ශ්‍රී ලංකාව බංකොලොත්භාවයට පත් කළ කණ්ඩායම පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළි විය. රට බංකොළොත් බව සම්බන්ධයෙන් කිසිදු වාද විවාදයක් තිබිය නොහැක. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන රටේ බලකණු තුනම මෙම තත්ත්වය හොඳින්ම දනී.
ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු ඉහළ නිලධාරීන් කණ්ඩායමක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (සභාපති අනුර ප්‍රියදර්ශන යාපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (සභාපති මහාචාර්ය චරිත හේරත්) ඉදිරියේ පිළිවෙලින් මැයි 24 සහ 25 කළ හෙළිදරව්ව අතිශය ආන්දෝලනාත්මකය. බරපතළය. සමස්ත රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ දමා ඇත.
එවකට මුදල් ඇමැතිධූරය දැරූ (2019 නොවැම්බර් -2021 ජුලි) මෑතකදී ඉල්ලා අස්වූ අගමැති මහින්ද රාජපක්ෂ, මහා බැංකුවේ අධිපති ධුරය දැරූ මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් (2019 දෙසැම්බර් – 2021 සැප්තැම්බර්) සහ අජිත් නිවාඩ් කබ්රාල් (2021 සැප්තැම්බර් – 2022 මාර්තු), ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර (2019 දෙසැම්බර් – 2021 දෙසැම්බර්), මුදල් ලේකම් එස්. ආර්. ආටිගල (2019 සැප්තැම්බර් – 2022 අප්‍රේල්) සහ සමස්ත කැබිනට් මණ්ඩලයම අනුගමනය කළ අදූරදර්ශී, වගකීම් විරහිත ක්‍රියාදාමය ශ්‍රී ලංකාව බංකොලොත් කළ බවට නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
මුදල් මණ්ඩලයේ සාමාජික ව්‍යාපාරික සමන්ත කුමාරසිංහද සමස්ත අර්බුදයට වගකිව යුතු බව එම මණ්ඩලයේම සාමාජිකයකු වූ ආචාර්ය රාණි ජයමහ අවධාරණය කර ඇත. ඇයගේ චෝදනාව මුදල් මණ්ඩලයේ සාමාජික ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අනුමත කර ඇත. ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත් කිහිප දෙනකු මහත් අපරාධයක් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් පවසා ඇත. පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හේරත් යෝජනා කර ඇත්තේ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බවයි.
විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් හෝ ප්‍රයෝජනයක් නැත. විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් අවශ්‍ය වන්නේ පොහොට්ටු පක්ෂය තව දුරටත් කල් මැරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් පමණකි. අදාළ පාර්ලිමේන්තු කාරක සභා දෙක තුළ හෙළිදරව් වූ කරුණු කාරණා තවදුරටත් තහවුරු කිරීමට අවශ්‍යතාවයක් නැත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2020 මාර්තු – අප්‍රේල් කාලයේදී පොහොට්ටු ආණ්ඩුවේ ආර්ථිකය මෙහෙයවූ කණ්ඩායමට දුන් බරපතළ අනතුරු ඇඟවීම සම්පූර්ණයෙන්ම නොසලකා කටයුතු කර ඇති බව පාර්ලිමේන්තුවේදී අවධාරණය විය.
එවකට මුදල් ඇමැති සහ ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ක්‍රියා කර ඇති ආකාරය පුදුමාකාරය. සමස්ත ආර්ථිකය කඩා වැටෙන තුරු පොහොට්ටු රජය කර ඇති සෙල්ලම අහස පොලොව නුහුලන මහත් අපරාධයකි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඉදිරියේ ආචාර්ය වීරසිංහ මුදල් අමාත්‍යාංශය පසුගිය වසර 20-30 කාලය තුළ කටයුතු කර ඇති වගකීම් විරහිතභාවය රට බංකොළොත් කිරීමට ඉවහල් වූ ආකාරයද පැහැදිලි කර ඇත.
