ඇඩ්වෙන්චර් ඔෆ් ද බේකර් හෝම් කිචන් සින්හල &#352

priyankaH

Member
Mar 1, 2016
791
70
0
ඇඩ්වෙන්චර් ඔෆ් ද බේකර් හෝම් කිචන් සින්හල &#352

ඇඩ්වෙන්චර් ඔෆ් ද බේකර් හෝම් කිචන් සින්හල වර්ශන්, from the web by චාන්‍යාවි

ඒක මහා මූසල හවසක් උදේ ඉදන්ම බිත්තිය පුරා බඩ ගාලා හති වැටිච්ච හූනෙක් "චික් "චික්හ් " චික් හ් ". ගානවා තෝරතෝන්චියක් නැතුව... රතු පාට විල්ලුද කවරයක් දාපු හාන්සි පුටුවෙ දිගැදිලා උන්නු හෝම්ස් තිරේ ඈත් කරලා තිබ්බු ජනෙල් කණ්ඩියෙන් හිමීට ඔලුව දාලා බේකර් විදියට එහායින් ඈතින් පේන යූස්ටන් පාර දිහා බැලුවා තමුන් හම්බෙන්න ඉස්සර වගෙ වෙස්මිනිස්ටර් ඇබේ වල හරි සෙනෙට් මන්ඩලේ හරි ඇමතිතුමෙක් එයි කියලා බලාපොරොත්තුවක් දැන් නැතත් අඩුම ගානේ ටැෆික් පොලිසීයෙ හරි කාලතුවක්කු රෙජිමේන්තුවෙ හරි හිටපු නාකී අබ්බගාත හමුදාකාරයෙක් වත් නො ඒවීය කියලා ඒ හිතෙ හීනියට බලාපොරොත්තුවක් නොතිබ්බම කියලා හූල්ලපු හීල්ලීලෙන් නොතේරෙන්න තරමෙ අමන හිතක් නෙමේ වොට්සන්ට තිබ්බෙ...
හෝම්ස් පුටුවෙන් නැඟිටලා ජනේලෙ ගාවට ගියෙ අඩියට දෙකට හරියට නිකම් බොම්බයි මොටයි කාරයා පාරේ යනවද කියලා බලන්න නාහෙට නාහන පොඩි එකෙක් ජනෙලෙන් එලියට මුලු සරුවාංගෙම දාන් බලනවා වගෙ හෝම්ස් ජනෙලේ එල්ලිලා බලාන ඉද්දි වොට්සන්ගෙ පපුව වාවන්නෙ නෑ ඉකි ගහ ගහ අඩන්න හිතෙනවා...
ඉස්සර වගෙ නෙමෙයි දැන් ,අන්තිමට ග්ලාස්ගෝ වල තානාපතිතුමා හෝම්ස් හම්බෙන්න ඇවිත් ඉස්සරහා තියෙන සැප කවිච්චියෙ කකුලක් පිට කකුලක් දාලා වාඩි වෙලා පැයක් හමාරක් කියෝ කියෝ ඉදලා හඩ්සන් නෝනා රීදී පාට බන්දේසියෙ තියලා දංකොටුව පෝසීලේන් අඩු කෝප්පෙට වක්කරලා දීපු තිත්ත කෝපි එකෙන් උගුරු තුනක්ම කට පිච්චි පිච්චි එක හුස්මට බීලා ගිහිනුත් දැන් දෑ අවුරුද්දකටත් වැඩියි මයෙ හිතෙ...අද වගෙ මුස්පේන්තු වැහි දවසක තිත්ත කෝපී මග් එකක්ම හදාන හඩ්සන් නෝනා කාමරේ දොර ගාව හිටන් දොරට තඩි බාන සද්දෙ අහන්න වොට්සන්ගෙ වගේම හෝම්ස්ගෙ කන් දෙකත් පින් කරලා නැතුව වත් ද??
