ආර්ථික ඝාතකයෝ!

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර


    ශ්‍රී ලංකාව බංකොලොත්භාවයට පත් කළ කණ්ඩායම පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළි විය. රට බංකොළොත් බව සම්බන්ධයෙන් කිසිදු වාද විවාදයක් තිබිය නොහැක. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන රටේ බලකණු තුනම මෙම තත්ත්වය හොඳින්ම දනී.

    ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු ඉහළ නිලධාරීන් කණ්ඩායමක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (සභාපති අනුර ප්‍රියදර්ශන යාපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (සභාපති මහාචාර්ය චරිත හේරත්) ඉදිරියේ පිළිවෙලින් මැයි 24 සහ 25 කළ හෙළිදරව්ව අතිශය ආන්දෝලනාත්මකය. බරපතළය. සමස්ත රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ දමා ඇත.

    එවකට මුදල් ඇමැතිධූරය දැරූ (2019 නොවැම්බර් -2021 ජුලි) මෑතකදී ඉල්ලා අස්වූ අගමැති මහින්ද රාජපක්ෂ, මහා බැංකුවේ අධිපති ධුරය දැරූ මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් (2019 දෙසැම්බර් – 2021 සැප්තැම්බර්) සහ අජිත් නිවාඩ් කබ්රාල් (2021 සැප්තැම්බර් – 2022 මාර්තු), ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර (2019 දෙසැම්බර් – 2021 දෙසැම්බර්), මුදල් ලේකම් එස්. ආර්. ආටිගල (2019 සැප්තැම්බර් – 2022 අප්‍රේල්) සහ සමස්ත කැබිනට් මණ්ඩලයම අනුගමනය කළ අදූරදර්ශී, වගකීම් විරහිත ක්‍රියාදාමය ශ්‍රී ලංකාව බංකොලොත් කළ බවට නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

    මුදල් මණ්ඩලයේ සාමාජික ව්‍යාපාරික සමන්ත කුමාරසිංහද සමස්ත අර්බුදයට වගකිව යුතු බව එම මණ්ඩලයේම සාමාජිකයකු වූ ආචාර්ය රාණි ජයමහ අවධාරණය කර ඇත. ඇයගේ චෝදනාව මුදල් මණ්ඩලයේ සාමාජික ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අනුමත කර ඇත. ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත් කිහිප දෙනකු මහත් අපරාධයක් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් පවසා ඇත. පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හේරත් යෝජනා කර ඇත්තේ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බවයි.

    විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් හෝ ප්‍රයෝජනයක් නැත. විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් අවශ්‍ය වන්නේ පොහොට්ටු පක්ෂය තව දුරටත් කල් මැරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් පමණකි. අදාළ පාර්ලිමේන්තු කාරක සභා දෙක තුළ හෙළිදරව් වූ කරුණු කාරණා තවදුරටත් තහවුරු කිරීමට අවශ්‍යතාවයක් නැත.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2020 මාර්තු – අප්‍රේල් කාලයේදී පොහොට්ටු ආණ්ඩුවේ ආර්ථිකය මෙහෙයවූ කණ්ඩායමට දුන් බරපතළ අනතුරු ඇඟවීම සම්පූර්ණයෙන්ම නොසලකා කටයුතු කර ඇති බව පාර්ලිමේන්තුවේදී අවධාරණය විය.

    එවකට මුදල් ඇමැති සහ ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ක්‍රියා කර ඇති ආකාරය පුදුමාකාරය. සමස්ත ආර්ථිකය කඩා වැටෙන තුරු පොහොට්ටු රජය කර ඇති සෙල්ලම අහස පොලොව නුහුලන මහත් අපරාධයකි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඉදිරියේ ආචාර්ය වීරසිංහ මුදල් අමාත්‍යාංශය පසුගිය වසර 20-30 කාලය තුළ කටයුතු කර ඇති වගකීම් විරහිතභාවය රට බංකොළොත් කිරීමට ඉවහල් වූ ආකාරයද පැහැදිලි කර ඇත.

