරීම යටතේ අප්පම්මා බලාකියා ගැනීම සඳහා ක්‍රිශාන් විසින් රාණි කොළඹ නිවසට කැඳවා ගෙන එනු ලබයි. එම නිවසේ යම් අස්වැසිල්ලකින් යුතු ව වසර එක හමාරකටත් වැඩි කාලයක් ඇය ජීවත් වෙයි. සිය බාල පුතුගේ පස් වන මරණ සංවත්සර කටයුතු සඳහා රාණි කිළිනොච්චියේ වෙසෙන සිය දියණියගේ නිවස බලා යන්නේ ආපසු කොළඹ ඒමේ බලාපොරොත්තුවෙනි. එහෙත් විවිධ හේතු මත එම ගමන මාස හත අටක් කල් යයි.
A Passage North නවකතාව කොටස් තුනකින් යුතු ව ඉදිරිපත් කෙරේ. ඒ කොටස් නම් කොට ඇත්තේ පිළිවෙළින් Message (පණිවිඩය), Journey (ගමන) හා Burnning (දැවීම) ලෙස යි.
නවකතාවේ පළමු කොටස ආරම්භ වන්නේ රාණි හදිසියේ ම වත්තේ ළිඳෙහි වැටී මිය ගිය බව දන්වමින් ඇගේ දියණිය විසින් ක්‍රිශාන්ට දෙනු ලබන දූරකථන පණිවිඩයෙනි. රාණිගේ මරණය පිළිබඳ පණිවිඩය ලද තැන් සිට අවමංගල්‍යය සඳහා ක්‍රිශාන් කිළිනොච්චිය බලා පිටත් වන තෙක් වන අතීත සැමරුම් පළමු කොටසෙහි දී ද කිළිනොච්චිය බලා යන දුම්රිය ගමනේ දී දිග හැරෙන ක්‍රිශාන්ගේ මතක සටහන් දෙවන කොටසින් ද රාණිගේ අවමඟුල් උත්සවය අතරේ දී ඔහුගේ මතක සැමරුම් තෙවන කොටසින් ද ඉදිරිපත් කෙරේ.
අනුක් අරුද්ප්‍රගාසම් මහ පොළොවේ ජීවත් වන, අප සමඟ එකට හුස්ම ගන්නා මිනිසුන් කොට්ඨාසයක් ගැන කතාවක් කියයි. ඔවුන්ගේ හද සසල වන ජීවන පැවැත්ම අපට මුණ ගැස්වීමට වෙර දරයි. ඒ තරමින් එම ප්‍රයත්නය අපේ ඇගයීමට ලක් වෙයි. එබඳු විෂය ක්ෂේත්‍රයක් ගැන සිත මෙහෙයවීම පවා සමාජ විඥානය ඛාදනය වූ මේ නියං සමයෙහි වැටුණු වැස්සක් මෙන් ආහ්ලාද ජනක වන බැවිනි. ඇත්තෙන් ම මෙය ඉතා උසස් කලාත්මක නවකතාවක් වීමට විභවයක් පෙන්නුම් කරන බුද්ධිමය කලාපයක් ද හැඟීම් ක්ෂේත්‍රයක් ද සහිත කෘතියක් බව අවිවාදිත ය. එහෙත් කතුවරයා මේ ව්‍යායාමය සාර්ථක කර ගැනීමේ ලා දරන පරිශ්‍රමයේ දී බලගතු සීමාවන් දෙකකට මුහුණ දී ඇති බව අපේ අදහස යි.
