ඔක්කොම ඕකට රන්ඩු වෙන අතරෙ , මම මෙන්න මේ ළමා කතාව ලීව
එක්තරා ගමක තිබුණු පැරණි කුස්සියක, ලස්සන පිත්තල හුන්ඩුවක් තිබුණා. ගෙදර අම්මා මේ හුන්ඩුව පාවිච්චි කළේ බත් උයන්න හාල් මනින්නයි. ඒත් මේ හුන්ඩුව ඇතුළේ කවුරුත් නොදන්න රහසක් තිබුණා. ඒ තමයි, මේක ඇතුළේ පුංචි ගුල්ලෙක් ජීවත් වුණා. එයාගේ නම "ටිංටිං". ටිංටිං හිතාගෙන හිටියේ මේ හුන්ඩුව තමයි ලෝකේ තියෙන ලොකුම රට කියලා. ඉතින් දවසක් එයා තීරණය කළා එයා තමයි මේ රටේ නායකයා කියලා.
"මම තමයි හුන්ඩුවේ ජනාධිපති!" ටිංටිං ආඩම්බරයෙන් කෑගහලා කිව්වා.
හුන්ඩුව පතුලේ ඉතිරි වෙන හාල් කුඩු හොයාගෙන පුංචි කූඹියෝ එනවා. ටිංටිං ඒ කූඹින්ට නියෝග දුන්නා. "ඒයි කූඹියෝ, මම තමයි ජනාධිපති. මේක මගේ මාලිගාව. මට මුලින්ම ලොකු හාල් ඇටයක් ගෙනත් දෙනවා. නැත්නම් මෙතනින් යන්න!" පුංචි කූඹිත් මේ සද්දෙට බය වෙලා ටිංටිංට හාල් ඇට ගෙනත් දුන්නා. ටිංටිංට දැන් හරිම සතුටුයි. එයා හිතුවේ මුළු ලෝකයේම බලවතා එයා කියලා. දවසක්, ගෙදර අම්මා ලොකු දානයකට බත් උයන්න ලෑස්ති වුණා. ඇය අලුත් ලොකු හාල් ගෝනියක් කඩලා, පිත්තල හුන්ඩුව අරගෙන ගෝනිය පතුළටම දැම්මා.
"අයියෝ! මොකක්ද මේ වුණේ? මගේ මාලිගාවට භූමිකම්පාවක් ඇවිත්ද?" ටිංටිං බය වෙලා කෑගැහුවා.
හුන්ඩුව හාල්වලින් පිරෙනකොට ටිංටිං හුන්ඩුවෙන් එළියට විසි වෙලා, අර විසාල හාල් ගෝනිය ඇතුළට වැටුණා. හාල් ගෝනිය ඇතුළට ගිය ටිංටිංට තමන්ගේ ඇස් අදහාගන්න බැරි වුණා. එතන ලොකු කඳු වගේ හාල් ගොඩවල් තිබුණා. ඒ වගේම එතන හිටපු අනිත් ගුල්ලෝ, කැරපොත්තෝ සහ මීයන් ටිංටිංට වඩා ගොඩක් ලොකුයි. ටිංටිං බයෙන් බයෙන් කෑගැහුවා, "මට පාර දෙන්න, මම තමයි හුන්ඩුවේ ජනාධිපති!"
ඒත් එතන හිටපු කිසිම කෙනෙක් ටිංටිංව ගණන් ගත්තේ නැහැ. ඒ අයට ටිංටිංව පෙනුණෙවත් නැහැ. "හුන්ඩුවේ ජනාධිපති" කෙනෙක් ගැන ඒ අය අහලවත් තිබුණේ නැහැ. එතකොටයි ටිංටිංට තේරුණේ තමන්ගේ හුන්ඩුව කොච්චර පොඩිද, මේ ලෝකය කොච්චර ලොකුද කියලා.
කොහොමහරි අමාරුවෙන් හාල් ගෝනියෙන් එළියට පැනගත්ත ටිංටිං, ආපහු තමන්ගේ හුන්ඩුවටම ගියා. හැබැයි එදායින් පස්සේ එයා කවදාවත් "මම තමයි ජනාධිපති" කියලා ආඩම්බරෙන් කෑගැහුවේ නැහැ. එයා කූඹි යාළුවෝ එක්ක එකතු වෙලා, ආදරෙන් කතාබහ කරලා සතුටින් හාල් කුඩු බෙදාගෙන කෑවා.
