අද ලංකාවෙ විතරක් නෙමෙයි, ලෝකෙම සෑහෙන්න ජනප්‍රිය මාතෘකාවක් තමයි ආදරේ කියන්නෙ. ඒත් ඒ ජනප්‍රිය මාතෘකාව බුදු දහමෙ කතා කරන්නෙ වෙනස් විදියකට. ඒ ගැනයි මේ කතා කරන්නෙ.
ආදරය කියන වචනයට නිශ්චිත අර්ථ නිරූපනයක් නෑ. ඉතින් පුද්ගලානුබද්ධව, විෂයානුබද්ධව ඒ ඒ අවස්ථාව අනුව එක එක අර්ථ නිරූපන ඒ වචනයට ලැබෙනවා. පොදුවෙ ගත්තම ආදරය කියන්නෙත් හැඟීමක්. සත්ව හැඟීමක්.
අපි හැමෝම කාට හරි ආදරේ කරනවා. විදිය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ආදරේ කරනවා. අම්මලා දරුවන්ට ආදරෙයි. දරුවො අම්මලට ආදරෙයි. තාත්තලා දරුවන්ට ආදරෙයි. දරුවො තාත්තලට ආදරෙයි. සැමියා බිරිඳට ආදරෙයි. බිරිඳට සැමියා ආදරෙයි. මේ වගේ. සමහරු කියනවා ආදරය නැතුව ජීවත් වෙන්න බැහැ කියලා. තවත් අය කියනවා සල්ලිවලටත් ආදරේ ගන්න පුළුවන් කියලා.
දැන් බලන්න මේ ආදරේ කියන වචනය ප්‍රායෝගිකව භාවිතා වෙන්නෙ කොහොමද කියලා. සමහරු කියනවා ආදරේ කරන කෙනා ලඟ නැතුවම පාළුයි කියලා. ඒක එයාට ආදරේ. තවත් අය කියනවා ආදරේ කරන කෙනා ආපහු ආදරේ නොකරද්දි කේන්ති යනවා නැත්නම් ජීවිතේ එපා වෙනවා කියලා. ඒකත් ආදරේ. තවත් අය එයා ආදරේ කෙනා ලඟ නැති වුනාම තෝන්දු මාන්දුවෙන් ඉන්නෙ නැත්නම් ඒ වෙලාවට හැමදේම දකින්නෙ නුහුරට. ඒකත් ආදරේ. තවත් වෙලාවට ආදරේ කරන කෙනා ලඟ ඉද්දි සතුටින් පිරිලා. ඒකත් ආදරේ. මේ කිව්වෙ බොහොම චුට්ටක්. තමන් ම හිතලා බලන්න තමන් ගැන. ඒ කියන්නෙ ආදරේ කරන හැටි, ආදරේ විඳින හැටි ගැන. තමුන් ආදරේ කියන්නෙ මොකක් ද කියලා හිතන්න.
මේ කොයි විදියට බැලුවත් පෙනෙයි අන්තිමට මේ කියන ආදරේ තමුන් මුල් කරගෙනයි තියෙන්නෙ කියන එක. බොහොම කලාතුරකින් තමයි අනුන් මුල් කරගත්ත ආදරයක් අපිට හම්බවෙන්නෙ. නැතුව නෙමෙයි. සමහරවිට මේ කිව්ව දේ එකසැරේටම නොතේරෙන්න පුළුවන්. මෙහෙම කියමු අපි. ඔයා ආදරේ කෙනා ලඟ නැත්නම්, මොකක් හෝ හේතුවක් නිසා කතා නොකරනවා නම් ඔයාට එයා එක්ක කේන්ති යනවා කියලා හිතන්න. නැත්නම් දුක හිතෙනවා කියලා හිතන්න. අනුන්ගෙ දෙයක් නිසා තමුන්ට බලපෑමක් වෙනවා නම් ඒකට හේතුව තියෙන්නෙ තමන් තුලනෙ. ඒකයි තමුන් මුල් කරගෙන කියන්නෙ. තව බලමු. හිතන්න තමුන් ආදරේ කරන කෙනා ලඟට වෙලා ඉන්නවා කියලා. කැමැති නෑ පුංචි වෙලාවකටවත් එයා දුරස් වෙනවට. ඒ කෙනාට කොච්චර රාජකාරී තිබ්බත් එයා ඉන්න ඕනා ලඟට වෙලා. ලඟ ඉඳියොත් සතුටින්. ඈත් වුනොත් දුකින්. මේක තමයි තමුන් මුල් කර ගැනීම කියන්නෙ.
හොඳට නිදහසේ මේ ගැන හිතන කෙනාට තේරෙනෙවා තමුන් කේන්ද්‍ර කරගෙන සැප හොයනවා නම් දුක් වෙනවා නම් ඒ එහෙම වෙන්නෙ 'අල්ලා ගැනීම' නිසාවෙන් නැත්නම් තමන්ගෙ කර ගැනීම නිසාවෙන් බව. ඇයි අපි දේවල් අල්ලා ගන්නෙ, නැත්නම් තමන්ගෙ කියලා හිතන්නෙ. මෙතනදි හොඳම සහ එකම පැහැදිලි කිරීම කරන්නෙ බුදු දහමෙන් විතරයි. අපි දේවල් අල්ලගන්නෙ බුදු දහමට අනුව 'තණ්හාව' නිසා. බුදු හාමුදුරුවෝ පෙන්වලා දෙනවා තණ්හාව දුකට හේතුවයි කියලා.
