ඔක්කොම සත්වයෝ නැතුව මිනිස්සු විතරක් ගමු. එතකොට, මේ ලෝකේ මිනිස්සු බිලියන 7ක් ඉන්නවා. දෙන්න දෙන්න ගානේ ගත්තොත් බිලියන 3.5ක්. එතකොට අපි මේ හැම ජීවිතයකම ආසන්න වශයෙන් අවුරුදු 30ක් ජීවත් උනා කියල ගමු. එතකොට,
3.5 B x 30 years = අපි මේ ලෝකේ අවුරුදු බිලියන 10.5ක් තිස්සේ ඉපදෙමින් ඉඳල තියෙනවා. එතකොට මිනිස්සු මේ ලෝකේ බිලියන 10.5ක් තිස්සේ ඉඳල තියෙනවා.
අපි මේ ලෝකේ පහුගිය අවුරුදු 2000 ඇතුලත ගල් වලින් ආයුද හදාගෙන හිටපු එකේ ඉඳල, අද රොකට් යවන්න දියුණු වෙලා තියෙනවා. එතකොට ඊට කලින් ආසන්න අවුරුදු බිලියන 10.5 ම කරලා තියෙන්නේ ගල් වලින් ආයුද හදන් දියුණු උන ටික විතරද?
සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායෙහි අනමතග්ග සංයුක්තයේ “සාස්‍ය සූත්‍රයෙන්” කල්පය පිළිබඳව උපමාවක් ඇසුරෙන් බුදුරදුන් පැහැදිලි කර දී තිබෙනවා. දිනක් එක්තරා භික්ෂුවක් විසින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස කල්පය යනු සංඛ්‍යාත්මකව දැක්විය නො හැකි දෙයක් නම්, එය උපමාවක් මගින් හෝ පහදා දෙන මෙන් ඉල්ලා සිටිනු ලැබුවා. එවිට අප ගෞතම බුදුරදුන් මෙලෙස පැහැදිලි කිරීමක් කළ සේක.
“මහණෙනි, දිගින්-පළලින් හා උසින් යොදුන බැගින් වූ ප්රාකාරයකින් (තාප්පයකින්) වට වූ නගරයක (භූමියක) සම්පූර්ණයෙන් ම අබ ඇට පුරවා (අතුරා) කිසියම් කෙනෙකු අවුරුදු සියයකට වරක් එයින් එක අබ ඇටය බැගින් ඉවත් කරයි නම්, ඒ අනුව ඉතා දීර්ඝ කාලයක් ගත වීමෙන් එහි අබ ඇට සියල්ල ම ඉවත් වී, අවසන් වී යා හැකි ය. එහෙත් කල්පයක් ගෙවී අවසන් නො වේ. කල්පය යනු ඊටත් වඩා දිගු වූවක් ”. තව ද, අනමතග්ග සංයුක්තයේ “පබ්බත සූත්‍රයෙහි” එන කසීසළු හෙවත් පර්වත කල්ප උපමාවෙන් ද ගෞතම බුදුරදුන් කල්පය යනු කොතරම් දීර්ඝ කාල පරාසයක් ද, යන්න පිළිබඳව මෙබඳු පැහැදිලි කිරීමක් කර තිබෙනවා.
“මහණෙනි, යම් සේ දිගින්, පළලින් හා උසින් යොදුනක් (නූතන සැතපුම් දහසයක්) බැගින් එක සමාන වූ ඒක ඝන (මැද හිස් නැති) මහා කළුගල් පර්වතයක් වේ ද, එම කළුගල් පර්වතය (දේවතාවෙකු හෝ අසලින් යන කෙනෙකු) අවුරුදු සියයකට වතාවක් ඉතා සිනිදු කසී (සේද) සළුවකින් පිරිමැදීම (පිස දැමීම) නිසා ඉතා දීර්ඝ කාලයක් ඇවෑමෙන් මේ මහා පර්වතය සම්පූර්ණයෙන් ගෙවී අවසන් වී යා හැකියි. එය, එසේ ගෙවී අවසන් වූවත්, කල්පයකට ඇති කාලය හෝ අවුරුදු ගණන අවසන් නො වේ”.
