අපි ආයෙත් හමු නොවුණානම්

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අපි ආයෙත් හමු නොවුණානම්

    [FONT=bookman old style, new york, times, serif]අපි ආයෙත් හමු නොවුණානම් - සෝමතිලක ජයමහ

    දෛවය පුදුමාකාර ය. නොසිතන මොහොතක කලින් නොදන්වා ම අපට කෙනකු මුණගස්වයි. ආදරණීය බැඳීම් ඇති කරවයි. යළිත් කිසිවකුට නොදන්වා ඒ බැඳීම් සියල්ල බිඳදමා එකිනෙකා දුරස්කර දමයි. ප්‍රේමකීර්ති ද අල්විස් නැමැති අපූරු රච...
    [/FONT]
    [FONT=bookman old style, new york, times, serif]කයා ඒ ගැන මෙසේ සඳහන් කරයි.

    ”දෛවයෝගයකින් නොවේදෝ
    හමුවුණේ අප හමුවුණේ
    දෛවයේ සරදම් ලබන්නට
    කිම මෙසේ අප හමුවුණේ”
    (ගායනය වික්ටර් රත්නායක)

    දෛවයේ වරදින් හෝ අන් කවර හේතුවකින් හෝ බිඳ වැටුණු ආදර සබඳතා තුළින් ඇතැම් විට දෙදෙනා ම දුක් විඳිති. ඇතැම්විට එකකු පමණක් දුක් විඳියි. මේ සියල්ල සාමාන්‍යයෙන් නිතර අපට දක්නට ලැබෙන සිදුවීම් ය.

    එහෙත් දෛවය ඇතැම්විට ඉතා අසාධාරණ ලෙස කටයුතු කරන අවස්ථා දක්නට හැකිය. අජන්තා රණසිංහයන් පසුබිම් කරගෙන ඇත්තේ එබඳු දෛවයේ කුරිරු සරදමකි.

    ”අපි ආයෙත් හමු නොවුණා නම්
    ඉස්සර දවසක මිය ගිය සෙනෙහස
    යළි ඉපදි මා හද හඬවන්නට
    අපි ආයෙත් හමු නොවුණා නම්”

    මෙහිදී අපට මුණ ගැසෙන්නේ පරාජිත පෙම්වතෙකි. ඔහු වරෙක ප්‍රේමයෙන් පරාජිතයකු බවට පත්වුවද කාලයාගේ ඇවෑමෙන් අසීරුවෙන් හිත හදා ගනියි. බොහෝ හිත් වේදනා පහකර දැමීමට කාලය තරම් ඔසුවක් තවත් නොමැත. ඔහුගේ සිතේ තැළුණු රිදුණු තැන් සුවපත් කර කාලය විසින් මේ පුද්ගලයාගේ අඳුරු අතීතය වල දමා තිබිණි.

    පරාජිත ප්‍රේමය පමණක් නොව තමා ආකර්ෂණය වූ සොඳුරු රූ සපුව පවා කාලය විසින් මකා දමමින් තිබිණි. එහෙත් නොසිතූ නොපැතූ මොහොතක, ඔහුට ඇය යළිත් මුණ ගැසෙයි. අසීරුවෙන් යටපත් කරගෙන සිටි සියලු හැඟීම් යළිත් ඇය දර්ශනය වීමත් සමඟ ඉස්මතු වෙයි. සුවපත් වී තිබුණු තුවාලය යළිඳු පෑරෙයි.

    මේ කතකයා පවසන්නේ විරහ වේදනාව ඇය අඳුනාගෙන නොමැති බවයි. තම ආදරයට පිටුපා කලකට පෙර ඈත් වී ගිය ඇය කිසිදා විරහ වේදනාව නාඳුනන බවත් එය අඳුනන්නේ තමා පමණක් බව ඔහු ප්‍රකාශ කරයි. දෛවය කෙතරම් කුරිරු වීද යත් එකම විරහ වේදනාව ඔහුට දෙවරක් විඳින්නට සිදුවෙයි.