ජනේලෙන් එලියට ඔලුව දාන් උන්නු හෝම්ස්ගෙ හිත එහෙ මෙහෙ දුවනවා ... "
"දූරං ගමං ඒක චරං අසරීරං ගුහාසයං "
හෝම්ස්ට බුදු හාමුදුරුවෝ හිත ගැන කියපු ගාථාවක් මතක් උනා... ඇත්ත තමයි ... උන්නාන්සෙ කීවේ... ගිය මාසේ කන්නවත් අතේ සතේ නැතුව ඉද්දි ලෝන් එකක් ඉල්ල ගන්න කියලා මොරියාටිව හම්බෙන්න ගිය වෙලෙ මිනිහ තමුන්ට කතා කරපු විදිය ගැන හෝම්ස් පුදුම උනා... ඉල්ලුවෙ රුපියල් 3000 යි මිනිහා හෝම්ස්ගෙ අතේ 3000 ට 3500 ක් ම තිබ්බා බස් එකෙ යන්න කියලා රුපියල් 20 ක් වෙනමත් දුන්නා.... හෝම්ස්ට එක මොහොතකට හිතුනෙ තමන්ගෙ එක බඩ වැල කඩන් ආවා වගෙ ඉන්න වොට්සන්වත් ඒ වගෙ උදව්වක් කරන්නෙ නෑ නේද කියලා?? දුවගෙන ගිහින් මොරියාටිව බදාගෙන ඒ බාගෙට කපපු රැවුල් කොට ඇනෙන කම්මුලක් තදින් සිපගන්න හිතෙන තරමටම හෝම්ස්ගෙ හිත මොරියාටි ගැන ආදරේකින් මෝදු වෙලා තිබ්බෙ.....
ඒ පාර බේකර් වීදියෙ එහා කෙලවරින් හමාගෙන ආපු හීතල හුළගක් හෝම්ස්ගෙ කොපුලක හුරතලේට තැවරුනා.
"වැස්ස පායන පාටක් නෑ වගේ නේද හෝම්ස්""???
ඒ කටහඩ ඇහුනෙ මෙච්චර වෙලා සෝපාවෙ පස්ස උඩ දාන් ගෙම්බා පොලේ ගැහුවා වගෙ නිදාන හිටපු වොට්සන්ගෙන් නේද?? ජනේලෙ ගාව හිටපු හෝම්ස් අනික් පැත්ත හැරිලා වොට්සන් දිහා පපුව කඩගෙන කනීනිකාව හිල් වෙලා යන තරමෙ බැල්මක් බැලුවා... ම්ම්ම්ම්ම්හ්හ්හ් ... වොට්සන්ගෙ මූණ නිකම් උදේ ඉදන් හවස් වෙනකම් හන්දියෙ බේකරියෙ සෝ කේස් එහෙක වේලී වේලී තිබ්බ කිබුලා බනිස් එකක් වගෙ මැලවිලා.... හඩ්සන් නෝනා ඊයේ නස්පුට් වෙන්න ගහලා ආපු වොට්සන්ගෙ ඔලුවෙ දෙහි බෑයක් අතුල්ලනවා හෝම්ස් උන්නෙ හොරෙන් වගෙ බලාගෙන ... වෙරිමරගාතේ වොට්සන් අනික් දෙහි බෑය අරන් සූප්පු කරන්න හදනකොට හඩ්සන් නෝනා වොට්සන්ව තල්ලු කරේ "
" හෙට උදේ සම්බෝලෙට දාන්න ගේ හරියෙ තියෙන්නෙ ඔච්චරයි මිනිහො පලයන් අහකට" කියලා...