සංයුක්ත නිකායේ, අනමතග්ග සූත්රයේම තවත් සූත්‍ර දේශනාවකින් කල්පවල කාලය ගතවීම වගේ ම අපේ භවයේ (සසර) දිගු බව ගැනත් විස්තර කර තිබේ. දවසක් එක්තරා බමුණෙකු බුදු හිමියන් සමීපයට පැමිණ “ලෝකයේ කාලය දැනට කොතෙක් ඉක්මවා ගොස් තිබේ ද? ඒ වගේ ම දැනට ඉක්ම ගොස් ඇති කල්ප ගණන කොපමණ ද?” යනුවෙන් විමසා සිටියා. එවිට බුදුරදුන් විසින් ඔහුට මෙසේ පිළිතුරු දෙනු ලැබුවා.
“බ්‍රාහ්මණය, මෙතෙක් ඉක්ම ගොස් ඇති කල්ප ඉතා බොහෝ ය. ඒවා සිය ගණනක් ය, දහස් ගණනක් ය, ලක්ෂ ගණනක්ය කියා ප්‍රමාණයෙන් දැක්විය නො හැකි තරම් ය. බ්‍රාහ්මණ ය, මේ ගංඟා නදිය පටන් ගන්නා තැන සිට මුහුදට වැටෙන තැන දක්වා වූ සියලු ම වැලිකැට ප්‍රමාණය ගැණිය (ගණන් කළ) නො හැකි සේ, අතීතයේ ගත වූ කල්ප ගණනත් ප්‍රමාණය කළ නො හැකි වේ”.
“පුතේ… මේ…. ඔයාල දන්නවැයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වූ මේ කල්පයට කියන නම?” කියලා එදා ආච්චි අපෙන් ප්‍රශ්නයක් ඇහුවා.
එතකොට ම නංගියා අත උඩට උස්සා මෙහෙම උත්තර දුන්නා. “ඔව්… ඔව්… ආච්චි… මං දන්නවා. මහාභද්‍ර කල්පය කියලා නේ මේ කල්පයට කියන්නේ.” ආන්න එතකොට යි මටත් ආච්චිගෙන් කල්ප ගැන විස්තරේ අහන්ට සිතුනේ.
“අනේ ආච්චි, ඔය අද අහපු ප්රශ්නය නම් අපට හරී වැදගත්. මං ඔයාගෙන් ඔය ගැන අහන්ට ම යි උන්නේ. හැබෑටම ආච්චියේ මොකක්ද මේ කල්පය කියන්නේ?”
“පුතේ… ඔයාලා ධර්මය ඉගෙන ගනිද්දී මේ කල්ප ගැනත් දැනගෙන තියෙන්ට ම ඕනෑ. එතකොටයි අපට මේ බුද්ධ රත්නයේ පහළ වීමේ ඇති මහා දුර්ලභකොම යාන්තමින් හරි තේරුම් ගන්ට ඇහැක් වෙන්නේ… ඕං… එහෙනම් මං කියා දෙන්නං… හොඳට අහගෙන ඉන්ට හොඳේ.”
ඒ මෙහෙමයි පුතේ… මහා කල්පය, අසංඛෙය්‍ය කල්පය, අන්තඃ කල්පය කියාලා කල්ප වර්ග තුනක් තියෙනවා.
මහා කල්පයකට පුතේ අසංඛෙය්‍ය කල්ප හතරක් තියෙනවා. ඒ හතරට කියනවා සංවට්ට කල්පය, සංවට්ටට්ඨායි කල්පය, විවට්ට කල්පය, විවට්ටට්ඨායි කල්පය කියලා. මෙයින් එක් අසංඛෙය්‍ය කල්පයක අන්තඃ කල්ප හැට හතරක් තියෙනවා.
ඉතින් පුතේ සංවට්ට කල්පය කියලා කියන්නේ ලෝකය ක්‍රමයෙන් විනාශ වේගෙන ගොහින් නැතිවී යන කල්පයට යි. සංවට්ටට්ඨායි කල්පය කියන්නේ එහෙම නැතිවෙච්චි කල්පය ඒ නැති වී විනාශ වූ විදිහට ම කාලාන්තරයක් දිගටම එහෝම තියෙන කල්පයටයි.