    ”ඔබ නාඳුනනා විරහ වේදනා
    පෙරදා වින්දේ මා පමණයි
    හුඟ කලකින් හමුවී සෝ ළතැවුල්
    අදත් විඳින්නේ් මා පමණයි”

    පදමාලාව සරල වුවද මේ මඟින් විවරණය වන මිනිස් හැඟීම් පිළිබඳ කතාන්දරය ඉතා ගැඹුරු ය. මක්නිසාද ආදරය තරම් හදවත් කම්පනය කරවන සංකීර්ණ හැඟීමක් තවත් නොමැති බැවිනි. ඔහු ඇයට ආදරය කරන්නට පටන් ගත්දා සිට සිහින දකින්නට පටන්ගන්නට ඇත. ඔහු තම අනාගතය පිළිබඳ ව සියලු සැලසුම් සකස් කරන්නට ඇත්තේ ඇය මුල් කරගෙන ය. ලෝකය ම ඔවුන් ගේ් සබඳකම දැන සිටින්නට ඇත. එහෙත් ඒ සියල්, ම ආයාසයෙන් අමතක කර දමමින් සිටින මොහොතක ඔහු වඩාත් ම ආදරය කරන රුව නැවතත් දර්ශනය වීම ඔහු තුළ විශාල කැලඹීමක් ඇති කිරීම සාධාරණ ය.

    මට මගේ භද්‍ර යෞවනය සිහිවෙයි. කලකට ඉහත එක්තරා යුවතියක කෙරෙහි මම වැඩි ඇල්මක් දක්වමින් සිටියෙමි. එය ප්‍රේම සබඳකමක් තරම් දුරදිග නොගිය ද ඇගේ දසුන මට ඉතා පි‍්‍රයවිය. මා උදෑසන අවදිවන්නේ ඇගේ රුව දෑසේ ඇඳගනිමින. නින්දට යන්නේ ද ඈ පිළිබඳ ආදරණීය සිතුවිලි සමඟයි. එහෙත් යම් හේතු රාශියක් නිසා ඇයට සමීප වීමේ හැකියාවක් මට නොතිබිණි. එහෙත් ඇය දැකීමෙන් ද ඈ සමඟ කතා කිරීමෙන් ද මම මහත් ආස්වාදයක් ලැබුවෙමි. හිටි හැටියේ ම දුර පළාතකට වෙන්වයාම නිසා ඈ මගෙන් දුරස් විය. ප්‍රේම සබඳතාවක් නොමැති ව වුවද ඒ දුරස්වීමෙන්ලද වේදනාව මට තාමත් හොඳින් මතක ය. මුල් දින කිහිපයේ මට දැනුණේ විශාල ගලක් මගේ හදවත තුළ සිරවී තිබෙන්නාක් මෙනි. මගේ සටහන් පොතක මහගම සේකරයන් ගේ් කවියක් මම ලියා තැබීම.

    අරුණෝදයේ ළා හිරු රැස්
    මත නටන
    පිණි බිඳුවක් ලෙසින් ඔබ මට
    මුණ ගැසිණ
    දැඩි හිරු රැසින් මිරිකෙන්නට
    පෙර නිවෙන
    පිණි බිඳුවක් ලෙසින් ඔබ
    අහසට නැගිණ
    (මහගම සේකර)

    මෙවැනි කවි කීපයක් ම සටහන් පොත් අතර ලියා තැබුවා මට මතක ය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ටිකින් ටික මා තුළ පැවැති වේදනාව තුරන්වන්නට විය.

    මේ සියල්ල ම අමතක වෙමින් සිටියදී වරෙක ඇය හදිසියේ ම දර්ශනය විය. පසු ව නිරන්තරයෙන් ඇස දකින අඩවියකට ඇය පැමිණ තිබිණි. පැරණි වේදනාව මා තුළ වෙනදාටත් වඩා වැඩියෙන් මතුවන්නට විය. එක්තරා රාත්‍රියක මම ඒ වේදනාව පත් ඉරුවක කුරුටු ගෑවෙමි.