දුක විවිධාකාරයි. ධම්මචක්ක සූත්‍රයෙදි දුකේ විවිධ ස්වභාවයන් ගැන බුදු හාමුදුරුවෝ දේශනා කරනවා. ඒ ගැන හැමෝම දන්න නිසා ආපහු මෙතැනදි කතා කිරීමේ අවශ්‍යතාවක් මතු වෙන්නෙ නැහැ. ඒත් අපි ආදරෙත් එක්ක ඒ ගැන බලමු. ආදරේ කරන කෙනා වෙනස් වෙද්දි දුක නැද්ද? ආදරේ කරන කෙනා ලඟ නැති වෙද්දි දුක නැද්ද? ආදරේ කරන කෙනා කොහෙ හරි ගිහින් එනකම් බය හිතෙන්නෙ නැද්ද? ආදරේ කරන කෙනා වෙනස් වෙයි කියලා බය හිතෙන්නෙ නැද්ද? ආදරේ කරන කෙනා තව කෙනෙක් එක්ක හිනා වුනා, කතා කලා කියලා දුක හිතෙන්නෙ නැද්ද? මේ වගේ තමුන්ගෙ අත්දැකීම් එක්ක බලන්න. ඒ හැමදේම කොටස් දෙකකට ඇතුල් කරන්න පුළුවන්.
1. ආදරේ කරන කෙනාගෙන් වෙන්වීමේ දුක (ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක)
2. තමුන් බලාපොරොත්තු වෙන විදියට දේවල් සිද්ධ නොවීමේ දුක (කැමැති දේ නොලැබීමේ දුක)
මේ දුක ගැන බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. බුදු දහමෙදි කතා කරන්නෙ දුක නැති කිරීම ගැන, නැත්නම් තණ්හාව නැති කිරීම ගැන. එතකොට අපිට පුරුදු කරන්න වෙන්නෙ අත්හැරීම නැත්නම් නොඇලීම මිසක් අල්ලා ගැනීම නැත්නම් ඇලීම නෙමෙයි. බුදු හාමුදුරුවෝ දේශනා කරන්නේ දුක නැති තැනයි සතුට තියෙන්නෙ කියලා. එහෙනම් ආදරේ වුනත් සතුට තියෙන්නෙ අත්හැරීම එක්ක බැඳිලා තියෙනවා නම් විතරයි.
අත්හැරීම කියන්නෙ තමුන් කේන්ද්‍ර කර ගත් දෙයක් නෙමෙයි, අනුන් කේන්ද්‍ර කර ගත් දෙයක්. එතකොට පැහැදිලි වේවි අර අපි කලින් කිව්ව දුක ආදරේට ඇතුල් කලාට ඒක ආදරේ නෙමෙයි කියලා. ඒක අල්ලා ගැනීම. බුදු දහමෙදි දුකට හේතුව නැත්නම් තණ්හාව හේතු කරන් සිදු වෙන දෙයක් තමයි මේ අපි ආදරේ කියන්නෙ.
අනෙක් අතට හිතන්න, අපි ආදරේ කරන කෙනාට එයාට ඕනා විදියට ඉන්න දෙන ගමන් එයා අපි වෙනුවෙන් කරන දේවල් ගැන සතුටු වෙන ගමන්, ඒ දේවල් ගැන නොහිතා එයාගේ දියුණුව සතුට ගැන හිතලා ඒ කෙනා වෙනුවෙන් එයාගේ යහපත වෙනුවෙන් ඇති කර ගන්න හැඟීම් මුල් කරගෙන කරන දේවල් ගැන. ඒ දේවල් අත්හැරීම මිසක් අල්ලා ගැනීම නෙමෙයි. එයාට දුකක් නෑ. ආදරේ කරන කෙනා කතා කරන්න පරක්කු වුනාට, නැත්නම් එයා මොකක් හෝ දෙයක් නිසා දුරස් වුනාට නැත්නම් වෙනස් වුනාට එයාට දුකක් නෑ. ඇයි ඒ? එයා පුරුදු කරන්නෙ අත්හැරීම මිසක් අල්ලා ගැනීම නෙමෙයි. සතුට විතරයි. ඒ දේවල් මොනවා වුනත් මෙයා එයා එක්ක ඉන්නවා. ඒකට හේතුව තමයි එයාට ආදරේ කරන කෙනා කරන දේට වඩා වැදගත් වෙන්නෙ තමන් එයාට කරන දේ වීම.
ඉතින් මේ විදියට බැලුවම අපි අද කතා කරන ජනප්‍රිය ආදරේ බුදු දහම එක්ක නම් ගැලපෙන්නෙ නෑ. මොකද බුදු දහමෙ කතා කරන්නෙ අත්හැරීම මිසක් අල්ලා ගැනීම ගැන නොවෙන නිසා.