ඊළඟට පුතේ විවට්ට කල්පය කියන්නේ ආභස්සර බඹතලේ පටන් පහළ ඇති සියලුම ලෝක ආයෙමත් හැදෙන්ට ගන්නා කල්පයට යි. විවට්ටට්ඨායි කල්පය කියන්නේ එහෙම හැදිලා ගිය ලෝක කාලාන්තරයක් ම එහෝම පවතින කල්පයට යි.
ඒ වගේම පුතේ ලෝකය කිව්වාම ඉන් අදහස් කරන්නේ මේ පෘථුවිය විතරක් නෙමේ. පහළ අපාගත ලෝකත් ආභස්සර බඹතලේ දක්වා ඇති සියලු ලෝක හොඳේ…. ඉතින් ලෝක විනාශයේදී ඒ විනාශය තුන් අයුරකින් වෙනවා. ගින්නෙන් විනාශ වෙනවා. ජලයෙන් විනාශ වෙනවා. සුළඟින් විනාශ වෙනවා. ලෝකය හැදිලා හිටං පවතින කල්පයේදී, ඒ කියන්නේ විවට්ටට්ඨායි කල්පයේදී රෝගපීඩාවලින් දුක් විඳිමින් නැසෙනකොට ඒකට රෝග අන්තඃ කල්පය කියනවා. එහෙම නැත්නම් අවිආයුධවලින් දුක් විඳිමින් නැසෙන්ට පුළුවනි. එතකොට ඒකට ආයුධ අන්තඃ කල්පය කියනවා. එහෙමත් නැත්නම් කන්ට බොන්ට නැතිව සාගින්නෙන් මැරෙන්ට පුළුවනි. ඒකට කියන්නේ දුර්භික්ෂ අන්තඃ කල්පය කියලයි. ඔන්න ඔය විදිහට පුතේ අන්තඃ කල්ප තුනකුත් තියෙනවා.
මං දැන් කියාපු ලෝක විනාශයේදී කල්ප විනාශය සම්පූර්ණයෙන් පටන් ගන්නේ විවට්ටට්ඨායි කියන කල්පයෙන් පස්සෙයි. ඒ කියන්නේ ලෝකය ඇතිවෙලා පැවතුනාට පස්සෙයි. ඒ විවට්ටට්ඨායි කල්පයේ උපදින සත්වයන්ගේ සිත්වල හටගන්නා රාග – ද්වේෂ – මෝහ යන තුන්වැදෑරුම් අකුසල්වලින් මොකාක්හරි එකක් බලවත් වෙනවා. ඒ අනුව රැස්කරගත් කර්මයන්ට අනුව තමයි ගින්නෙන් හරි ජලයෙන් හරි සුළඟින් හරි විනාශ වෙන්නේ. එතකොට පුතේ මේ කෝටි ලක්ෂයක් සක්වල පුරා ඉන්නා සියලු සත්වයෝ වගේම හැම භෞතික දෙයක්මත් සම්පූර්ණයෙන් ම විනාශ වෙලා යනවා. ආභස්සර, සුභකිණ්ණ, වේහප්ඵල යන බඹතල දක්වා කෝටියක් සක්වල බෙරයක ඇතුලේ මොකෝවත් නැතිව හිස් වුනා වාගේ වෙනවා.
නමුත් පුතේ ලෝකය සැදී පවතින කාලයේදීත් විනාශ සිද්ධ වෙනවා. හැබැයි සම්පූර්ණයෙන් ම නැසෙන්නේ නෑ. ඒ විනාශයට තමයි අන්තඃ කල්පවලදී විනාශ වෙනවා කියන්නේ. ඒ කියන්නේ පුතේ ලෝකය සැදී පවතින කාලයේදී විනාශ වෙන්නේ සත්වයෝ විතරයි. ඒ සත්වයන්ගේ සිත් තුළ හටගන්නා රාග – ද්වේෂ – මෝහාදී අකුසල් මුල් කොට කරන කර්මයන්ට අනුකූලව එක්කෝ රෝගයන් නිසා සත්තු වැනසෙනවා. එහෙම නැත්නම් යුදකෝලාහල ආයුධ වර්ෂා නිසා වැනසී යනවා. එහෙමත් නැත්නම් කන්ට බොන්ට නැතිව දුර්භික්ෂයෙන් වැනසී යනවා. හැබැයි ඒ විනාශයේදී සංවට්ට කල්පයේ විනාශයේදී වගේ සත්වයෝ නැත්තට නැතිවෙන්නේ නෑ. ගොඩාක් ඈයෝ මැරෙනවා. නමුත් කොටසකගේ පණ රැකෙනවා. ඒ පණ කෙන්ද රැකගත්තු ඈයෝ ක්‍රමයෙන් කුසල් දහම් දියුණු කරගනිමින් ආයෙමත් පැවැත්ම යහපත් කොරගන්නවා. එතකොට ආයුෂ වැඩිවෙන්ට ගන්නවා.”
