ආණ්ඩුව අත්සන් කළේ සම්පූර්ණ යුද ගිවිසුමක්

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    ආණ්ඩුව අත්සන් කළේ සම්පූර්ණ යුද ගිවිසුමක්

    ආණ්ඩුව අත්සන් කළේ සම්පූර්ණ යුද ගිවිසුමක්
    පසුගිය ජුනි 11 වන දින ‘රට පාවා දෙන, රට විකුණන ගිවිසුම් එපා’ යන තේමාව යටතේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී ජවිපෙ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, බිමල් රත්නායක පළ කළ අදහස්වල සංක්ෂිප්ත සටහනකි
    අපේ රට ඉතාමත් ම තීරණාත්මක දේශපාලන වටාපිටාවක අද තියෙන්නේ. කොතරම් තීරණාත්මක ද කියලා පසුගිය ජුනි 08 වැනිදා සුබ්‍රමනියම් ස්වාමි කියන හිටපු ඉන්දියානු ඇමතිවරයා නිකුත් කළ ‘ට්විටර්’ පණිවුඩයකින් පැහැදිලි වෙනවා.
    “මෝදි අගමැතිවරයා දෙවැනිවර පත් වී ශ්‍රී ලංකාවටයි, මාලදිවයිනටයි යනවා. අවුරුද්දකට කලින් මාලදිවයින තිබුණේ, චීන කිහිලිකරුවක් වෙලා. ශ්‍රී ලංකාව තිබුණේ, ඇමෙරිකානු කිහිලිකරුවක්වෙලා. හැබැයි, මම මාලදිවයින් ජනාධිපති නෂීඞ්වයි, ලංකාවේ රාජපක්‍ෂවයි මුණගැසුණාට පස්සේ ඒ දෙන්නාවම ඉන්දියාවේ පැත්තට ගේන්න මම උදව් කළා.”
    රටේ සම්පත් විකිණීම
    කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය ඉන්දියාවට සහ ජපානයට විකුණා දැමුවා. පාර්ලිමේන්තුව දන්නේ නෑ. ජනමාධ්‍ය හරහා ජනතාව දන්නේ නෑ. වරාය වෘත්තීය සමිති දන්නේ නෑ. කැබිනට් මණ්ඩලය දන්නෙත් අත්සන් කළ දවසේ හවස. සාගල රත්නායක ඇමතිවරයා මැයි 24 වැනිදා වරාය විකිණීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් නිකුත් කළා. මැයි 24 සිකුරාදා දැමූ කැබිනට් පත්‍රිකාව කිසි ම ඇමතිවරයකුට 25 සෙනසුරාදා හෝ 26 ඉරිදා ලැබෙන්නේ නෑ. මුදල් අමාත්‍යාංශයට හෝ අනෙක් කිසිදු අමාත්‍යාංශයකට තමන්ගේ නිරීක්ෂණ ඉදිරිපත් කරන්න ඉඩ ලැබෙන්නේ නෑ.
    ආණ්ඩුව කියන්නේ, වරාය අධිකාරියට සියයට 51ක් අයිති බව. ඉතිරි සියයට 49 ඉන්දියාව සහ ජපානය අතර බෙදෙනවා කියලයි.
    ගිවිසුමට අනුව ඉන්දියාව කොච්චර මුදලක් මේ වෙනුවෙන් ආයෝජනය කරනවා ද කියලා තීරණය කරලා නෑ. ඔවුන් ලබා ගන්නා කොටස් අයිතිය ගැනත් තීරණය කරලා නෑ. එහෙම නම්, මේ මොකක් ද කරන්නේ ? අපේ මාතෘභූමිය දුර්වල කරලා, දණගස්සලා ජාතික සම්පත් හදිසියේ විදේශිකයන් කඩා වඩා ගන්නවා. වරායේ නැඟෙනහිර ජැටියට ඕනෑ කරන දොඹකර සවි කරන්න ඩොලර් මිලියන 6.8ක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් තක්සේරු කර තිබුණා. වර්තමාන හවුල් ආණ්ඩුව ඒ මුදල දෙන්න බෑ කියලා දොඹකර ගෙන්වීම අත්හිටැවූවා. රාජපක්ෂ පාලනය විදේශ බලවතුන්ට කප්පම් දීමේ ක්‍රමවේදයක් පටන්ගෙන තිබූ නිසයි මේක වුණේ. හම්බන්තොට වරාය චීනයට, කන්කසන්තුරේ සිමෙන්ති කම්හල ඉන්දියාවට දුන්නා. මාතර - හම්බන්තොට දුම්රිය මාර්ගය චීනයට දීලා, යාපනය දුම්රිය මාර්ගය ඉන්දියාවට දුන්නා. චීනයෙන් නොරොච්චෝලේ හදන කොට සාම්පූර් ඉන්දියාවට. මන්නාරම් ද්‍රෝණියෝ තෙල් කැණීම ඉන්දියාවට දීලා, දකුණු මුහුදේ ගවේෂණ චීනයට දුන්නා. 2015දී කොළඹ වරායේ දකුණු ජැටිය චීනයට දීලා, දැන් නැඟෙනහිර ජැටිය ඉන්දියාවට දෙනවා.
