අපාය - කාටුන් කියෑවීම

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපාය - කාටුන් කියෑවීම

    බොහෝ ආගමික ජන සංස්‌කෘතීයන්හි නිරය (අපාය - Hell) ගැන සඳහන් වේ. නිරය යනු පසුකාලීනව, මරණයෙන් පසුව දඬුවම් ලබාදෙන ස්‌ථානය වන අතර එයට යන අයට මහා පරිමාණයේ දඬුවම්වලට භාජනය වීමට සිදුවේ. මෙය මෙලොව නරක විදියට ජීවත් වූ අයට උරුමවන දෙයක්‌ බවට පත්වී ඇත. නිරය සැමවිටම පෘථිවි ගෝලය යට එහි මධ්‍යයේ පිහිටා ඇති ස්‌ථානයක්‌ හැටියට සැලකේ. නිරය මිථ්‍යා විශ්වාසයන් අතර ද දක්‌නට ලැබෙන අතර සත්‍ය වශයෙන් එය ආගම් කිහිපයකම දක්‌වා ඇත. සාමාන්‍යයෙන් එය භූතයන් හා මියගිය අයගේ ආත්මයන් පව් අනුව යන ස්‌ථානයකි. විවිධ සංස්‌කෘතීන් තුළ ද ජනප්‍රවාදවල ද ජනප්‍රිය වචනයකි නිරය (අපාය). නිරය බොහෝ විට කලා හා සාහිත්‍ය තුළ වඩාත්ම ප්‍රසිද්ධව නිරූපණය වන දෙයකි. නිරයේ දඬුවම් සාමාන්‍යයෙන් ජීවිතයේ සිදුවූ පාපයන්ට අනුකූලව සිදුවේ. එක්‌ එක්‌ පාපයන් වෙනුවෙන් වෙන වෙනම දඬුවම් ඇත.

    බෞද්ධාගම, ක්‍රිස්‌තියානි ආගම, ඉස්‌ලාම් ධර්මය වැනි බොහෝ ආගමික සංස්‌කෘතීන් තුළ නිරය පිළිබඳව විග්‍රහකොට ඇත. ඒ සෑම ආගමකම නිරය නිරන්තරයෙන්ම ගින්නෙන් වට වූ වේදනාකාරී සහ ඉතා දරුණු ස්‌ථානයක්‌ ලෙස අර්ථ දක්‌වා තිබේ.

    නිරය පිළිබඳව බල්ගේරියාවේ රදුල්හි, ශාන්ත නිකොලස්‌හි මධ්‍යතන පල්ලියේ බිතු සිතුවම්වලින් ද ඉතියෝපියාවේ ආගමික සිද්ධස්‌ථානවල සිතුවම් තුළින් ද මෙසපොතේමියාවේ පැරණි මැටි ඵලකවල ද පැහැදිලි ලෙස නිරූපණය කර ඇත. බෞද්ධාගම ප්‍රචලිතව ඇති ශ්‍රී ලංකාව, ඉන්දියා, චීනය, කාම්බෝජය වැනි බොහෝ රටවල ඇති පැරණි හා නවීන පන්සල් තුළ ද සිතුවම් හා මූර්ති මඟින් නිරය පිළිබඳව පැහැදිලිව දක්‌වා ඇත. නිරය (අපාය) වෙනම මූර්ති මඟින් පෙන්වා දී ඇති පන්සල් බොහෝ ඇත. ඒවායේ නිරයේදී ලැබෙන වේදනාකාරී දඬුවම් පිළිබඳව විස්‌තර ලෙස පෙන්වා දී ඇත.

    චීන ජන විශ්වාසයන්ට අනුව නිරය යනු මළවුන්ගේ රාජධානියයි. එය දඬුවම් කිරීමට පමණක්‌ නොව ඊළඟ ආත්ම භාවය සඳහා සූදානම් කරන ස්‌ථානයකි. එහි රජවරු දස දෙනෙක්‌ අධිකරණ දහයක සිටින අතර යම (Yama) එක්‌ අධිකරණයක සිටී. පව් සමාකරණ අංශයේ යම කටයුතු කරයි.

    මෙසපොතේමියා ශිෂ්ටාචාරයට අනුව නිරය යනු අගාධයකි. එහි වැටුණු කෙනෙක්‌ ආපසු හැරී නොයයි. මේ නිරය නමැති අගාධයට වැටුණු මිනිසුන් හා එහි ජීවන රටාවන් ගැන කාටූන් ශිල්පීන් ද බොහෝ ප්‍රකාශනවලට කාටූන් නිර්මාණය කර ඇත.


