-
මැතිවරණ නීති උල්ංගණය කරමින්, මැර ප්‍රහාර එල්ල කරමින් සහ රාජ්‍ය බලය අනිසි ලෙස යොදවමින් තිබෙන ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාකලාපයට විරෝධය පා පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කරන පක්ෂ විසින් අද රාජගිරියේ මැතිවරණ කොමසාරිස් කාර්යාලය අසල සිට කොළඹ කැම්බල් පිටිය දක්වා සංවිධානය කර ඇති විරෝධතා පාගමන විසුරුවා හැරීමට අවසර දෙන ලෙස රාජගිරිය පොලීසිය ඊයේ අධිකරණයෙන් ඉල්ලා තිබේ.
ජනාධිපතිවරණ නීතිය උල්ලංඝනය කරමින් පෙළපාලියක් සූදානම් කිරීමට එරෙහිව අංක ඞී/3043 දරණ නඩුව පවරමින් රාජගිරිය පොලීසිය විසින් අධිකරණයෙන් මෙම නියෝගය ඉල්ලා ඇත.එහිදී පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ, මෙම පෙළ පාලිය නීති විරෝධී සාමකාමී පෙළපාලියක් නොවන්නේ නම් 1981 අංක 15 දරණ ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ පණතේ 69 වන වගන්තියට අනුව සහ දණ්ඩ නීති සංග්‍රහයේ 95 වන වගන්තියට අනුව ක්‍රියා කරමින් එය විසිරුවා හැරීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් අනුව සාමකාමීව විරෝධය පෑමට අයිතියක් තිබෙන බවත් හෙට පැවැත්වීමට නියමිත පෙළපාලියක් සාමකාමී නොවන එකක් විය හැකි යැයි අද තීරණය කරන්නේ කෙසේද කියාත් විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල පතිරාජ මහතා කරුණු දක්වමින් පෙන්වාදී තිබේ.
දෙපාර්ශවයේම කරුණු සලකා බලා ජනාධිපතිවරණ පණත අනුව කටයුතු කරමින් පෙලපාලිය සාමකාමී නොවන්නේ නම් එය විසිරුවා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ගිහාන් රණවක මහතා පොලීසියට බලය පවරණ ලදී.
රාජගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණිලි පාර්ශවය වෙනුවෙන් සිටි අතර විත්තිය වෙනුවෙන් මංජුල පතිරාජ සමග මධුශංක හේවාවිතාරණ නීතිඥවරු පෙනී සිටියහ.
