අර්ශස්

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    එපා කරපුම ලෙඩේ අර්ශස්
    සතුරකු මෙන් හිංසා කෙරෙනුයේ හෙවත් සතුරකු මෙන් පණ පෙළනුයේ අර්ශස් නම්වේ.
    යම් විධියකින් මිනිසාගේ ගුද මාර්ගය මස් දලුවලින් ඇහිරීම නිසා සතුරකු මෙන් වේදනා ගෙන දේද එය අර්ශස් නමින් හඳුන්වයි.


    ගුදය යනු මහා අන්ත්‍රයේ අවසාන භාගයයි. ගුද මාර්ගයේ දිග අඟල් 4 1/2කි. ගුද තොල අඟල් 1/2ක් පමණ වේ. අඟල් 4ක ප්‍රමාණයේ ගුද මඟ තුළ හක්ගෙඩියක රැලි මෙන් මතු මත්තෙහි වලි 3ක් පිහිටා ඇත. එම වලි උඩ සිට පහළට පිළිවෙළින් මෙසේය.

    1. අභ්‍යන්තර වලිය
    ප්‍රවාහිනී නම් වේ. ප්‍රමාණය අඟලක් පමණ වේ. මෙහි සෑදෙන අර්ශස් සුව කිරීම අපහසුය. තැටමීමේදී යටට මල තෙරපා හැරීම ප්‍රවාහිනී වලියෙන් සිදු කෙරේ.

    2. මධ්‍ය වලිය
    විසර්ජනී නම් වේ. ප්‍රමාණය අඟල් 1 1/2ක් පමණ වේ. මෙහි සෑදෙන අර්ශස් බොහෝ කලක් ප්‍රතිකාර කිරීමෙන් සුව කිරීමට පුළුවන. තෙරපීමේදී පැමිණෙන මල පදාර්ථ දිග හැරී මල පිට කිරීමේ විසර්ජනී වලියෙන් සිදු කරයි.

    3. වාහ්‍ය වලිය
    සංවරණී නම් වේ. ප්‍රමාණය අඟල් 1 1/2ක් පමණ වේ. මෙහි සෑදෙන අර්ශස් සුව කළ හැකිය. ගුද තොල් හකුළුවා මල මඟ වසාලීම සංවරණී වලියෙන් සිදු කරයි.
    අර්ශස් ප්‍රභේද කිහිපයක් ඇත. ඒවා මෙසේ සඳහන් කරමි.
    ශුෂ්ක අර්ශස්
    අර්ශස් ගෙඩි ඇතුළ පිට දෙකේම තිබේ. ලේ යෑමක් නැත. සිදුරක් හෝ පිපිරීමක්ද නැත. ඒ නිසා මෙය අන්ධ අර්ශස් නමින්ද හඳුන්වනු ලබයි.


    ආර්ද්‍ර අර්ශස්
    ලේ හීදං පිටවේ නම් එය ආර්ද්‍ර අර්ශස් නමින් හඳුන්වනු ලබයි. මෙය රක්තාර්ශස් නමින්ද හඳුන්වනු ලැබේ.
    වාහ්‍ය අර්ශස්
    පිටත ඇති අර්ශස් ගෙඩි මේ නමින් හඳුන්වයි. ශිරා බිත්ති පළල් වීමෙන් හට ගනී. සංයෝජනී පේශිවලින් පිට සැදෙන ඒවා බාහිර අර්ශස් නමින් හඳුන්වනු ලබයි.


    අභ්‍යන්තර අර්ශස්
    සෙම් කලාවෙන් වැසුණු ඒවා මීට අයත් වේ. ලේ යන අර්ශස් යනුද මීට නමකි. වේදනා සහිතයි. වැසිකිළියට ගිය විට මේවා මතුවේ.
    සාධ්‍ය අර්ශස් (පහසුවෙන් සුව කළ හැකිය)
    පිට වලියේ හට ගන්නා වූ වා, පිත්, සෙම් දෝෂයන්ගෙන් එක් දෝෂයක් පමණක් ඇසුරු කළා වූ සෑදී බොහෝ කලක් නොගියා වූ අර්ශස් ප්‍රතිකාර කිරීමෙන් සුව කළ හැකිය.