    නැඟෙනහිර මේ ජැටිය විකුණන්න 2015 ඉඳලා ආණ්ඩුව උත්සාහ කළා. වරාය පොදු සේවක වෘත්තීය සමිතිය මූලික වෙලා ගෙන ගිය දැවැන්ත විරෝධය නිසා ඒක කරන්න බැරි වුණා. ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වෙලා රට අසරණ වී තිබෙන මොහොතේ පාලකයන් දණගස්සලා කඩිමුඩියේ ලියාගෙන තියෙනවා. අතිශය වැදගත් මේ ජාතික සම්පත පාවා දීමේ ගිවිසුම්වලට විරුද්ධව සියලු දෙනා ම නැඟී සිටීමේ වගකීමක් තියෙනවා. අත්සන් කර තිබෙන දුර්වල ගිවිසුම පරාජය කළ යුතුයි. මේ විකිණීම නිසා වරාය අධිකාරියේ රැකියා 10,000ක් පමණ අහිමි වෙන අනතුර තියෙනවා. පඩි ගෙවන්න වරාය අධිකාරියට ආදායම් නැති වෙනවා. ආර්ථික අපරාධ රැසක් මේ පාලනයෙන් මේ විදියට කරමින් ඉන්නවා.
    ආරක්ෂක ගිවිසුම්
    රටේ සම්පත් විකිණීමේ ගිවිසුම් වාගේ ම ආරක්‍ෂක නමින් අත්සන් කර තිබෙන ගිවිසුම් ගණනාවක් රට මත පටවා තිබෙනවා. සීතල යුද්ධය නමින් ධනවාදී, අධිරාජ්‍යවාදී කඳවුරත්, සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුරත් අතර තරගයක් තිබුණා. එක්සත් ජනපදය විසින් සමාජවාදී රාජ්‍ය පද්ධතියට එරෙහිව කටයුතු කරන්න විවිධ යුද හා දේශපාලන සංවිධාන හැදුවා. ‘ගිල්ඩර්බර්ග් ට්‍රැප්’ කියන නාසිවාදී ක්‍රිස්තියානි සංවිධානය ඒ අතර ඉතාම බලවත් එකක්. 1956දී හදපු මේක දුෂ්ට ගෝලීය සංවිධානයක්. ලෝකය විනාශ කරමින්, ධනකුවේරයන්ගේ බලය පවත්වාගෙන යන්න හදපු සංවිධානයක්. අන්ත මිනීමරු රහසිගත ගෝලීය සංවිධානයක්. ලෝකය පුරා ඉන්න ප්‍රගතිශීලී මාධ්‍යවේදීන් මේ සංවිධානයේ තොරතුරු හෙළිකර තිබෙනවා.
    මේ 27වැනිදා ලංකාවට ගොඩබහින ගමන් මයික් පොම්පියෝ ජුනි මස මුල ස්විට්සර්ලන්තයේ තිබූ ලෝකයේ දුෂ්ටතම මේ මිනීමරු, නාසිවාදී කල්ලියේ රැස්වීමට ගියා. අධිරාජ්‍යවාදීන් මෙවැනි ගෝලීය සංවිධාන අටවාගෙන මුළුමහත් මානව වර්ගයාටම එරෙහිව ක්‍රියා කරනවා. මේකට ගන්නේ ක්‍රිස්තියානි ආගම අදහන අය නොවෙයි, ක්‍රිස්තියානි අන්තවාදීන් බව පැහැදිලිව කියන්න ඕනෑ. එවැනි පසුබිමක් සහිත ගෝලීය සංවිධාන අතුරින් එකක් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව කියන යුද යාන්ත්‍රණය. 1990දී සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුර බිඳවැටුණාට පස්සේ මේ සංවිධානය වගේ යුද සංවිධානයක් තිබීමේ තර්කය අහෝසි වුණා. නමුත්, ලෝකය පුරාම රටවල් කොල්ලකන්න අලුත් දේශපාලන උපායමාර්ගයක් ඕනෑ වුණා. ජ්‍යෙෂ්ඨ ජෝර්ජ් බුෂ්ගේ කාලයේ දී හඳුන්වා දුන් ‘නිව් වර්ල්ඞ් ඕඩර්’ කියන දේශපාලන උපායමාර්ගය ඔවුන් හඳුන්වා දුන්නා. ඒ උපායමාර්ගය තුළ ලෝකය පුරාම යුද යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න දේශපාලන සැලැසුමක් එලුවා.