    ආචාර්ය වීරසිංහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඉදිරියේ මුදල් අමාත්‍යාංශය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පාර්ලිමේන්තුව මෙලෙස මාධ්‍යයට ඉදිරිපත් කර ඇත. “පසුගිය කාලය තුළ පිළියෙළ කිරීමේදී ඇස්තමේන්තුගත රාජ්‍ය අදායම සැබෑ තත්ත්වයට එහා ගිය යථාර්ථවාදී නොවන අදායමක් ලෙස ඉදිරිපත් කිරීම නිසා පාර්ලිමේන්තුවද නොමඟ යෑම සිදුවූ බව මහා බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය. මෙම නිසා මෙම ඇස්තමේන්තුගත රාජ්‍ය අදායම මත පදනම්ව අමාත්‍යාංශ ඇතුළු වියදම් සඳහා ඉහළ මුදලක් වෙන් කිරීමත් අවසානයේදී එම වියදම පියවා ගත නොහැකිව ඉහළ අයවැය පරතරයක් ඇති වීමත් ණය උගුලක හිරවීමටත් මෙම තත්ත්වය හේතු වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.”

    සමස්ත පාර්ලිමේන්තු ක්‍රමයම අසාර්ථක වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. එම තත්ත්වය විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයද වගකිව යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2020 මාර්තු – අප්‍රේල් කළ අනතුරු ඇඟවීම පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවට භාජනය නොවූයේ ඇයි? පොහොට්ටු කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ සැනින් රුපියල් බිලියන 600 ක් බදු කපා හැරියේය. පාර්ලිමේන්තුවේදී සමස්ත ආර්ථිකයටම හෙනයක් වූ එම මඩු කපාහැරීම එවකට ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දරගේ මැදිහත් වීම කළ බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී චෝදනා එල්ලවිය. නමුත් ජනාධිපති ලේකම්වරයා එලෙස මැදිහත් කමක් කළේ නම්, එයට සමස්ත කැබිනට් මණ්ඩලය යටත් වූවාද? එම බදු සහනය ව්‍යාපාරික ප්‍රජාවට දීම කාගේ අවශ්‍යතාවයක්ද? අද ශ්‍රී ලංකාව පත්වී ඇති ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයට සමස්ත කැබිනට් මණ්ඩලයම වගකිව යුතු නොවේද ?

    පොහොට්ටු ආණ්ඩුව කොපමණ හොඳට කරලාද කිවහොත් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් මානූෂීය ආධාර ලබා ගන්නා තත්ත්වයට රට පත්කර ඇත. ලැජ්ජාවක් තිබෙන එකෙකු පොහොට්ටු පක්ෂයෙන් නැවතත් මහා මැතිවරණයකට තබා පුංචි ඡන්දයකටවත් ඉදිරිපත් වන්නේ නැත. තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ඉදිරියේ ශ්‍රී ලංකාව දණගැස්සවූ බව අවධාරණය කළ යුතුමය. එදා ත්‍රස්තවාදය වැපුරවූ තමිල්නාඩුව අද ශ්‍රී ලංකාවේ පිහිටට ඉදිරිපත් වී ඇත. ශ්‍රී ලංකාව තමිල්නාඩුවට ස්තුතිවන්ත විය යුතුය. නමුත් ශ්‍රී ලංකාව එම අවාසනාවන්ත තත්ත්වයට පත් කළ එකෙකුටවත් සමාව දිය යුතු නැත. ලැජ්ජාවක් තිබෙන එකෙකු නැවතත් පොහොට්ටු පක්ෂයෙන් ඡන්දය ඉල්ලාගෙන ජනතාව ඉදිරියට එන්නේ නැත. දවසෙන් වැඩි කාලයක් නොයෙකුත් පෝළිම්වල ගත කරන එකෙකුවත් වර්තමාන පාර්ලිමේන්තුවේ ඉන්නා බොහෝ මහජන නියෝජිතයන්ට ඡන්දය දෙන්නේ නැත.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 ම ප්‍රතික්ෂේප කරන බොහෝ ඡන්දදායකයන් පාර්ලිමේන්තුව කරන විනාශය තේරුම් ගෙන නොමැත. පාර්ලිමේන්තු ක්‍රමය නිසියාකාරව ක්‍රියාත්මක කිසිදු රටක ආර්ථිකය බංකොළොත් වනතුරු ආණ්ඩුව පිස්සු කෙළින්නේ නැත. රට බංකොළොත් නොවන්නට ජනතාව පාරට බහින්නේ නැත. ‘ගෝඨා ගෝ ගම’ හෝ ‘මයිනා ගෝ ගම’ මෙහෙයුමේ සාර්ථකත්වය විමසා බැලිය යුතු වන්නේ පොහොට්ටුව රට බංකොළොත් කිරීම හේතුවෙන් රටේ පෝළිම් යුගයක් නිර්මාණය වීම තුළය. ප්‍රජාත්‍රන්තවාදය ඉල්ලා ජනතාව රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව පාරට අවේ නැත. ආණ්ඩුවට රුපියල් නැත, රටට ඩොලර් නැති තත්ත්වයක් යටතේ පිට රටින් ආනයනය කරන සියලුම ද්‍රව්‍ය හිඟ වීම තුළ ජනතාව ප්‍රකෝපකාරී විය.