කොයි තරම් බැන්නත් මේ රත්තරන් ගෑනි තමුන්ලා දෙන්නට බඩේ බොක්කෙ තියෙන දේ හරි කන්න දෙනවා නේද කියලා හිතනකොට හෝම්ස්ගෙ පපුව වාවන්නෙ නෑ...අද උදේ කර කරපු උනු උනු රෝස් පාන් එක්ක වේලිච්ච රතුපාට මිරිස් කෑලි උඩ පාවෙන පරිප්පු හොද්ද කනකොට හඩ්සන් නෝනා බිත්තරයක් බාගෙට බොයිල් කරලා හෝම්ස් ආසම විදියට ලුනු ගම්බිරිස් ඇති පදමට ඉහලා මේසේ උඩින් ගෙනත් තියෙනකොට ඒ මුනේ තිබ්බ බැල්ම ..... 😍 අනෙ දෙයියනෙ රෝස් පාන් තුනක් කන්න උනෙ නෑ මෙන්න ආයි ඇවිත් පෙරෙදා හදලා අයිස් පෙට්ටියෙ දාලා තිබ්බ බිලිං අච්චාරුවකුත් ගෙනත් මේසෙන් තිබ්බා... දුබුරු පාට බිලිං අච්චෑරුව උඩින් කොල පාට පාර්ස්ලි ඉත්තක් ගහලා.... හෙන කෝලම් ඉතින් මේකිගෙත්... ගේ හරියෙ ප්ලෙන්ටියක් බොන්න සීනි ඇටයක් නැති උනත් කොයි ගෑනිගෙත් සුකුරුත්තන් වල නම් අඩුවක් නෑ..හෝම්ස්ට හිතුනෙ එහම..
සුවර් එකටම වොට්සන් ඊයේ බීලා තියෙන්නෙ ලෙනාඩ්ගෙ හොර තැබෑරුමෙන්.... හෝම්ස් තමන්ටම කියා ගත්තා... එයා එහෙම හිතුවෙ වොට්සන් බීපු කසිප්පු වලින් ආපු ආමන්ඩ් සුවද නිසාමත් නෙමෙයි මිනිහාගෙ ඩී එස් අයි සපත්තුවෙ යටි පතුල හරියෙ තැවරිලා තිබුන කලු පාට තාර කැටි වලින් තමයි හෝම්ස් එහෙම හිතා ගත්තෙ... ලෙනාඩ්ගෙ ගේ ගාවින් පෙරේදා හෝම්ස් පයින් යනකොට පාර වහලා ආර් ඩී එකෙන් පාරට තාර දා දා උන්නෙ... යුස්ටන් පාරේවත් මැරිල්බොන් පාරේවත් කොහෙවත් ලගකදි තාර දැම්මෙ නෑ හෝම්ස්ගෙ මතකය හරි නම්.....
හෝම්ස් වොට්සන්ට උත්තර දෙන්න ගියේ නෑ.. ආයිමත් බරට හුස්මක් අරන් ජනේලෙ දිහාවට හැරුනා.. වොට්සන් හෝම්ස්ට ඊට වඩා කරදර කලෙත් නෑ.. කොල්ලා ඉන්නෙ මේ වෙලාවෙ දුකින් කියලා වොට්සන් දන්නවා.. හෝම්ස් ඔලුව ආයි දා ගත්තා එලියට..එස්ලෝන් පීල්ල දිගෙ බිමට වැටෙන වතුර පාර සීරුවට ගලාගෙන ගිහින් මහා ජලාසයක් වගෙ එකතු වෙනවා බලන්න ලස්සනයි... ගල් කැටයක් තිබ්බා නම් ජබොස් ගාලා වතුරට ගහන්න තිබ්බා... හෝම්ස්ට එක පාරම මතක් උනා දෙක වසරේ සින්හල පොතෙ කවියක්...
