නඩු නැත: උසාවි නැත.! ඇවන්ට් ගාඩ් සමාගම සමග තිබූ ගිවිසුම් අහෝසි කර මෙහෙයුම් නාවික හමුදාවට පැවරීමට ජනාධිපති තීන්දු කරයි: රාජපක්ෂලා දයාගමගේ ගේ සහ දේශමාන්‍ය කොතලාවලගේ ව්‍යාපාර පවරා ගත්තේද මෙහෙමයි
(ලංකා ඊ නිව්ස් -2015.නොවැ.11, ප.ව.8.30) ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම හා රජය අතර ගිවිසුම් සියල්ල අහෝසි කර මෙහෙයුම් සියල්ල නාවික හමුදාව යටතට පැවරීමට රජය තීරණය කළ බව ඇමැති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළැයි මාධ්‍ය වාර්තා කර තිබේ.
අද පස්වරු හතරට මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මේ තීරණය ගෙන ඇති අතර ඒ සාකච්ඡාවට පොලිස්පති, නීතිපති, ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන්, නාවික හමුදාපති, රක්නා ලංකා නියෝජිතයන් ඇතුළු නිලධාරීහු ද, රාජිත සේනාරත්න, විජයදාස රාජපක්ෂ සහ මීට කිසිදු සම්බන්ධයක් නැති පාඨලී චම්පික රණවක ද සහභාගී වී ඇතැයි මාධ්‍ය කියති.
ලංකා ඊ නිව්ස් මේ සම්බන්ධයෙන් ඊයේ ප්‍රවෘත්තියක් පළ කරමින් කියා සිටි කාරණා මේ අනුව සත්‍ය වී තිබේ. ලංකා ඊ නිව්ස් ඊයේ කියා සිටියේ අධික ලාභ උපයන ව්‍යාපාරයක් වන ජාත්‍යන්තර මුහුදු ගමනේ යෙදෙන නැව් වලට ආරක්ෂාව දීමේ ව්‍යාපාරය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ හිතවතුන් අතට ගැනීමේ කූඨ ව්‍යාපාරයක් පවතින බවයි. එම හිතවතුන් අතර කිලී මහාරාජාගේ මැරිටයිම් සිකියුරිටි නම් සමාගමක් තිබෙන බවද, ධීවර නැව් 7 ක් හිමි ජනාධිපතිට හිතවත් ඇමැතිවරයෙක් සිටින බවද, අර්ජුන රණතුංග ඇමැතිවරයාද සමාගමක් හදාගෙන සිටින බවද ලංකා ඊ නිව්ස් හෙලිකර සිටියේය.
ලංකා ඊ නිව්ස් කී කාරණා සත්‍ය වන්නේ මන්ද යත් ජනාධිපතිවරයා මෙම පරීක්ෂණ තමා යටතට ගත් බව ඊයේ ප්‍රකාශ කළ අතර එම පරීක්ෂණ වලින් අද තීන්දුව ගැනීමට හේතුවිය යුතු කිසිදු නෛතික කාරණයක් හෙලි වී නොමැති නිසාය. එපමණක් නොව මීට දින 20 කට පෙර වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ යහපාලන රජයද ඇවන්ට් ගාඩ් සමාගම නීත්‍යාණුකූල ව්‍යාපාරයක යෙදෙන බව පවසා ඒ සමග ගිවිසුමක් අත්සන් කර ඇති නිසාය. දින 20 කට පෙර අත්සන් කළ ගිවිසුමක් අහෝසි කිරීමට නම් ඊට හේතු කාරණා විය යුතු අධිකරණ තීන්දුවක් අනුව කටයුතු කළ යුතු වන අතර ජනාධිපතිවරයා හිතුමතයේ රටේ ව්‍යාපාර කටයුතු කෙරෙහි තීන්දු ගන්නේ නම් පෙර සිටි රාජපක්ෂ රෙජීමයද තීන්දු තීරණ ගත්තේ මේ ආකාරයටම ය.
දයා ගමගේ මහතා සතුව තිබූ දිනක පිරිවැටුම කෝටි 35 ක් වූ සෙවනගල සීනි සමාගම රාජපක්ෂ රෙජීමය විසින් පවරා ගෙන තම හෙංචයියන්ට දුන්නේ ද, දේශමාන්‍ය ලලිත් කොතලාවල සිරගත කරමින් ඔහු සතුව තිබූ කෝටි ප්‍රකෝටි ගණනක ව්‍යාපාර රෙජීමයේ ගෝලබාලයන් කොල්ල කෑවේ ද මේ ආකාරයටම ය. යහපාලන ආණ්ඩුව ආවේ නීතිය අනුව කටයුතු කිරීමට ය.
