ආචිණ්ණ කර්මය කියන්නේ කුමක්ද?

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    එක් වරක් සිදු කළාට පසුව බොහෝ කාළයක් නැවත නැවත සිහිපත් කළ කර්ම හෝ නිතර නිතරම දිනපතා හෝ සතිපතා හෝ මාස්පතා හෝ අවුරුදු පතා හෝ කාලයක් තිස්සේ සිදු කරමින් පුරුදු පුහුණු කරන ලද කුසල හෝ අකුසල කර්ම ආචිණ්ණ කර්ම ලෙස හඳුන්වනු ලැබේ.
    මීට පෙර එක් වරක් කඨින පූජා පින්කමක් හෝ අටපිරිකර පූජා පින්කමක් හෝ වෙනත් පින්කමක් හෝ සිදු කර, එය නැවත නැවතත් සිහිපත් කළ විට සිහිපත් කරන වාරයකට කුසල් සිත් ඇති වේ. එසේ නිරන්තරයෙන්ම කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරන ලද ඒ කුසල කර්මය ආචිණ්ණ කර්මයක් වේ.
    යම්කිසි කාන්තාවක් හෝ පිරිමියෙක් ගැන හෝ රාගික සිතින් හෝ වෛරයට මුල් වූ යම් සිද්ධියක් ගැන පසුතැවීමෙන් හෝ නැවත නැවත එය සිහිපත් කරන විට, සිහිපත් කරන වාරයක් පාසා අකුසල් සිත් ඇති වේ. ඒ ආකාරයට කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරන ලද අකුසල කර්මය ආචිණ්ණ කර්මයක් වේ.
    නිතර නිතර ම පුරුදු කළ භාවිතා කළ මේ කර්මය යබ්බහුල කර්මය ලෙසද හඳුන්වනු ලැබේ.
    තමන් සිදු කළ කුසල කර්මයක් ගැන නැවත නැවත මතක් කරමින් බලවත් සේ සතුටු වන විට එය කුසල ආචිණ්ණ කර්මයක් වේ. තමන් කළ අකුසල කර්මයක් ගැන නැවත නැවත කල්පනා කර බලවත් සේ පසුතැවෙන විට එය අකුසල ආචිණ්ණ කර්මයක් වේ.
    මරණාසන්න මොහොතේ දී ගරුක කර්මයක් නැතිනම් විපාක දෙන්නේ ආසන්න කර්මය යි. ආසන්න කර්මයක් නැතිනම් විපාක දෙන්නේ ආචිණ්ණ කර්මය යි. සමහර අවස්ථාවලදී ආසන්න කර්මයට වඩා ආචිණ්ණ කර්මයද නැගී මතුවී සිටින අවස්ථා ද තිබේ.
    දුර්වල වූ කර්මය මර්දනය කර, ආසේවන ප්‍රත්‍යයෙන් ශක්තිමත් වූ කුසල හෝ අකුසල කර්මය ආචිණ්ණ කර්මයක් ලෙස විපාක දෙයි.
    නුවණැත්තෝ කර්ම විපාකය ලැබෙන ආකාරය තේරුම් ගෙන තමන්ගේ සිත රැක ගන්නට කටයුතු කරගත යුතු ය. අකුසලයන්ගෙන් පිරුණු සන්තානයක් නිසා සසර වසනා තාක් කාලයක් තමන්ට දුක් ගැහැට විඳින්නට වෙන බව තේරුම්ගෙන කුසල් වැඩිය යුතුය.