    අර්ශස් රෝගයට හේතු වශයෙන් පහත සඳහන් කරුණු ඉදිරිපත් කළ හැකිය.
    1. නිසි පරිදි ක්‍රමානුකූලව ආහාර නොගැනීම.
    2. ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම.
    3. නිදි වැරීම.
    4. මානසික කරදර ආදී හේතු රාශියක් වේ.
    මේ සඳහා ප්‍රතිකාර වශයෙන් කෂාය කිහිපයක් පහත සඳහන් කරමි.


    1. කළු අරළු, සෙනෙහෙකොළ, කොහිල කරටි, රතු ලූනු, කළං 3 බැගින් ගෙන වතුර කාල් 8 එකට සිඳුවා පෙරා උදේට සවිඳ ලුණුද සවසට සීනිද දමා දෙවේලට බොන්න. (දියවැඩියා රෝගීන් සීනි දැමීමෙන් වළකින්න.)
    රත් කරල් හැබ කළං. 6 ,කලාඳුරු අල කළං 6, කළං 12 වතුර කාල් 8 එකට සිඳුවා පෙරා උදේට සවිඳ ලුණුද සවසට සීනිද දමා දෙවේලට බොන්න.
    රක්තාර්ශස් රෝගයට යෝග්‍ය කෂාය කිහිපයක්.
    අස්වැන්න, පොල්පලා, බටු මුල,් කටුවැල් බටු, හීං ගොකටු, බැබිල මුල්, හාතවාරිය අල කළං 1 මංචාඩි 14 බැගින් ගෙන වතුර කාල් 8 එකට සිඳුවා පෙරා බීම.
    මඟුල් කරඳ මුලේ පොතු, සාරණ මුල්, අරළු, රත්නිටොල්, තිප්පිලි, වියළි ඉඟුරු කළං 2 බැගින් ගෙන වතුර කාල් 8 එකට සිඳුවා පෙරා උදේට සවිඳ ලුණු, සවසට සීනි දමා දෙවේලට බොන්න.


    (සැලකිය යුතුයි - රත්නිටොල් රැයක් පමණ පොල් වතුරේ බහා තබා විස මරා ගත යුතුයි.)

    3. හාතවාරිය අල කළං 12ක් ගෙන එයට වතුර පත 7ක් එක් කර එළකිරි පතක් (1/4)ක් දමා අට එකට සිඳුවා සීනි, මී පැණි දමා දෙවේලට බොන්න.

    4. රත් හඳුන්, බිං කොහොඹ, වැල් කහඹිලියා, කලාඳුරු අල, වෙනිවැල් ගැට, හීන් නිදිකුම්බා, සැවැන්දරා, කොහොඹ පොතු කළං 11/2 බැගින් ගෙන වතුර කාල් 8 එකට සිඳුවා පත 1/2 බැගින් උදේ සවස බොන්න (ප්‍රතිවාප සීනි / මී පැණි)
    කොහිල අල, අළුකෙසෙල් අල, වැටකෙයියා බඩ, උම්බලකඩ, කිතුල් හකුරු, කළං 2යි මංචාඩි 8 බැගින් ගෙන වතුර කාල් 8 එකට සිදුවා ගිතෙල් දමා දෙවේලට බොන්න.


    කොහිල අල, සූදුරු, රතු ලූනු, ගොටු දඬු, සූකිරි, බිං කරල් හැබ කළං 2 බැගින් වතුර කාල් 8 එකට සිඳුවා පෙරා උදේ සවස දෙවේලට බොන්න.
    අර්ශස් නිසා ඇති වන අධික මල බද්ධයට
    අරළු කුඩු, සෙනෙහෙ කොළ කුඩු සමභාග චූර්ණයට රට ඉඳි සහ සියඹලා බොර සමඟ අඹරා බටු ගෙඩි තරම් ගුළි සාදා වරකට ගුළි 2ක් බැගින් උදේ රාත්‍රි ආහාරයට පසුව උණුවතුරෙන් බොන්න.