ඇවන්ට් ගාඩ් සමාගම නීති විරෝධී ව්‍යාපාර කරන බවට ලංකා ඊ නිව්ස් ඇතුළු එදා විපක්ෂය බරපතල චෝදනා ගෙන ආවේය. ඒ එසේ බැවින් එම චෝදනා සම්බන්ධයෙන් නිවැරදිව පරීක්ෂණ පවත්වා නඩු දමා ගත යුතු ක්‍රියාමාර්ග තීන්දු කළ යුත්තේ අධිකරණය විසිනි. එසේ නොමැතිව ජනාධිපතිවරයා සහ ඔහුගේ හෙංචයියන් විසින් නොවේ. ඊයේ පරීක්ෂණ අතට ගත්තා යැයි කියා අද තීන්දු දීමට ජනාධිපතිවරයාට අධිකරණ බලතල ලැබුනේ කවදා සිටද? මෙය සම්පූර්ණයෙන්ම අනාගත භයානක තත්ත්වයක පෙරනිමිත්තකි. ලබ්බට තැබූ අත පුහුලටත් තියනවා තියනවාම ය.
ජනාධිපතිවරයා අද ගත් තීන්දුවත් සමග ජාත්‍යන්තර නෞකා වලට ආරක්ෂාව සැපයීමේ මෙහෙයුම ශ්‍රී ලංකා නාවික හමුදාවට කළ හැකිදැයි ලංකා ඊ නිව්ස් නාවුක හමුදාවේ ඉහල නිලධාරියෙකුගෙන් විමසා සිටි විට ඔහු කියා සිටියේ මේ ව්‍යාපාරය නාවුක හමුදාව කරගෙන යෑමට මුල් කාලයේදී උත්සාහ කළද එය අසාර්ථක වූ බවයි. නාවුක හමුදාවේ අසාර්ථක වීම අනුව මෙය පුද්ගලික සමාගමක් සතු කර ගත් බව කී නිලධාරියා කියා සිටියේ ඔහු දන්නා තරමින් මේ වන විට ජාත්‍යන්තර නෞකා 75 කට අධික සංඛ්‍යාවකට අද දිනයේත් ඇවන්ට් ගාඩ් සමාගම ආරක්ෂකයන් යොදවා සිටින බවත් ඒ සඳහා 3000 කට ආසන්න ඔවුන්ගේ පුද්ගලික භටයන් පිරිසක් යොදවා ඇති බවත් ඒ සියල්ල එකවර ශ්‍රී ලංකා නාවුක හමුදාවට ගැනීම කිසිසේත්ම ප්‍රායෝගික නොවන්නක් බවයි. පුද්ගලික සමාගමක් තවත් පුද්ගලික ජාත්‍යන්තර නැව් සමාගම් සමග අත්සන් කර ඇති ආරක්ෂාව සැපයීම සම්බන්ධ ගිවිසුම් එක්වරම නාවික හමුදාව අතට ගන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කර සිටියේ ය. නාවික හමුදාවට ආරක්ෂාව සැපයිය හැක්කේ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී පමණක් බවත් ජාත්‍යන්තර මුහුදු සීමාවේ පවතින ව්‍යාපාරයක් නාවික හමුදාවට පවරා ගත නොහැකි අතර කළ හැකි වන්නේ ජාත්‍යන්තර නැව් සමාගම් අතර තරඟ කිරීම පමණක් බවත් හේ පැවසීය.
නාවුක හමුදා ප්රකාශකයාගේ කතාව අනුව පැහැදිලිවම පෙනී යන්නේ නාවුක හමුදාවට පවරා ගන්නවා යැයි කියා ජනතාව ගොනාට අන්දා ජනාධිපතිවරයා තම හෙංචයියන්ට අනුන්ගේ ලාබ ලබන ව්‍යාපාරයක් පවරා දීමට යන බවයි. රාජපක්ෂලා කෙළේද මෙයම ය.
මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට ඇවන්ට් ගාඩ් සමාගමේ ප්‍රකාශකයෙකු සම්බන්ධ කර ගැනීමට කරන ලද උත්සාහය අසාර්ථක විය.