“එතකොට ආච්චි… ඔය අන්තඃ කල්පයක් ගෙවිලා යන්ට කොච්චර කාලයක් ගතවෙනවා ද?”
“ඒක මෙහෙමයි පුතේ. ගව්වක් විතර විශාල අටුවක අබ පුරෝලා තියෙනවා කියලා හිතමු. එතකොට ඉර්ධිමත් කෙනෙක් ඇවිදින් හිටං අවුරුදු සීයකට වරක් ඒ අබ අටුවෙන් එක අබ ඇටයක් අයින් කරනවා. එතකොට පුතේ ඒ අබ අටුවේ අබ ඉවර වෙන්ට කොයිතරම් කලක් යාද?”
“හාපෝ… ආච්චියේ… අවුරුදු සියයකට ම අයින් කරන්නේ එක අබ ඇටයයි නේ. ඉතින් එහෙමනං අටුවේ තියෙන අබඇට කෝටිගණන අවසන් වෙන්ට කොයිතරම් අවුරුදු ගත වේවිද කියා කොහොමෙයි කියන්නේ?”
“ආං හරි… පුතේ. ඒ වගේ ම යි. යොදුනක් දුර ගල් පරුවතයක් අවුරුදු සියයකට වතාවක් සළුවකින් පිස දාන්ට පටන් අරන් ගොඩාක් කල් ගියාම ඒ පරුවතේ කොල්ලු ඇටයක් ගානට ගෙවෙනවා. නමුත් පුතේ අන්තඃ කල්පය ඒත් අවසන් නෑ.
එතකොට පුතේ ආන්න ඒ අන්තඃ කල්පයේ ජීවත්වෙන මිනිසුන්ගේ ආයුෂ ක්‍රමයෙන් දස අවුරුද්දට බහිනවා. එතකොට ඒ මිනිස්සුන්නේ රාගාදී කෙලෙස්වලට අනුව රෝගයෙන් හරි ආයුධයෙන් හරි දුර්භික්ෂයෙන් හරි විනාශ වෙලා යනවා. එයින් ඉතුරු වෙච්චි ඈයො කුසල් දහම් දියුණු කොරගෙන කල්ගත කරන්ට පටන් ගන්නා නිසා ආයෙම ආයුෂ වැඩි වෙනවා. එහෙම වැඩිවෙලා වැඩිවෙලා හිටං අසංඛෙය්‍යට ම ආයුෂ වැඩි වෙනවා. ඊට පස්සේ ආයිමත් අකුසල් නිසා මිනිසුන්නේ ආයුෂ ක්‍රමයෙන් අඩුවෙවී ගොහින් දස අවුරුද්දට බහිනවා. එතකොට ආයිමත් ලෙඩරෝගවලින් හරි ආයුධවලින් හරි දුර්භික්ෂයෙන් හරි සත්වයෝ විනාශ වෙනවා.
ඉතින් පුතේ ඒ වගේම මහපොළොව අවුරුදු දාහකට වැඩෙන්නේ අඟලයි. අන්තඃ කල්පයකදී මහපොළොව යොදුනකුත් තුන් ගව්වක් උසට වැඩෙනවා. ඒ වගේම පුතේ ඔය අන්තඃ කල්පයක යුග හෙවත් කාලපරිච්ඡේද අටක් තියෙනවා.”
------
Post added on Sep 29, 2022 at 8:53 AM