    මේ සඳහා ධාත්‍රී චූර්ණය මේස හැඳි 1ක් නටන වතුර කෝප්පයකට දමා තැම්බුණාට පසු රාත්‍රි නින්දට පෙර බීම සුදුසුය.
    මේ පරිද්දෙන් ත්‍රිපලා චූර්ණය (අරළු, බුළු, නෙල්ලි) භාවිත කළ හැකිය.
    අර්ශස් සඳහා ඇල්ලීමට දුමක්

    අත්තන ගෙඩියේ මද අර ගන්නේ
    එළ බටු ගෙඩියද එලෙසම ගන්නේ
    කොහොඹ තෙලින් අඹරා අර ගන්නේ
    අර්ශස් වලටයි මේ දුම දෙන්නේ

    අත්තන ගෙඩියේ මද, එළ බටු ගෙඩියේ මද සමඟ කොහොඹ තෙල්වලින් අනා පොල් කටු අඟුරට දමා දුම් දෙන්න. මේ විට අර්ශස් ගෙඩි හැකිළේ.
    ඉබි කටු කුඩු, රතු පින්න මල් සමඟ කවලම් කර පොල්කටු අඟුරුවලට දමා දුම් දෙන්න.
    අර්ශස් සඳහා තැවිලි කිහිපයක් (ස්වේද කර්ම)


    1. හීං උඳුපියලිය, සියඹලා කොළ, රතු ලූනු පොට්ටනි සාදා වණ්ඩුවේ තම්බා තැවීම.
    2. බාර්ලි හෝ කොල්ලු හෝ උඳු පොට්ටනිවලින් තැවීම.
    3. තල හෝ අරළු පොට්ටනියෙන් තැවීම.
    4. තල, සීනි, සතකුප්ප, පඩවැල්, සූදුරු සමව ගෙන කොටා පොට්ටනි සාදා තැවීම
    5. හීං බෝවිටියා, බෙහෙත් අනෝදා කොළ, අමු කහ සමඟ මිශ්‍ර කර පොට්ටනි සාදා වණ්ඩුවේ තම්බා තැවීම.
    අර්ශස් සඳහා සුදුසු කැඳ වර්ග


    1. බෙහෙත් අනෝදා කොළ, හීනටි හාලෙන් කැඳ සාදා බීම.
    2. කොහිල අල කැඳ සාදා බීම.
    3. මුකුණුවැන්න කැඳ සාදා බීම.
    අර්ශස් රෝගය සඳහා සුදුසු අරිෂ්ට වශයෙන්
    අභයාරිෂ්ටය, දන්ත්‍යාරිෂ්ටය, අග්නිමූල අරිෂ්ටය ආදිය සඳහන් කළ හැකිය.


    අර්ශස් සඳහා ගෑමට තෙල් වර්ග. මේ සඳහා සර්ව විෂාදී තෙල, පිණ්ඩ තෙල, සීතෝදක තෙල, ආදිය සුදුසු වේ.
    ගෙඩිවලට බාහිරව ගෑම සඳහා රෝගාණිකාශ් ආදිය සුදුසු වේ.
    මානසික කරදරවලින් තොරව දවල් නිදා ගැනීමෙන් හා රාත්‍රි නිදි වැරීමෙන් වැළකී ක්‍රමානුකූලව ප්‍රතිකාර කිරීමෙන් අර්ශස් රෝගයෙන් වැළකීමට පුළුවන.


    ආයුර්වේද වෛද්‍ය
    ගාමිණී වීරවික්‍රම ගුණවර්ධන
    071 - 0709662