    එයින් එකක් තමයි, 1994දී බිල් ක්ලින්ටන් ජනාධිපති සමයේ ‘සේද මාවත උපායමාර්ගය’ කියලා සකස් කළේ. අවුරුදු 6,000කට කලින් චීනයේ ඉඳලා යුරෝපයට ගිය පාර සහ ඒ පාර තමන් යොදා ගත්තා. මොකටද ඇමෙරිකාව චීනයට කඩාවදින්න? අධිරාජ්‍යවාදී රටවල් තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය ලෝකය පුරා ම ක්‍රියාත්මක කරන්න විවිධ තර්ක හදලා නේටෝව අලුතින් ව්‍යාප්ත කළා. සැමුවෙල් හන්ටින්ටන් කියන එක්සත් ජනපද යුද දෙපාර්තමේන්තුවේ උපදේශකයෙක් 1996දී පොතක් ලීවා, ‘ශිෂ්ටාචාරයන් අතර ගැටුම’ කියලා. ඔහුගේ ගෝලයෙක් වන ප්‍රැන්සිස් ෆුකොයාමා “ඉතිහාසය අවසානයි, සදාකාලික ධනවාදය තියෙන්නේ” කීවා. සෝවියට් දේශය බිඳවැටීමෙන් උද්දාම වෙලා එහෙම කීවාට 1997 ආසියානු ආර්ථික අර්බුදය ආවා. ඒ පොත ලියලා අවුැදු දහයක් යන්න කලින් ඇමෙරිකාවත් කඩාගෙන වැටුණා. ෆුකොයාමා කියූ ඉතිහාසය අවසන් වුණේ නෑ.
    ලෝකය පුරා ම ජනතාව අධිරාජ්‍යවාදයට විරුද්ධව සටන් කරමින් ඉන්නවා. හැබැයි, අධිරාජ්‍යවාදීන්ගේ උපායමාර්ගය වූ ශිෂ්ටාචාරයන් අතර ගැටුමට මඟපෑදුවා. කතෝලික ශිෂ්ටාචාරය සහ ඉස්ලාමීය ශිෂ්ටාචාරය අතර ගැටුම, බටහිර ශිෂ්ටාචාරය සහ ආසියාව අතර, රුසියානු ශිෂ්ටාචාරය සහ අනෙකුත් ශිෂ්ටාචාර අතර වශයෙන් ගැටුම් ඇති කළා. මෙන්න මේ සන්දර්භය තුළ 1990 දක්වා නේටෝ සංවිධානය ඔවුන්ගේ සාමාජික රටවල් එක්ක අත්සන් කළ ගිවිසුම් තිබුණා. පොදුවේ මේ ගිවිසුම් ‘ඇක්විසිෂන් ඇන්ඞ් ක්‍රොස් සර්විසින් ඇග්‍රිමන්ට්’ (්ුමඩසිසඑසදබ ්බා ක්‍රදි ීැරඩසජසබට ්ටරුැපැබඑ) කියලා නම් කළා. කෙටියෙන් ‘ඇක්සා’. 1991 වෙනකම්ම නේටෝවේ රටවල් අතර ක්‍රියාත්මක වූ ගිවිසුම් අනුව ඇමෙරිකාව යුද්ධ කරද්දී, ඔවුන්ට සේවා සැපයීමට සාමාජික රටවල් ගිවිසුම අනුව බැඳී සිටියා.