ආචාර්ය වීරසිංහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඉදිරියේ මුදල් අමාත්‍යාංශය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පාර්ලිමේන්තුව මෙලෙස මාධ්‍යයට ඉදිරිපත් කර ඇත. “පසුගිය කාලය තුළ පිළියෙළ කිරීමේදී ඇස්තමේන්තුගත රාජ්‍ය අදායම සැබෑ තත්ත්වයට එහා ගිය යථාර්ථවාදී නොවන අදායමක් ලෙස ඉදිරිපත් කිරීම නිසා පාර්ලිමේන්තුවද නොමඟ යෑම සිදුවූ බව මහා බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය. මෙම නිසා මෙම ඇස්තමේන්තුගත රාජ්‍ය අදායම මත පදනම්ව අමාත්‍යාංශ ඇතුළු වියදම් සඳහා ඉහළ මුදලක් වෙන් කිරීමත් අවසානයේදී එම වියදම පියවා ගත නොහැකිව ඉහළ අයවැය පරතරයක් ඇති වීමත් ණය උගුලක හිරවීමටත් මෙම තත්ත්වය හේතු වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.”
සමස්ත පාර්ලිමේන්තු ක්‍රමයම අසාර්ථක වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. එම තත්ත්වය විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයද වගකිව යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2020 මාර්තු – අප්‍රේල් කළ අනතුරු ඇඟවීම පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවට භාජනය නොවූයේ ඇයි? පොහොට්ටු කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ සැනින් රුපියල් බිලියන 600 ක් බදු කපා හැරියේය. පාර්ලිමේන්තුවේදී සමස්ත ආර්ථිකයටම හෙනයක් වූ එම මඩු කපාහැරීම එවකට ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දරගේ මැදිහත් වීම කළ බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී චෝදනා එල්ලවිය. නමුත් ජනාධිපති ලේකම්වරයා එලෙස මැදිහත් කමක් කළේ නම්, එයට සමස්ත කැබිනට් මණ්ඩලය යටත් වූවාද? එම බදු සහනය ව්‍යාපාරික ප්‍රජාවට දීම කාගේ අවශ්‍යතාවයක්ද? අද ශ්‍රී ලංකාව පත්වී ඇති ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයට සමස්ත කැබිනට් මණ්ඩලයම වගකිව යුතු නොවේද ?
පොහොට්ටු ආණ්ඩුව කොපමණ හොඳට කරලාද කිවහොත් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් මානූෂීය ආධාර ලබා ගන්නා තත්ත්වයට රට පත්කර ඇත. ලැජ්ජාවක් තිබෙන එකෙකු පොහොට්ටු පක්ෂයෙන් නැවතත් මහා මැතිවරණයකට තබා පුංචි ඡන්දයකටවත් ඉදිරිපත් වන්නේ නැත. තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ඉදිරියේ ශ්‍රී ලංකාව දණගැස්සවූ බව අවධාරණය කළ යුතුමය. එදා ත්‍රස්තවාදය වැපුරවූ තමිල්නාඩුව අද ශ්‍රී ලංකාවේ පිහිටට ඉදිරිපත් වී ඇත. ශ්‍රී ලංකාව තමිල්නාඩුවට ස්තුතිවන්ත විය යුතුය. නමුත් ශ්‍රී ලංකාව එම අවාසනාවන්ත තත්ත්වයට පත් කළ එකෙකුටවත් සමාව දිය යුතු නැත. ලැජ්ජාවක් තිබෙන එකෙකු නැවතත් පොහොට්ටු පක්ෂයෙන් ඡන්දය ඉල්ලාගෙන ජනතාව ඉදිරියට එන්නේ නැත. දවසෙන් වැඩි කාලයක් නොයෙකුත් පෝළිම්වල ගත කරන එකෙකුවත් වර්තමාන පාර්ලිමේන්තුවේ ඉන්නා බොහෝ මහජන නියෝජිතයන්ට ඡන්දය දෙන්නේ නැත.