    cart1.jpg


    ක්‍රිස්‌ මේඩන් (Chris Madden) ගේ කාටූනයේ පෙන්වාදී ඇත්තේ මොලොව සිට නිරයට පැමිණෙන පුද්ගලයෙකි. ඔහු නිරයට පැමිණෙන්නේ පොළොව යටට තනා ඇති විදුලි පියගැට පෙළක්‌ දිගේ ය. පියගැට පෙළ පාමුල යමපල්ලෙක්‌ සිටී. ඒ ඔහුව භාරගැනීමට ය. නිරයේ ගිනි දැල් දුම් පිටවේ. 'නිරය සාදරයෙන් පිළිගනිමු' (Welcome To Hell) යනුවෙන් පුවරුවක්‌ ද ඇත. නිරයට (අපායට) පැමිණෙන පුද්ගලයා සිය ජංගම දුරකථනය දෙස බලා බොහෝ දුකින් සිටින බව පෙනේ. සංඥ යනවා (Signal's Going) යනුවෙන් ඔහු සිතයි. අපායට ගියත් සෙල්ෆෝ නය රැගෙන යන බවත් අපායේ සංඥ (Signal's) නැති වූ පසු ඔහු දුක්‌වන බවත් කාටූන් ශිල්පියා මින් පෙන්වා දෙයි.

    cart2.jpg


    ඩේව් ග්‍රැන්ලුන්ඩ් (Dave Granlund) ගේ කාටූනයේ දැක්‌වෙන්නේ ඔසාමා බින්ලාඩ්න් අපායට ගොස්‌ ඇති ආකාරයයි. 'අපාය සාදරයෙන් පිළිගනිමු' (Welcome To Hell) යනුවෙන් පුවරුවක්‌ ද ඇත. යමපල්ලෙක්‌ බින්ලාඩ්න්ගේ උරහිසට අතක්‌ තබාගෙන සිනාමුසු මුහුණින් "නමුත් අපි ඔබව පාතාලයේ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට කැඳවනු ඇත"යනුවෙන් පවසයි (But For You We'll Call in the "Underworld Trade Center")ග පාතාලයේත් ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයක්‌ ඇති බවත් එය වෙත බින්ලාඩ්න්ව කැඳවාගෙන යන බවත් එහිදී ඔහු ඇමෙරිකානුවන්ට කළ විනාශයට මරණීය දඬුවම් ලබාදෙනු ඇති බවත් මේ කාටූන් ශිල්පියා පවසා සිටී.

    cart3.jpg

    කෙන් පයින් (Ken Pyne) විසින් නිර්මාණය කරන ලද කාටූනයේ ලොව අතීතයේ ජීවත් වූ ඒකාධිපතියන් වන ජින් ජින් ඛාන්, හිට්‌ලර්, මුසෝලනී, මා ඕ සේතුං නිරයේ (අපායේ) සිටී. මේ අතර සදාම් හුසේන් අපායට පැමිණ ඇත. ඔහුව පිළිගැනීමට සදාම්ව පිළිගනිමු · (Welcome Saddam !) යන බැනරය අසල එම ඒකාධිපතීන් සතර දෙනා සිටී. කාටූනයේ 'ඔහු ප්‍රමාදය' (He's Late) යනුවෙන් වැකියක්‌ ලියා ඇත. සදාම් හුසේන් මෙච්චර කල් අපායට යන්නට ප්‍රමාද වුණේ ඇයි දැයි ඔහුට කලින් අපායට ගිය ඒකාධිපතීන් සතර දෙනා අසන බව කාටූන් ශිල්පී කෙන් පෙන්වා දෙයි.

    cart4.jpg

    ග්ලෑන් (Glehn) ගේ කාටූනයේ අපායේ යමපල්ලෙක්‌ හා අපායට ගිය මිනිසෙක්‌ පෙන්වයි. කාටූනයේ අන්තර්ජාල අද්භූත නිරය (Internet Troll Hell) යනුවෙන් වැකියක්‌ ලියා ඇත. යමපල්ලා තම ආයුධයෙන් අපායට ගිය පුද්ගලයාගේ ඇඳුමට ඇන ඔහු එයින් ඔසවාගෙන සිටින ආකාරය පෙන්වයි. අපාගත වූ පුද්ගලයා අතේ සෙල්ෆෝනයකි. යමපල්ලා ඒ පුද්ගලයාගෙන් මෙසේ අසයි..."නොමිලේ වයිෆයි එකක්‌ තියෙනවා කියල කිව්වද?" (Did I Mention There's No Free Wi-Fi ?) අපාගත වූ තැනැත්තා තම සෙල්ෆෝනය ගෙන අන්තර්ජාලයට පිවිසීමට බලමින් සිටී. යමපල්ලා අපායේ නොමිලේ දෙන වයිෆයි නැති බව අපාගත වූ අයට දන්වයි. අපාගත වූ පුද්ගලයා නෑ...!! (Nooo !!) යනුවෙන් කෑගසයි.