    ආසියාවට කඩාවැදීම
    ‘ආසියාවට කඩාවැදීම’ කියන උපායමාර්ගයට අනුව බුෂ්ලාගේ ‘ඇක්සා’ ගිවිසුම් විතරක් මඳි වුණා. ඒ නිසා අර නේටෝ ගිවිසුමේ ම වෙනත් පෙනුමකින් අපේ රටවල්වලට හඳුන්වා දෙන්න පටන් ගත්තා. අන්න ඒ වැඩපිළිවෙළේ කොටසක් විදියට 2007 මාර්තු 05 වැනිදා කැබිනට් මණ්ඩලයට සහමුලින් ම හොරෙන් පාර්ලිමේන්තුවට හොරෙන්, ජනතාවට හොරෙන් ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ‘ඇක්සා’ කියන ගිවිසුම අත්සන් කළා. ජනතා විමුක්ති පෙරමුණේ අපියි මේ ගිවිසුම රටට හෙළිදරව් කළේ. මාර්තු මාසේ ඉඳලා අපි පාර්ලිමේන්තුවේ දිගටම උද්ඝෝෂණය කරලා 2007 ජුනි මාසේ 05 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයක් ගත්තා. ගිවිසුමේ පිටපතෙන් කොටසක් පාර්ලිමේන්තුවට ලබා ගත්තේ මාස ගාණකට පස්සේ. ඒකත් කොටසක්. ඇමෙරිකාව කරන්නා වූ ඕනෑ ම යුද්ධයක දී ලංකාව වරායවල්, ගුවන් සීමාවන්, ගුවන්තොටුපළවල්, තෙල් සැපයීම්, තාක්ෂණික සේවාවන්, පණිවුඩ හුවමාරු ලබා දෙන්න බැඳුණා.
    ඇමෙරිකාවේ රොබර්ට් ඕ. බ්ලේක් සහ ගෝඨාභය රාජපක්‍ෂ මේ පාවා දීමේ ගිවිසුම අත්සන් කළා. ඉතා අසීරුම යුද්ධයක් බෙදුම්වාදයට විරුද්ධව කළ සමයේ ඇමෙරිකාව අපට යුදමය වශයෙන් දශමයක උදව්වක් කළේ නෑ. ලංකා හමුදාවේ නිලධාරීන් ලෝකයේ විවිධ රටවල පුහුණු වෙනවා. එක්සත් ජනපදයෙන් ඒ පුහුණු කිරීම හැර කිසි ම දෙයක් කළේ නෑ. අපි රටට කරුණු හෙළිකර අපි මැදිහත් වුණාට ගිවිසුම පරාජය කරන්න බැරි වුණා. ගිවිසුම අත්සන් කළේ අවුරුදු දහයකට නිසා 2017 මාර්තු 05 වැනිදායින් කාලය අවසන් වුණා.
    ගිවිසුම් කාලය අවසන් වීම
    අපි මේ රටේ ජනතාවගේ උරුමයන් පිළිබඳව පැය විසිහතරේ ම අධීක්ෂණයෙන් ඉන්න පක්ෂයක්. ගිවිසුම අවසන් වෙන 2017 මාර්තු 05 වැනිදා අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා සහෝදරයා මාධ්‍ය සාකච්ඡාවක් තියලා ගිවිසුමේ ප්‍රතිවිපාක හෙළි කළා. අවුරුදු දහය අවසන් නිසා නැවත අත්සන් කරන්න එපා කියන අවධාරණය කළා. 2017 මාර්තු 21 වැනිදා පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයාගෙන් අනුර සහෝදරයා ප්‍රශ්න කළා. රනිල් වික්‍රමසිංහ උන්නැහේ ප්‍රශ්නවලට උත්තර නොදී පැනලා ගියා. 2017 ජුනි 21 වැනි දින අපි නැවත ප්‍රශ්න කළාම නැවත අත්සන් නොකරන බව කීවා. අලුතින් මතු වී සිටින හදිසි දේශප්‍රේමීන් එතකොටත් නිහඬව සිටියා. අපි දිගින් දිගටම ප්‍රශ්න කළා. 2017 අගෝස්තු 04 වැනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ඔහුගේ ආරක්ෂක ලේකම්වරයා මඟින් සදාකාලිකවම ක්‍රියාත්මක වන ගිවිසුමක් ඇමෙරිකාව එක්ක අත්සන් කළා. ගිවිසුම අවසන් වන දිනයක් නෑ.