    ”ඔබ ආයෙමත් ඇවිදින්
    හිත හදාගත්තා විතරයි
    ඔබ ආයෙමත් ඇවිදින්
    උන්නු දා පෙර අත පොවන්නට
    බැරි දුරින්
    නින්ද මට නැති දවස් තිබුණද
    කොයි තරම්
    ඔබ නොදැක සිටි දිගු කාලයේ
    නෙත කඳුළු මැකුණා විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්...”

    පසු ව එය අමරසිරි පීරිස් විසින් ගායනා කරන ලදී. හමුවීම් හා වෙන්වීම් වල ස්වභාවය එයයි. ඒ රිදෙන තැන් සොයා යාමට මේ ගීතයේ රචකයා මැනැවින් සමත්වෙයි. රිදෙන තැන් පහසුවෙන් සොයාගත හැකිවන්නේ ඒ රිදුම් වලින් තැළුණු හිත් ඇති මිනිසුන්ට ය. එවිට එය කාටත් සමීප විය හැකි අව්‍යාජ නිර්මාණයක් බවට පත්වෙයි. ඒ අව්‍යාජත්වය මේ නිර්මාණයේ මනා ව ගැබ් ව පවතී. මේ හමුවීම තමන්ට කෙතරම් වේදනාවක් ද යන්න රචකයා තම නිර්මාණය අවසන් කරන ආකාරයෙන් පැහැදිලි වෙයි.

    ”සමුගන්නට නම් අහිමි ආදරෙන්
    ආයෙත් ඇයි අප හමුවන්නේ
    ආදරයේ කඳුළෙන් මිය යන්නද
    ජීවිත ඉරණම විසඳෙන්නේ...”

    කෙතරම් මේ සොඳුරු දර්ශනය ඇසට ගැටුණ ද, ආදරය අහිමි නම් මේ හමුවීම් වල අරුතක් නොමැති බව රචකයා දැනුවත් කරයි. එසේම ඔහු පවසන්නේ ආදරයේ කඳුළෙන් ම මියයාම, තම ජීවිතයේ ඉරණම බවයි. දෛවය දිගින්දිගට ම තමාට දඬුවම් දීම නිසා ඔහු ගේ් හදවත තදින් පැරී ඇති බව ඉතා හොඳින් පැහැදිලි වෙයි.

    එක්තරා රුසියානු කෙටිකතාවක් මට මේ මොහොතේ දී සිහිපත් වෙයි. එනම් ඇලෙක්සැන්ඩර් කුප්රින් නම් වූ ලේඛකයාගේ “රන්මිණි වැල්ල” නැමැති කෙටිකතාවයි. මෙහි ප්‍රධාන චරිතය මිය යන්නේ ආදරයේ කඳුළෙනි. විවාහක ස්ත්‍රියකට තම සිතින් ආලය කරන ඔහු ඇගේ සෑම උපන්දිනයකදීම ඇයට වටිනා ත්‍යාගයක් තැපැල් කර යවයි. ඇය කෙදිනක හෝ ඔහු දැක නොමැත. ඇගේ සැමියා වරෙක ඔහු සොයා ගොස් තර්ජනය කරයි.

    එහෙත් මේ නොදුටු පුද්ගලයා සොයාගෙන යන්නට ඇය තීරණය කරයි. ඇය ඔහු සොයා ගන්නා විට ඔහු මිය ගොසිනි. එහෙත් ගැහැනියක් ඔහු සොයා පැමිණිය හොත් ඇයට දෙන ලෙසට ලිපියක් ඔහු නිවසේ අයිතිකරුට දී තිබිණි. ඒ ලිපියේ තිබුණේ මහා සංගීතඥ බිතෝවන් ගේ සංගීත ඛණ්ඩයක ස්වර ප්‍රස්තාරයකි. තමා තුළ ඇයට තිබූ ආදරය හඳුනාගන්නට නම් ඒ සංගීත ඛණ්ඩය පියානෝවකින් වාදනය කරවා ගන්නා ලෙස ඔහු ඉල්ලා සිට තිබිණි. ආදරය එවැනි පුදුමාකාර හැඟීම්වලින් සමන්විත ය.

