අවාරේ සිරිපා

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    අවාරේ සිරිපා...

    IMAG1383.JPG
    ‍බොහෝ කලකට පෙර ගියා වුණත් අද ඊයෙ ගියා වගේ හිතේ රැඳිච්චි අපූරු චාරිකාවක විස්තර ටිකක් අරගෙනයි මං අද ආවෙ.

    ශ්‍රීපාද අඩවිය, එහෙමත් නැත්නම් සමනල අඩවිය කියන්නේ පාරිසරික, ආගමික හා සංස්කෘතිකමය අතින් ලංකාවෙ ඉතා වැදගත් ප්‍රදේශයක්. කවුරුත් දන්න පරිදි ශ්‍රීපාද වන්දනා සමය දෙසැම්බර් මාසෙ පෝය දවසින් ආරම්භ වෙලා මැයි මාසෙ වෙසක් පෝය දවසින් අවසන් වෙනවා. නිරන්තර තද වැසි සහිත කාලගුණ තත්ත්වය මදක් වෙනස් වෙලා මේ කන්ද තරණයට සුදුසු යහපත් කාලගුණික තත්ත්වයක් තියෙන්නෙ මේ කාලසීමාව තුළදී පමණයි. ඉතින් මේ කියන කාලසීමාව තුළ මේ සුවිශේෂ පරිසර පද්ධතිය ලක්විය යුතු සියලුම ආකාරයේ අතවරයන්ට ලක්වෙනවා. සෑම සිරිපා වාරයක්ම අවසා‍නයේ එහි පවිත්‍රතා කටයුතුවල නියැලෙන තරුණ සත්වවේදීන්ගේ සංගමය ඇතුළු සෙසු ස්වේච්ඡා සංවිධාන මේ පිළිබඳ සාක්ෂි දරයි.

    ඉතින් මේ සියලු අතවර වලින් මිදිලා මේ වනපෙතත් එහි වෙසෙන සත්ව ප්‍රජාවත් නිදහසේ හුස්මක් ගන්නේ මැයි සිට දෙසැම්බර් දක්වා වන කෙටි අවාර කාල සීමාවේ පමණයි. ඒ නිසා මගේ මේ උත්සාහය අවාරෙ කාලෙටත් සිරිපා යන්නට ඔබ පොළඹවලා උන්ට ඒ නිදහසත් අහිමි කරවන්නට නම් නෙවෙයි.

    අවාරෙ සිරිපා යන්නට හිතන්ට කලින් ඔබ ‍බොහෝ කරුණු සලකා බැලිය යුතුයි. ඒ සඳහා මස්කෙළිය පොලිස් ස්ථානයෙන් අවසර ලබා ගත යුතු බවත් මා මෑතක පුවත්පතක දැක්කා. ඒ කරුණ ස්ථිර කරගත යුතුයි. ඒ වගේම මේ කාලසීමාව මේ ප්‍රදේශයට අධික වැසි පතිත වන සමයක්. එවිට පඩිපෙළ ඔස්සේ දියදහරා ගලා එන්නේ විශාල දියඇල්ලක් වගේ අධික ජවයකින්. ඇතැම් විට ඊට හසුවුවහොත් ඔබ ප්‍රපාතයට ඇදවැටීමට වුවත් බැරිකමක් නෑ. ඒවගේම මේ කාලය වනසතුන් නිදහසේ සැරිසරන සමයයි. අමතක කරන්න එපා සිරිපා අඩවිය කුරු ඇතුන්ගේ නිදහස් නිවහනක් බව. එසේම මේ කාලයට පාරදිගේ ඇති විදුලිබුබුළු ක්‍රියාත්මක වන්නේ නෑ. විදුලිබලය ඇත්තේ මළුවට පමණයි. ඒනිසා රාත්‍රී ගමන් නුසුදුසු බව තරයේ හිතට ගන්න. පරිසරයටත් එහි සතා සීපාවාටත් කිසිදු බාධාවක් නොවන පරිදි පරිස්සමින් යන්නට හැකි බවට විශ්වාස නම් පමණක් අපි සමන් දෙවි කරුණාවයි කියලා ඕං පිටත්‍ වෙමු.

    මේ ගමන අපි ගියේ 2008 අවුරුද්දේ නොවැම්බර් මාසෙ. සුපුරුදු රාත්‍රී තැපැල් දුම්රිය තමයි එදත් අපට පිහිට වුනේ. පාන්දර ජාමේ හැටන් දුම්රිය පොළෙන් බැහැගත්තු අපි එළිය වැටෙන තුරු දුම්රිය පොළේ බංකුවක් උඩ මරහීතලේ ගුලි වෙලා උන්නා. යාන්තම් එළිය වැටෙද්දි නගරයේ විවෘත කරලා තිබුණු එකම හෝටලේට ගොඩවැදිලා සරල ආහාරයක් ලබා ගත් අපි එකාට එක බැගින් ලොකු පාන් ගෙඩි මිලදී ගත්තා. (දින 02ක් අපි කෑවේ පාන්ම තමයි) ඉන්පසු හැටන් වලින් පිටත්වන මුල්ම බස්රියෙන් අපි නල්ලතන්නිය බලා පිටත්වුණා.
    සිරිපා සමයේ අතිශය ජනාකීර්ණ කාර්යබහුල නගරයක් වන නල්ලතන්නිය පාළු කතරක් වගෙයි අපට දිස්වුණේ. වෙනදා සිරිපා ගමන්මග ආරම්භ වන ස්ථානයේ සිට දක්නට ලැබෙන තාවකාලික කඩ සාප්පු එකක් වත් ති‍බුණේ නෑ. දිරාගිය ඇටසැකිලි වගේ ඉතිරි වුණු කණු දෙක තුනක් විතරයි දකින්ට තිබුණේ.
    DSC01516.jpg