කොලයක් ගනිමු
ඔරුවක් හදමු
පාවී පාවී යනවා බලමු
පාවී පාවී ඒ ඔරු යනවා
පාවී පාවී ඈතට යනවා
කොල්ලාගෙ හිතට පොඩි අදහසක් ආවා... ජනේලෙ ලගම තිබ්බෙ පොත් රාක්ක පේලියක්.. හෝම්ස්ගෙ ස්ක්‍රැප් පොත් ඔක්කොම ආකරාදි පිලිවෙලට තියලා තිබ්බෙ ඒකේ... හෝම්ස් ගියා රාක්කෙ ගාවට දෙවෙනි පේලියෙ කෙලවරේම තිබ්බෙ විටේකර්ගෙ කෝශ ග්‍රන්ථය... මිනිහා පොත අතට ගත්තෙ කොලයක් කඩාගන්න හිතන්... මොන.... කවරේ විතරයි... එක කොලයක්වත් නෑ... කලින් කඩලා. හෝම්ස්ගෙ ඇස් දෙක දිලිසුනා මොහොතකට.... ආයිම තුන් වෙනි රාක්කෙ 34 වෙනියට තියලා තිබ්බ බ්රැඩ්ශෝගේ දුමිරිය කාල සටහන් පොත අතට අරන් පෙරලලා බැලුවා... ඒකෙත් මහ ගොඩක් කොල ඉතුරු වෙලා තිබ්බෙ නෑහ් ... මැද පිටුවෙන් කොල දෙකක් කඩා ගත්ත හෝම්ස් ගිනි උදුන් පඩිය උඩ වාඩි වෙලා වහලෙ තියෙන බෝට්ටු දෙකකුයි නිකම් බෝට්ටු දෙකකුයි හදාගෙන පඩි පෙල බැහැන් පහලට ගියේ වරකට පඩි 2 ගානෙ ඇර ඇර අඩිය තිය තියා කියලා සෝෆාවෙ නිදාන උන්නු වොට්සන් හිතින් ගාන හදලා තේරුම් ගත්තා.., මේවා දැන් වොට්සන්ට සුලු දේවල් ... පඩි පේලියෙ පඩි 17 ක් තිබ්බා හෝම්ස්ගෙ අඩි සද්දෙ ඇහුනෙ අට පාරයි... "
"මේ නාකි මිනිහා තාම හිතන් ඉන්නෙ කොල්ලා කියලා"
වොට්සන් තමාටම කියා ගත්තා.. කොන්දෙ අමාරුවට සන්දි සුදා එකක් ඕඩර් කරන්න කෝල් එක දුන්නෙත් තමන්ගෙ ෆෝන් එක ඉල්ලන්... රී ලෝඩ් එකක් දාන්න දෙන්නම් කියපු රුපියල් 49 ත් තාම දුන් නෑ ඒත් වොට්සන්ගෙ හිතෙ අහිතක් නෑ. මිනිහට දුක තියෙන්නෙ පඩි දෙක ගානෙ පැන පැන යන්න ගිහින් හෝම්ස් ආයිම කොන්ද කඩාගනීවී කියලයි... එක බඩ වැල කඩාන ආවෙ නැතත් සහෝදරකම කියන්නෙ ඒකට නේද??? වොට්සන් ඇහුවෙ තමුන්ගෙම යටි හිතෙන්....
කඩදාසි බෝට්ටු අරින්න මිදුලට බැහපු හෝම්ස්ගෙ මූණට දාඩිය දාන්න උනෙ මිදුලට වෙලා තියෙන විනාසෙ දැකලා.. සති ගානක් එක දිගට වැහපු වැස්සට හෝම්ස් යවපු කඩදාසි ඔරු දහස් ගානක් මිදුල පුරා තෙත බරියන් වෙලා නස්ටාවසේස වෙලා... එකම කුනු ගොඩක්.. ඉසදෝරා පර්සානෝ අබිරහසෙදි ගැඩවිල්ලු හොයන්න මිදුලෙ ඌරු මියෝ හාරනවා තරම් තඩි වලවල් හාරපු වෙලේවත් හඩ්සන් නෝනා කටවහන් උන්නට මිදුල මෙහෙම හැඩි කරලා තියෙනවා දැක්කොත් නම් ගෑනි ඉවසන එකක් නෑ... පපුව පැලිලා මැරෙයි..ගෝම පෝර එක්ක පොල් මුඩු දාලා නිල් කැට පෝර දාලා සාරේට වැවිලා තිබ්බ මෙරුන් පාට ඇන්තූරියම් ගස් දෙක තුනත් කනාටු වෙලා ගිහින් ... ඒකට හේතුව හෝම්ස් උඩ ඉදන් හැමදාම තියෙන කම්මැලි කමට මල්පෝච්චි තියෙන දිහාට....... නෑ එක්කො ඒක ඕන නෑ...