    ගැස්, භූමිතෙල්, පෙට්‍රල්, ඩීසල්, කිරි පිටි, සහල්, එළවළු, මිරිස් වෙළෙඳපොලේ හිඟ වීම පොහොට්ටු ආණ්ඩුව පොරොන්දු වූ සෞභාග්‍යයේ දැක්මේ කොටසක් විය නොහැක.

    බොහෝ අත්‍යවශ්‍ය බෙහෙත් සහ වෛද්‍ය උපකරණ හිඟවීම සහ ආණ්ඩුව ජාත්‍යන්තරයෙන් බෙහෙත් හිඟමනේ යෑම සම්බන්ධයෙන් ආර්ථිකය මෙහෙයවූ කණ්ඩායම සමස්ත ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිය යුතුය. ද්‍රවිඩ ත්‍රස්තවාදයටවත් පොහොට්ටු ආණ්ඩුව කළ විනාශය කිරීමට නොහැකි විය. ශ්‍රී ලංකාව නැත්තටම නැතිකළ පසුව පොහොට්ටුවේ යම් කොටසක් වියරු වැටුන බව අද ආණ්ඩුවට මතක නැත. අරලියගහ මන්දිරය වියරුවෙන් ක්‍රියාත්මක කළ එම මෙහෙයුම සමස්ත රටම උඩු යටිකුරු කර ඇත. නීතියක් නැත. නොයෙකුත් කණ්ඩායම් තමන්ට අවශ්‍ය පරිදි ක්‍රියා කරන තත්ත්වයක් උදා වී ඇත. පොහොට්ටු පක්ෂය ශ්‍රී ලංකාව නැත්තටම නැති කර ඇත.

    යහපාලන සමයේදී ක්‍රියාත්මක කළ බැඳුම්කර මගඩියට චෝදනාවට ලක්වූ එවකට අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ වර්තමාන පොහොට්ටු ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා මෙන්ම මුදල් ඇමැති ලෙස පත්වීම අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන විකෘතියක් බව නොවේද? බැඳුම්කර මගඩියට සම්බන්ධ සියලුම දෙනාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට අවසන් ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී පොරොන්දු වූ පොහොට්ටු පක්ෂයට තනි මන්ත්‍රී ආසනයක් හිමි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස මෙන්ම තම පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා ලෙස පිලිගැනීමට සිදු වීම ඉතාමත් ව්‍යාකූල තත්ත්වයක් බව අවධාරණය කළ යුතුය. එවැනි තත්ත්වයක් යටතේ ආර්ථිකය ස්ථාවර කළ හැකිද?

    හිටපු මුදල් ඇමැති (සති කීපයකට පමණක්) ජනාධිපති නීතිඥ අලි සබ්රි මෑතකදී ආර්ථිකය බංකොළොත් කළ පුද්ගලයන් ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශකයන්, එවකට මහා බැංකුවේ අධිපතිවරුන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් නම් කළේය.

    සබ්රිගේ ප්‍රකාශය වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගියදා අනුමත කළේය. ඒ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඉදිරියේදීය. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ඔහු මුදල් අමාත්‍යාංශය කාලයක් තිස්සේ ක්‍රියාකරන වගකීම් විරහිත මෙන්ම වංචනික ආකාරයද හෙළි කළේය. ජනතාවට ඇත්ත තත්ත්වය පහදා දීමේ නිසි ගෞරවය ඔවුන්ට හිමි විය යුතුය. නමුත් ඔවුන් දෙදෙනාද රට බංකොළොත් වනතුරුම නිශ්ශබ්දව සිටීම පිළිබඳව වගකිව යුතුය. ඔවුන් ලැජ්ජා විය යුතුය. ජනතාවගෙන් සමාව ගත යුතුය.

    ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

    https://divaina.lk/ආර්ථික-ඝාතකයෝ/