    cart5.jpg

    තවත් කාටූනයක දැක්‌වෙන්නේ අපායට පැමිණි වායු සමීකරණ අලුත්වැඩියා කරන කාර්මිකයෙකි. ඔහුගේ අත ඇති බෑගයේ Alvin's AC Repair යනුවෙන් ලියා ඇත. ඔහු එන පෙරමඟ සිටින යමපල්ලෝ දෙදෙනෙක්‌ "මෙතැනින් කිසිවෙක්‌ ඔබව කැඳවූයේ නැත"යනුවෙන් පවසයි (No Nobody From Here Called You!). ඒ යමපල්ලන් කියන්නේ අපායෙන් කිසිවෙක්‌ වායු සමීකරණ කාර්මිකයකු කැඳවා නොමැති බවය. අපායට (නිරයට) වායු සමීකරණ (සීතල) අවශ්‍ය නැත. අපාය නිතරම අවශ්‍ය ගින්දරය.


    cart6.jpg


    ටොම් ෙච්නි (Tom Cheney) ගේ කාටූනයේ දක්‌වා ඇත්තේ අපායට පෝලිමේ පැමිණෙන ජනකායකි. ඔවුන්ව පිළිගැනීමට යමපල්ලෙක්‌ සිටී. ඔහුගේ අතේ ඇත්තේ බෝම්බ, පුපුරන ද්‍රව්‍ය, වෙඩි බෙහෙත් හඳුනාගැනීමට හැකි උපකරණයකි. යමපල්ලා අපායට පැමිණෙන සියලු දෙනාම එම උපකරණයෙන් පරීක්‍ෂා කොට අපාය වෙත භාරගනී. ඒ අපායටත් ත්‍රස්‌ත බිය, බෝම්බ බිය දැනී ඇති නිසාය.



    cart7.jpg

    එක්‌ කාටූනයක නිරය තුළ යමපල්ලෙක්‌ සිටී. ඉදිරියෙන් සහ පසුපසින් ගිනිදැල් නඟී. හදිසි අවශ්‍යතාවකට පාවිච්චි කරන දෙයක්‌ බිත්තියේ සවිකර ඇත. ඒ ඉන්ධනය. බිත්තියේ දැන්වීමක්‌ අලවා ඇත. එහි සඳහන් වන්නේ "හදිසි අවස්‌ථාවලදී වීදුරුව කඩන්න" (Break Glass In Emergency). දැන්වීමට යටින් වීදුරු ආවරණයක්‌ සහිත පෙට්‌ටියක්‌ සවිකර ඇත. එහි වීදුරුව තුළින් ඇතුළේ ඇති දැ පෙනේ. එහි ඇත්තේ පෙට්‍රල් (ඉන්ධන) භාජනයකි. එහි "දල්වන තරලය (} දියරය)" (Lighter Fluid) යනුවෙන් ලියා ඇත. අපායේ ගින්දර අඩු වූ විට අපායේ කාර්යය නැති වී යයි. එවිට නැවත ගිනි දැල්විය යුතුයි. හදිසි අවස්‌ථාවකදී නම් වහා ගිනි දැල්විය යුතුය. වීදුරුව කඩා ඉන්ධන දියරය ලබාගත යුත්තේ එවිටය.

    cart8.jpg


    සර්ජි ටුනින් (Sergei Tunin) විසින් නිර්මාණය කරන ලද කාටූනයේ දැක්‌වෙන්නේ අපාය දැවැන්ත ගොඩනැඟිල්ලකි. එහි දොරටු දෙකක්‌ ඇත. කාටූනයේ වම් පැත්තේ ඇති දොරටුව උඩින් නිරය/අපාය (Hell) යනුවෙන් ලියා ඇත. අපායට යන මහ සෙනඟ කන්දරාවක්‌ තෙරපි තෙරපී එම දොරටුවෙන් අපායට ඇතුළු වේ. ඒ සාමාන්‍ය ජනතාවයි. ඒ අතර කාටූනයේ දකුණු පස විශේෂ දොරටුවක්‌ ඇත. එහි ඇතුළු වන දොරටුව උඩින් ආවරණයක්‌ සහිතව බිම රතු පලසක්‌ ද දමා ඇත. දොරටුව උඩින් V.I.P (Very Important Person - ඉතා වැදගත් පුද්ගලයා) යන්න සටහන් කර ඇත. එම දොරටුව අසල ජගුවර් මෝටර් රථයක්‌ නවතා ඇත. එයින් බැස යන බලවත් පුද්ගලයෙක්‌ අපායට ඇතුළු වීමට ඇවිද යයි. ඔහු පිළිගැනීමට අපායේ යමපල්ලෙක්‌ ද දොරටුව අසලට පැමිණ ඇත. වාහනයෙන් බැස යන පුද්ගලයා දේශපාලනඥයකු හෝ මෙලොව සිටි බොහෝ පොහොසත්, බලවත් කෙනකු විය හැක. කාටූන් ශිල්පියා මේ කාටූනයෙන් පෙන්වා දී ඇත්තේ අපායේදී හෝ සැමට එක ලෙස සැලකිය යුතු බවය.


    රුවන් තරස්‌වින්
    divaina.com
     
    • Like
    Reactions: sidathsaumya