දෘෂ්ටිමය සීමාව
මේ වෘත්තාන්තයේ අන්තර්ගත බුද්ධිමය කලාපය උච්චතර මට්ටමින් ස්පර්ශ කිරීමට තරම් ඔහු දෘෂ්ටිමය වශයෙන් පරිණත භාවයක් නො පෙන්ව යි. කතුවරයා ක්‍රිශාන් නම් චරිතය හරහා ලෝකය දෙස බලනුයේ තමන් ම වටා කැරකෙමිනි. මා කලින් කී ලෙස චරිත කවුළු කීපයක් විවෘත කර ගත්ත ද ඒ චරිතවල ගැඹුරට යාමට ඔහු අසමත් වෙයි. යුද්ධයේ භීෂණය අත් දකිමින් යුද්ධාවසානය වන තෙක් ම උතුරේ විසූ රාණිගේ චරිතයට පවා සිය ආත්මයේ කැකෑරෙන වේදනාව එළිමහනට දැමීමට කතුවරයා ඉඩ නො දෙයි. කථකයා ම නවකතාවේ තැනක දී නිරීක්ෂණය කරන පරිදි, ඔහු නොදැනී ම තමන්ගේ චිත්තාභ්‍යන්තරය තුළ ට ම ගුළි වෙයි. ක්‍රිශාන්ගේ මධ්‍යම පාන්තික දෘෂ්ටිකෝණය (මෙය කතුවරයාගේ දෘෂ්ටිකෝණය හා අනන්‍ය වන බව පෙනේ) උතුරු නැගෙනහිර වර්ගවාදී යුද්ධය පිළිබඳ ව හෝ එල්ටීටීඊයේ බෙදුම්වාදී අරගලය ගැන හෝ වෛෂයික ඥානයක් සම්පාදනය කිරීමට හෝ එහි ප්‍රතිඵලයක් වශයෙන් ම මනෝභාවික ව අප පොහොසත් කිරීමට හෝ අසමත් වෙයි.ආරම්භයේ සිට ම අපට දක්නට ලැබෙන්නේ ක්‍රිශාන් වුකලි සමාජීය හා දේශපාලනික වශයෙන් නොණ්ඩි ගසන චරිතයක් බව යි. ක්‍රිශාන් උතුරු නැගෙනහිර යුද්ධයට ඍජු ව මුහුණ දුන්නකු නො වේ. ඔහු ළමා වියේ දී කිළිනොච්චියට හා වව්නියාවට කෙටි ගමන් ගොස් ඇති අතර තරුණ වියේ දී වරක් යාපනයට ගොස් ඇත. පිටරට වෙසෙන ඥාතීන්ගෙන් අසා දැන ගත් උතුරේ පරිසරය ඔස්සේ අහිමි වූ අතීතකාමයක් ද ඔහුගේ සිතෙහි සැඟ ව තිබෙයි. යුද්ධය අවසාන කාලයේ ක්‍රිශාන් සිටියේ අධ්‍යාපනය සඳහා ඉන්දියාවට ගොස් ය. ඉන්දියාවේ සිටිය දී ඔහු ගෙවා දැමූ ජීවිතය උතුරේ පැවති යුද්ධයත් ඉන් ජනිත මහා ව්‍යසනයත් පිළිබඳ හැඟීමකින් තොර ජීවිතයකි. ඔහු යුද්ධය ගැන සිතන්නට මෙහෙයවෙන්නේ එල්ටීටීඊ සංවිධානය පරාජය වන බවටත් ඔවුන්ගේ වෙන ම රාජ්‍යයක් පිළිබඳ ආශාව බිඳ වැටෙන බවත් සිතට දැඩි ව දැනෙන්නට පටන් ගත් කල්හි ය. ක්‍රිශාන්ගේ පියා මිය ගියේ 1996 දී එල්ටීටීඊය විසින් මහ බැංකුවේ ඇටවූ බෝම්බයෙන් බව කලින් අපට කියා ඇති හෙයින් මෙය තරමක් අපේ විස්මයට හේතු වෙයි. තම පියා අහිමි වීමේ කම්පනය ඔහුගේ චරිත විකාශනයට බලපෑමක් නුවූ සේ ය. සෑම සුළු දෙයක් ම අනන්තය දක්වා සිතන ක්‍රිශාන්ට මේ සම්බන්ධයෙන් අල්පමාත්‍ර සිතිවිල්ලක් හෝ හැඟීමක් හෝ ඇති නො වීම පාඨකයාට ඒත්තු නො යයි. සිය පියා මහබැංකු බෝම්බයෙන් මිය ගිය