    මෛත්‍රීපාල සිරිසේනගේ අත්සන සහිත කැබිනට් පත්‍රිකාවක් නිකුත් කළා. “පවතින ගෝලීය ආරක්‍ෂක තත්ත්වයන් ජාත්‍යන්තර සම්බන්ධතා මත තව දුරටත් ධනාත්මකව පවත්වාගෙන යාම සහ තාක්ෂණික අවස්ථා වර්ධනය කර ගැනීමටත්, ශ්‍රී ලාංකිකයන් සඳහා පුහුණු හා සංවර්ධන අවස්ථා උදා කරගැනීමට මෙම ගිවිසුම මඟින් අවස්ථාව සැලසෙන බැවින්, අත්සන් කිරීමට යෝජිත ගිවිසුම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරමි.” මේක ටේ්‍රනිං ලබා දෙන ගිවිසුමක් බව පෙන්වන්න උත්සාහ කළා. එහෙම නෑ. අමු යුද ගිවිසුමක්. ඇමෙරිකානු හමුදා මේ කලාපයේ යුද්ධ කරනවා නම්, ඒ හමුදාවලට අවශ්‍ය යටිතල පහසුකම් සපයා දීමට ලංකාව බැඳී ඉන්නවා. මේ පාවා දීමේ ගිවිසුම 2017 අගෝස්තු මාසයේ 04 වැනිදා අත්සන් කළා. හැබැයි, මේක රටට හෙළිදරව් කළේ නෑ, බලවත් රටවල් එක්ක ගිවිසුම්වලට ගියාම අයින් කරගන්න එක ලේසි නෑ. ඒ නිසා සදාකාලිකවම අපේ මාතෘභූමිය එක්සත් ජනපද අධිරාජ්‍යය එක්ක ගැටගහපු පාවා දීමේ ගිවිසුම මේක. රටේ ස්වෛරීත්වය පාවා දෙමින්, අනාගතය බිලි දෙමින් අත්සන් කළ ගිවිසුම්වලට විරුද්ධව අපේ ශක්ති ප්‍රමාණයට මැදිහත් වීම් කළා.
    අධිරාජ්‍යවාදීන් ඇතුළු වීම
    අපේ රටට අධිරාජ්‍යවාදීන් ඇතුළු වෙන්න අධිවේගී මාර්ග දෙකක් හදා ගත්තා. එකක්, බෙදුම්වාදී යුද්ධය. අනෙක ණය උගුලක රට හිර කිරීම. අපේ රට දණගැස්සුවේ මේ ක්‍රියාමාර්ග දෙක අනුගමනය කරමින්. තිස් වසරක් තිබුණු බෙදුම්වාදී යුද්ධය 2009 නතර කර ගත්තා. හැබැයි, රට ණය ආර්ථිකයක් කිරීම නතර වුණේ නෑ. දිගින් දිගටම ණය ගත්තා. දැන් අනෙක් අන්තයෙන් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරයකටත් ඉඩ විවෘත කර දීලා. අපි ජාතිවාදී, ආගම්වාදී නොවී මේ ත්‍රස්තවාදී ප්‍රශ්නය බේරා ගන්න ඕනෑ. තිස් අවුරුදු යුද්ධයේ දී ජනතා විමුක්ති පෙරමුණ එක දෙමළ මනුස්සයකුට පක්‍ෂයක් විදියට අපෙන් ප්‍රශ්නයක් නොවෙන්න කටයුතු කළා. අන්න ඒ වගේ මේ ඉස්ලාම් අන්තවාදී ප්‍රශ්නයත් ඉවර කරන්න ඕනෑ.
    රට ණය උගුලක හිර කරලා, රටේ සම්පත් විකිණීමේ ක්‍රියාමාර්ගයක් රාජපක්ෂලා, මෛත්‍රීපාල සිරිසේනලා, රනිල්ලා කරගෙන යනවා. රටේ සම්පත් විකිණීමට එරෙහි කඳවුරක් ගොඩනඟන්න ඕනෑ. ඒකේ විශාල කාර්යභාරයක් වෘත්තීය සමිතිවලට තියෙනවා. අනෙක් පැත්තෙන් ජාතිවාදී, අන්තවාදී කඳවුරක් තියෙනවා. ඒකට විරුද්ධව ජාතික සමඟිය, සංහිඳියාව ගොඩනඟන කඳවුරක් හදන්න ඕනෑ. මේ ක්‍රියාවලි දෙකට ම ජවිපෙ සහ ජවිපෙ නොවන සියලු දෙනාට එකතු වෙන්න පුළුවන් කඳවුරක් ගොඩනඟන්න ඕනෑ. ජනමතය විකෘති කරලා තියෙන දේශපාලන ජනමාධ්‍ය මෙහෙයුම පරාජය කරන්න ඕනෑ. මේක කළ හැක්කේ පොදු ජනතාවගේ මධ්‍යස්ථානයකින් පමණයි. “කොළ කෑලි අත්සන් කළාට වරාය දෙන්නෙත් නෑ. ආරක්ෂක ගිවිසුම් අත්සන් කළාට රට පාවා දෙන්නෙත් නෑ” කියන අධිෂ්ඨානයෙන් කටයුතු කරන්න ඕනෑ.