ගෑනුන්ට පේන්න බැරි දේවල් කරන්න හෝම්ස් කවදාවත් කැමති නෑ ... ආයිම හැරිලා ගිහින් විසිත්තකාමරෙ පුටුව උඩට වැටිච්ච හෝම්ස්, පුටුව ලග තිබිච්ච පර්සියන් සපත්තුව අස්සට අත දැම්මා... මේස් එක හොයන්න නෙම සපත්තුව අස්සෙ හන්ගලා තිබ්බ අලියා මාක් එක තියෙන රුපියල් පහෙ සුරුට්ටු මිටිය හොයන්න. සුරුට්ටු අලු 140 ගානක් ගැන හෝම්ස් කරලා තියෙන පරික්සන ලියපු පොත් පිංචකුත් ලගක් වෙනකම් යහතින් තිබ්බා පොත් රාක්කෙ 3 වෙනි තට්ටුවෙ.. ඒත් දවසක් ලිප පත්තු කරගන්න කොල කෑල්ලක් හොයන් හෝම්ස්ගෙ කාමරේට ආපු හඩ්සන් නෝනාගෙ අතට අහු උනෙ මේ පොත.. නෝනා මේක අරන් ගිහින් පුච්චලා ලිප පත්තු කරා... එදා බූමිතෙල් තිබ්බෙත් නෑ... හුස් ගාලා පොතම අලු වෙලා ගියා... ඒත් පොත හොයපු හෝම්ස්ට සුරුට්ටු අලු අදුරගන්නවා වගෙ ලේසියෙන් ලිපෙ තියෙන අලු දිහා බලලා පොත අදුර ගන්න බැරි උනා... ඒක දැකපු හඩ්සන් නෝනා නක්කලේට වගෙ හිනාවක් දැම්මා.. ගෑනු කවදත් බලා ඉන්නෙ පිරිමි අපට වැරදෙනකම්මයි.. හෝම්ස් තරහින් හිතුවා...
සුරුට්ටුව උගුරු දෙකට බීගෙන බීගෙන ගිය හෝම්ස්ට ඊ ගාව මොහොතෙ කාක්කෙක් ක්‍රැරව් කරන සද්දෙ ඇහුනා...
" අද නම් කවුරුම හරි එනවා වොට්සන්""
" ඔයා කොහොමද ඒක හරියටම කියන්නෙ ??"
වොට්සන් ඇහුවෙ ඇස් දෙක නළලෙ තියාගෙන වගෙ පුදුමයකින්... 😳
මේ මිනිහට හැම එකම විසඳන හැටි කීවම හැමදාම කියන්නෙ "
"අපෝ ඕකද?? ඕක නම් මටත් කීව හැකි "කියලා .. කියන්න හොද නෑ කිසි දෙයක්... හෝම්ස් හිතුවා... කාක්කා තාම කෑ ගහනවා මිදුල කෙලවරේ වැල් දොඩම් ගහේ එල්ලිලා ඉදන්... වැල් දොඩම් වලට හෝම්ස්ලගෙ අම්මලාගෙ ගම් පලාතෙ උන් කීවේ පැශන් කියලා... හොදට ඉදුන ෆැශන් ගෙඩියක් දෙකට කපලා මැදට සීනි ටිකක් ඉහාගෙන කනකොට මාර රහයි... කොල්ලත් පොඩි කාලෙ එහම කාලා තියෙනවා... පැශන් කොල ටිකකට මයියොක්කා කොල ටිකකුත් එකතු කරලා කලවම් මැල්ලුමක් හදලා ගත්තා නම් පංකාදු පහයි.. හීනටි හාලෙ සම්බා එක තෙත බේරෙන්න ගරලා සුවද ගහන්න උයා ගත්තම බොරට හදපු පොලොස් ඇබුලයි ගොරකා යහමින් දාලා අතේ හදාගත්තු මාලු ඇබුල් තියල් එකයි එක්ක හාල් කිලෝ පහක බත් කෑවකි කියල හෝම්ස් දන්නෙ දකුනෙ මිනිහෙක් වෙච්චි නිසාමද කොහෙද...
