ජනපතිවරණයේ මෙතෙක් සිදු වූ දේ කෙටියෙන් ...
ඩොනල්ඩ් ට්‍රම්ප් බලාපොරොත්තු වූවාට වඩා ඉදිරියෙන් සිටින අතර, ජෝ බයිඩන් ඉක්මණින් ඡන්ද ගණන් කරන ලද තීරණාත්මක ප්‍රාන්තයන් දිනා ගැනීමට අපොහොසත් වී ඇත. එයින් අදහස් වන්නේ තවත් ප්‍රාන්ත කීපයක ප්‍රතිඵල නිකුත් වන තෙක් තත්වය අවිනිශ්චිත බවය.
ඔවුන්ගේම වචනවලින් ...
"අපි මෙය දිනනවා" යැයි ජෝ බයිඩන් සිය ආධාරකරුවන් අමතමින් පැවසූ අතර ඉවසීමෙන් සිටින ලෙසද ඉල්ලා සිටියේය. රිපබ්ලිකන් පක්ෂය දිනා ඇති අතර, ඡන්ද වංචාවක් සිදුව ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා සිටියි. නමුත් අප දන්නා පරිදි, ඡන්ද තවමත් ගණන් කෙරෙමින් පවතින අතර වංචාවක් පිළිබඳ සාක්ෂි නොමැත.
වසර 120 ක් තුළ ඉහළම ඡන්ද ප්‍රකාශ කිරීමේ අනුපාතය
එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපෘතියේ (US Elections Project) මූලික ඇස්තමේන්තු වලට අනුව ඇමරිකානුවන් මිලියන 160 කට වැඩි පිරිසක් ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර ඇති අතර එය වසර 120 ක් තුළ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව වේ.
ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබුවන්ගෙන් 66.9% ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කිරීම 1900 න් පසු ඉහළම අගය වූ බව අදාළ වෙබ් අඩවියේ දත්ත පෙන්වා දෙයි.
එම වසරේදී රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක විලියම් මැකින්ලි සිය ඩිමොක්‍රටික් ප්‍රතිවාදියා වන විලියම් ජෙනිග්ස් පරාජය කළ අතර, සුදුසුකම් ලැබූවන්ගෙන් 73.7% ක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර තිබිණි.
කෙසේනමුත්, 2020 දී මෙන් නොව 1900 වසරේ දී පැහැදිලි ප්‍රතිඵලයක් ලැබුණි.
"2020 ජනාධිපතිවරණය වසර 120 ක් තුළ වැඩිම ඡන්දය ප්‍රකාශ කිරීමේ අනුපාතය වාර්තා කර තිබෙනවා," යැයි එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපෘතියේ නිර්මාතෘ මහාචාර්ය මයිකල් මැක්ඩොනල්ඩ් බදාදා (නොවැම්බර් 4) ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබිණි.
කොරෝනාවෛරසයෙන් එල්ල වන බලපෑමත් සමග තැපැල් ඡන්ද පත්‍රිකා ඉහළ යාම ගැන මේ වසරේදී මැතිවරණ නිරීක්ෂකයින් අනාවැකි පළ කර තිබිණි. වාර්තාගත ලෙස මිලියන 100 කට අධික ජනතාවක් කලින් සිය ඡන්දය භාවිත කර ඇත.
'ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක ගේ සහය ට්‍රම්ප් ට'
නිව්යෝක් නුවර වෙසෙන මාධ්‍යවේදී පෝද්දල ජයන්ත බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ, තමන් දන්නා හඳුනන සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් සැලකිය යුතු පිරිසක් මෙවර මැතිවරණයේ දී ජනාධිපති ට්‍රම්ප් ට සහය දැක්වූ බවය.
ජනාධිපතිවරයා දැඩි සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන නමුත් ශ්‍රී ලාංකිකයන් ඔහුට සහය දෙන්නේ මන්දැයි තමන්ට නොවැටහෙන බව ද ඔහු පැවසීය.
"මාටින් ලූතර් කිං වගේ නායකයෝ සටන් කරලා ගනිපු ඡන්ද අයිතිය නිසා තමයි කළු ජාතිකයෝ විතරක් නෙවෙයි අපිත් මෙහේ ඉන්නේ, අපිටත් ඡන්ද අයිතිය පවා තියෙන්නේ," පෝද්දල ජයන්ත සඳහන් කළේය.
"එහෙම තියෙද්දිත් සංක්‍රමණිකයන් ට්‍රම්ප් ට සහය දෙන්නේ කොහොමද කියල මට හිතාගන්න බෑ. අනික ඒ බොහෝ දෙනා ලොකු වත්කමක් එහෙම තියෙන අයත් නෙවෙයි."
මහින්ද රාජපක්ෂ පාලනය සමයේ පැහැරගෙන ගොස්, වධ බන්ධනවලට ලක් කෙරුණු පෝද්දල ජයන්ත වර්තමානයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරයි.
ජනපතිවරණයේ ප්‍රතිඵලය කවරක් වනු ඇති දැයි දෙපාර්ශවයම ඉතා උනන්දුවෙන් බලා සිටින බවත් ඔහු පැවසීය.
BBC