    මකර තොරණ අබියස - ඔය විසිරී සිටින සියලු දෙනා අපේ නඩේ ඇත්තෝ​
    මේ කාලයේ මා සතුව තිබුණේ ඉතා ප්‍රාථමික මට්ට‍මේ ඩිජිටල් කැමරාවක්. ඒනිසා ඡායාරූපවල ගුණාත්මක භාවය පිළිබඳව මා දයාබර රසිකයෝ කමත්වා...!
    මකර තොරණ පසුකර මදක් ඉදිරියට යන විට දක්නට ලැබෙන රතුපාලම ඔබ කාටත් හුරුපුරුදු එකක් වනවා නිසැකයි. එහි කෙළවරින් පහතට විහිදුණු ඉතා කුඩා අඩිපාර දිගේ මදක් පහතට බසින්නට ඔබට අවස්ථාවක් ලැබුණොත් සුන්දර කුඩා දිය ඇල්ලක් දැක ගන්නට හැකියි.

    DSC01529.JPG

    නමක් නැති ‍සුන්දරිය..​
    මෙම ඡායාරූපයේ ඉහළින් ඔබ දකින්නේ සුප්‍රකට රතු පාලමයි. වෙනදාට වටපිටාව ආවරණය කෙරෙන කඩසාප්පු දක්නට නොලැබුණු නිසා අවට පරිසරය නිරීක්ෂණයට අපට අපූරු නිදහසක් හිමිව තිබුණා.
    IMAG1364.JPG

    පාළුවට ගියා සිරිපා මග...

    IMAG1326.JPG

    අවට සුන්දරත්වය​

    ජපන් සාම චෛත්‍යයත් පසු කර ඉහළට ගමන්කළ අපි සීතගඟුලේ නාන තොටුපොළ වෙත පැමිණියා. මෙහිදී තොටුපොළෙන් ස්නානය කරනු වෙනුවට ගඟ දිගෙ තරමක් ඉහළට ගමන් කළ අපි කුඩා දියඇල්ලක් අසළ ස්නානය කළා. මෙය ඉතා කල්පනාකාරීව කළ යුතු කටයුත්තක්. මොකද ඉහළට ඇද හැලෙන මහවැසි නිසා මේ කාලයේ ගංගා ඇළ දොළ වල දියපහර ක්ෂණිකව වේගවත් වන නිසා.
    IMAG1350.JPG

    දියනෑ තැන..​
    දියනෑමෙන් පසු අප ගෙනා සීනිසම්බල් සමග පාන් අනුභව කොට නැවතත් ගිරිතරණය ඇරඹුවා. මේ වන විට ක්‍රමයෙන් කාලගුණ තත්ත්වය වෙනස් වන්නට පටන් ගත්තා. තද සුළං සමග පොද වැහි ඇදහැලුණත් වාසනාවකට වගේ තද වැස්සකට ලක් නොවීමට තරම් අප වාසනාවන්ත වුණා. වරින් වර වැස්සෙන් සුළ‍ඟින් බාධා වුණත් අවට සුන්දරත්වය වින්දනය කරන්න‍ට අපට හැකි වුණා.
    IMAG1406.JPG

    නොඉඳුල් වනගහනය..​
    ක්‍රමයෙන් ඉහළට යත්ම සදාහරිත තෙත් කඳුකර කලාපීය වනාන්තරයක අනන්‍ය ලක්ෂණ අපට දක්නට ලැබුණා. දැඩි සුළං ප්‍රවාහය නිසා ඇද වූ හා කුරුවූ ගස් ඒ අතරින් ප්‍රධානයි.
    IMAG1366.JPG

    කුරුශාක...
    IMAG1373.JPG

    කුරු ශාක...​
    මේ විදියට අවට සුන්දරත්වය උපරිමයෙන් විඳිමින් මහගිරි දඹය හරියේදී මහවරුසාවකටත් ලක්වෙමින් අපි මළුවට පැමිණියා.
    IMAG1372.JPG

    මාවුස්සාකැලේ ජලාශය..​
    මේ දවසේ අවසාන ඡායාරූපය... සවස පහට පමණ උඩ මළුවේ සිට මාවුස්සාකැලේ ජලාශය...
    එදින රාත්‍රිය අමතක නොවන එකක්. ලේ කැටි ගැහෙන හීතලේ අධික සුළං ධාරා මැද රාත්‍රිය ගත කළ අපි පසුවදා රත්නපුර පාරෙන් පල්ලම් බැස්සා. ඔහොම මෙහෙම අලි මුණ නොගැසී කැලේ මැදින් පල්ලම් බැහැපු හැටි බලාපොරොත්තු වන්න...

    තවත් මේ වගේ චාරිකා සටහන් බලන්න එන්න මගේ බ්ලොග් එකට
    http://sobaroo.blogspot.com/
     
    Last edited:
    • Like
    Reactions: laMir

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    කවුරුහරි පිංවතෙක් මේකෙ පින්තූර නොපෙනෙන්නෙ ඇයි කියලා පහදා දෙන්න.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ලංකාවේ සමහර කාලකන්නි හැත්තක් ඉන්නවා කොහේ ගියත් යන තැන විනාශ කරලා එන්නේ කුණු දාලා.