ඊ ගාව තප්පරෙ කාමරේට ඔලුව දැම්මෙ හඩ්සන් නෝනා.., හෝම්ස් එක එල්ලෙම නෝනා දිහා බැලුවෙත් එයා හෝම්ස් දිහා බැලුවෙත් එකම තප්පරේදී. කෙල්ල ලැජ්ජාවෙන් රතු උනා ඒ බැල්ම දරා ගන්න බැරුව..
" ඔහොම බලන් එපා මහත්තයො පපුව රිදෙනවා මගෙ"""
එහෙම කීවෙ ඇස් වලින්... කෙල්ලගෙ මූණ හරි සිරියාවයි... උදේ ඉදන් රෑ වෙනකල් බියුටි කචල් ගානෙ නොගියට පොල් ගෙඩිය බින්දම එන වතුර ටිකෙන් මූණ හෝදලා බත් එක කූරූ ගානකොට මූණට වැදෙන හුමාලෙ වැදිලා වැදිලාම ඒ මූණ රත්තරන් පාට වෙලා තිබ්බෙ... ආයි අමුතුවෙන් ෆෙයාර් ඇන් ලව්ලි උලන්න ඕන උනෙ නෑ... හෝම්ස් බලාන උන්නෙ හඩ්සන් නෝනා ඇදන් උන්නු රෝස පාට ශීෆෝන් රෙද්දෙන් මහලා. උරහිස ගාවින් ටිකක් වැඩිපුර කපලා තිබ්බ බ්ලවුස් එක දිහා.. ටවුමට ගිය වෙලාවක පොප්ලින් යාර 4 ක්වත් ගෙනත් කෙල්ලට ෆිනිෆෝ ගවුම් කෑල්ලක් මහලා දෙන් ඕනා. කර කපලා තිබ්බ බ්ලවුස් එක අස්සෙන් පාලුවට ගිය කර පේනවා... චේන් පොටක් දාපු ලකුනක් බෙල්ලෙ තියෙනවා... ඒ මොන අවුරුද්දෙද කියලා හෝම්ස් නිකමට ගනන් හදලා බැලුවා... ම්ම්ම්ම්ම් අන්තිමට චේන් එකක් දාලා තියෙන්නෙ 1867 .. 😔
හෝම්ස්ට ගෑනු පේන්න බෑ කියලා හංවඩු ගහලා ගහලාම හෝම්ස්ට සෙට් වෙන්න ගිය මේරි කෙල්ලවත් වොට්සන් අල්ල ගත්තා. නොකිවට ඒ ගැන හෝම්ස්ගෙ හිතෙ ලොකු තරහක් කාලෙක ඉදන් පැසව පැසව තිබ්බ වොට්සන් ගැන
කවුද කියන්නෙ හොම්ස්ට ගෑනු පේන්න බෑ කියලා?? වොට්සන්ගෙ බොරුනෙ හෝම්ස් තරම් ගෑනුන්ගෙ අග පසග වර්ණනා කරන්න තොටගමුවෙ රාහුල හාමුදුරුවන්ටවත් බෑ... බිකිනි ඇදන් ඉන්න කෙල්ලෙකුට වඩා දිය රෙද්දක් ඇඳන් ඉන්න කෙල්ලෙක් ලග හැබෑම සුන්දරත්වයක් තියෙනවා.. කෙල්ලො ගැන හෝම්ස්ගෙ සරලම ආකල්පය ඒක.... හෝම්ස් ගෑනු ගැන සින්දු කීපෙකුත් ලීවා ... හෙන්රි කල්දේරා කියන,
මා නිවසෙ නැති අතරෙ
කවුරුන් හෝ පැමිණ තිබේ
කවුරුද ආවේ නිවසට
කවුරුද ආවේ???
මේ අපූරු සින්දුවත් කල්දේරාට ලියා දුන්නෙ හෝම්ස්... නිරික්සනය උපකල්පනය... නිගමනය. හරි සරලයි...සිද්දියක් ගොඩ නගාගෙන සිදු විය හැකි සියලුම සිද්දින් අතුරින් ඇත්තටම උන දේ හොයා ගන්න හැටි හෝම්ස් ඔය සින්දුවෙන් ලියලා පෙන්නුවා...