ද තමාට යුද්ධය ඍජු ව නොදැනුනු බවට කෙරෙන ඔහුගේ හේතු දැක්වීම ඇඟවුම් කරන්නේ එය යුද්ධයට අසම්බන්ධිත ක්‍රියාවක් යැයි ඔහු හඟින බව නො වේ ද? මේ සිද්ධිය “සහෝදර ජන ඝාතක ත්‍රස්තවාදය” වාර්ගික පීඩනයෙන් විමුක්ත වී ගැනීමෙහි ලා විසඳුමක් නොවන්නේ ය යන යථාර්ථ ඥානනයෙහි ලා කලාත්මක ව උපයෝගී කර ගත හැකි ව තිබූ අවස්ථාවක් මඟ හැර ගැනීමකි. මෙවැනි ම තවත් අවස්ථාවක් නවකතාවේ එයි. අප්පම්මාගේ සහෝදරයෙක් කුඩා බෙදුම්වාදී සංවිධානයක ක්‍රියාකාරිකයකු ව සිටි බවත් ඔහුට 1986 දී පණ බේරා ගැනීමට රටින් රටට පලා යාමට බල කෙරුණු බව කියතත් නවකතාකරුවා එම චරිතය උපයෝගී කර ගන්නේ ද හුදෙක් අප්පම්මා යම් යම් අවස්ථාවල දී ඔහු වෙසෙන එංගලන්තයට යාමට හේතු සම්පාදනය කරනු වස් පමණි. මෙය ද කුඩා සංවිධාන මැඬලමින් එල්ටීටීඊ ව්‍යාපාරය ගොඩ නැඟුණු හැටිත් වාම ව්‍යාපාරවල පාවා දීම් යටතේ ඇති වූ දේශපාලන රික්තය පුරවනු වස් බෙදුම්වාදී සුළු ධනේශ්වර ව්‍යාපාරයන් අතර ඇති වූ මාරක තරගයත් ග්‍රහණය කර ගැනීමට පැවති අවස්ථාවක් මඟ හැර යාමකි. මෙලෙස නවකතාකරුවා මේ අත්දැකීම මඟ හැර ගැනීම නවකතාවේ වස්තු විෂය සර්වග්‍රාහීත්වයෙන් ග්‍රහණය කර ගැනීමට පැවති අවස්ථාවක් මඟ හැර ගැනීමක් බව අපට පෙනේ.
කෙසේ වෙතත්, යුද්ධය අවසන් වූ පසු ක්‍රිශාන් පුවත් පත්, අන්තර්ජාලය, යුධ වාර්තා චිත්‍රපට යන මාධ්‍යයන් හරහා යුධ තොරතුරු දැන ගැනීමට යුහුසුළු වෙයි. එහෙත්, ඝාතනයට ලක් වූ ද බිඳී ගිය අතපය සහිත වූ ද දෙමළ ජනයාගේ ද ගිනි ගත් නිවාසවල ද හඬා වැටෙන ළමයින්ගේ ද ඡායාරූප මේ මාධ්‍යයන් හරහා කෙතරම් දුටුව ද ඒවා පිළිබඳ ඒ හැටි විශ්වාසයක් ඔහු තුළ ඇති නො වේ. ඔහු ඒ තුළ දකින්නේ ඒවා තාක්ෂණයෙන් බෙහෙවින් දුප්පත් මට්ටමකින් නිර්මිත ඡායාරූප බව යි. ක්‍රිශාන් මේ සියල්ල යථාර්ථයක් බව පිළිගන්නේ බටහිර සුදු විශේෂඥයන් පිරිසක් විසින් කළ වාර්තා චිත්‍රපට නැරඹීමෙන් පසු ව ය. “තමන්ගේ ම මිනිසුන්ගේ දුක් පීඩාව සැබෑවක් බවත් යථාර්ථමය දෙයක් බවත් ඒත්තු ගන්නට හැකි වූයේ චැනල් 4 නාලිකාවේ කැමරාව ඉදිරියේ සිටි හොඳින් රැවුල බෑ ටයි පටියක් බැඳ ගත් හොඳින් හැඳ පැලඳ සිටි සුද්දකු විසින් මේ සිද්ධීන්වලට වලංගු භාවයක් දුන් පසු ව පමණක් බව ක්‍රිශාන් දැන් සිහිපත් කරන්නේ ලජ්ජාවෙන් යුතු ව සිය යටත් විජිත මානසිකත්වය ගැන ස්වයං-විවේචනයකට ද එලඹෙමිනි.