    මේ ගීතය ගැයෙන්නාවූ හඬ ශ්‍රී ලංකා ගායන ක්ෂේත්‍රයට සුවිශේෂ වූ හඬකි. එසේම ඔහු සුවිශේෂ කලාකරුවෙකි. ගීත රචනය, තනු නිර්මාණය හා ගායනය යන සෑම ක්ෂේත්‍රයක් තුළ ම විහිදී ගිය පුළුල් ප්‍රතිභාවක් ජයමහ සතු ව පවතී.

    ”සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට” වැනි නිර්මාණයක් හැදෑරීම ඒ සඳහා ප්‍රමාණවත් ය.

    ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ පදමාලාව වත්මන් ගීත නිබන්ධකයන්ට නිහඬ උපදේශ ගණනාවක් සපයයි. ගීත පදමාලාවක් යනු වචන ගොඩක් නොව සංක්‍ෂිප්ත පබැඳුමක් බව ඔහු අපට ප්‍රදර්ශනය කර තිබේ.

    විරහ වේදනාව පිළිබඳ හෙට දවසේත් අප්‍රමාණ නිර්මාණ බිහිවනු ඇත. මේ ලියන මොහොතේ ද, කොතැනක හෝ කවියකු ආදරයේ විරහ වේදනාව පත් ඉරුවක කුරුටු ගාමින් සිටිනු ඇත. එසේ ම කවුරුන් හෝ ඒ වේදනාව අත්විඳිමින් සිටිනු ඇත. සෝමතිලක ජයමහගේ මේ ගීතය ගුවනින් ප්‍රචාරය වන මොහොතක එය සවන් වැකෙන හදවතක්, ආදරය මිහිරි වේදනාවක් බව වඩාත් හොඳින් පසක් කරගනු ඇත. ඔහුගේ මිහිරි වේදනාව මම ද ඔවුන් සමඟින් විඳ ගනිමි.

    අපි ආයෙත් හමු නොවු උනානම්
    ඉස්සර දවසක මිය ගිය සෙනෙහස
    යළි ඉපදී මා හද හඬවන්නට
    අපි ආයෙත් හමු නොවුණානම්..

    ඔබ නාඳුනනා විරහ වේදනා
    පෙරදා වින්දේ මා පමණයි
    හුඟ කලකින් හමුවී සෝ ළතැවුල්
    අදත් විඳින්නේ මා පමණයි..

    සමුගන්නටනම් අහිමි ආදරෙන්
    ආයෙත් ඇයි අප හමුවන්නේ
    ආදරයේ කඳුළින් මිය යන්නද
    ජීවිත ඉරණම විසඳෙන්නේ..

    පද: අජන්තා රණසිංහ
    තනු: වික්ටර් රත්නායක
    හඬ: සෝමතිලක ජයමහ
    [/FONT]
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    [FONT=bookman old style, new york, times, serif]ආදරයේ කඳුළින් මිය යන්නද
    ජීවිත ඉරණම විසඳෙන්නේ.. :( :(
    [/FONT]
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    දෛවය පුදුමාකාර ය. නොසිතන මොහොතක කලින් නොදන්වා ම අපට කෙනකු මුණගස්වයි. ආදරණීය බැඳීම් ඇති කරවයි. යළිත් කිසිවකුට නොදන්වා ඒ බැඳීම් සියල්ල බිඳදමා එකිනෙකා දුරස්කර දමයි.

    Rep ++++