" හැන්දැවැට ඔයා මොනාද කන්න ආස මහත්තයෝ""??
හඩ්සන් නෝනා හීනි හිනාවක් දාලා අහනකොට හෝම්ස්ට ඉන්න බෑ... කොල්ලගෙ පපුවත් එක්කලා දනවා..
ම්ම්ම්ම් මේ වගෙ සීතල රෑක උනු උනුවෙ දුම් දාන කෝපි කෝප්පයක් බොන ගමන් කට දැවිල්ලට ලුණු මිරිසකුත් එක්ක පොල් රොටියකුත් කන්න තියේ නම්.... කොල්ලා හිතුවා විතරයි...
" හෝම්ස් මහත්තය මන් හිතාන ඉන්නෙ පොල් රොටී හදන්න මහත්තය ආසයිනෙ""
කොල්ලට හීල්ලුනා.. දෙයියනෙ හඩ්සන් නෝනා තමන්ගෙ හිත කියෝපු හැටි... මේකද ආදරේ කියන්නෙ???? කෙල්ල දැන් මගෙ හිතත් කියෝනවා 😊😊
හැන්දෑවත් ගෙවිලා ගියා ටිකකට කලින් ඔරලෝසුවෙ 8 කලිසමත් වැදුනා... හෝම්ස්ට තවත් නම් ඉවසන්න බෑ කුස්සියෙ රොටී පුච්චන සුවද නහය කඩාගෙන යනවා.. වොට්සන්ට ඕන කුදයක් ගහගන්න කියලා හෝම්ස් ගියා කුස්සිය පැත්තට... දෙයියනෙ කෙල්ල එක අතකින් නහය පිහ පිහා අනික් අතෙන් දාගෙන අබරනවා මිරිස්... මිරිස් වල සැරටද මන්දා කෙල්ලගෙ මූණ රෝස පාට වෙලා.. ඇස් දෙකෙන් එකයි කදුලු...හෝම්ස්ට බලා ඉන්න බැරි තරම් දුකයි...එතනම තිබ්බ පුටුවක් උඩ හෝම්ස්ට ඉන්දවුනා... ඒ වෙලාවෙ කොල්ලට හිතුනෙ පඩුපුල් ආසනෙ උඩ ඉන්නවා වගෙයි .. ඒ තරමට රස්නෙයි මුලු ඇගම... කකියනවා දුකට... කොල්ලා ගෙ ආත්මීය වේදනාවද මේ දැනෙන්නෙ??? ඒක තමයි ආදරේ .... මේ තරම් රස්නෙට දැනෙන්නෙ ඒ සංසාර ආදරේ...ඒක තමයි හෝම්ස් හොයා ගත්තු ජිවිතේ...
එක පාරටම හඩ්සන් නෝනා ඔලුව හරෝලා හෝම්ස් දිහා බැලුවා....
😱😱😱😱😱
" හත් දෙයියනෙ හෝම්ස් මහත්තයා ඔහේට ඔල්මාදෙද? මන් රොටී පුච්චපු තැටිය උඩ වාඩි වෙලා ඉන්නෙ""??........:😡😡😡
රොටී .... තැහ්ංංංං ටිය හුටා....:::::: ⚰️⚰️⚰️🙈🙈

උපුටා ගන්නා ලද්දේ වෙබ් එකෙන් From web by චාන්‍යාවි
 

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පට්ට කතාව මචන්. හොද හාස්‍ය රසයක් එකතු කරලා තියෙනවා. කිසිම අයුරකින් කතා නායකයන්ට හානියක් වෙලා නෑ..

    :love: :love:
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    පට්ට.

    Sherlock Holmes කතා සුජීව ප්‍රසන්නආරච්චි ලීවොත් මොනවගේ තියේද කියලා කව්රුහරි මේක කලින් දල තිබ්බා වගේ මතකයි.
     
    • Like
    Reactions: Dhanushka.N