ඉඩමක් ගන්න බලනවාද?

th.rukshan

Junior member
  • Jun 23, 2012
    174
    22
    18
    ඉඩමක් ගන්න බලනවාද?

    ඔබ ඉඩමක් ගන්න බලනවාද?
    මෙම කරුණු 8 ගැන නොසිතීමෙන් ඔබ අමාරුවේ වැටිය හැක.


    ඉඩමක් ගන්නව කියන්නෙ ලේසි පහසු වැඩක් නෙමෙයි. ඉඩමක් ගන්නෙ එක්කෝ අපේ පදිංචියට හරි එහෙමත් නැත්නම් අපි කරන්න හිතාගෙන ඉන්න ව්‍යාපාරික කටයුත්තක් හෝ ආයෝජනයකට ප්‍රයෝජනයට ගන්නයි.

    ඉතින් ලොකු මුදලක් අතින් වියදම් කරල කරන මේ වැඩේදි ඔබ හොයලා බැලිය යුතු කාරණා බොහොමයක් තියනවා. ඉඩමක් මිලදීගැනීමේදී මේ දේවල් ගැන හරිහැටි සොයා නොබලා කරගන්නා ගනුදෙනු නිසා ඔබේ ආර්ථිකය අනතුරේ වැටෙන්නත් ඔබව අනවශ්‍ය නඩු හබ වල පටලැවෙන්නත් බෙහෙවින්ම ඉඩ තිබෙනවා.

    ඒ නිසා අනාගතයෙදී ඉඩමක් මිලදී ගන්න සිතා සිටිනවානම් අපේ මේ ලිපිය අනිවා ඔබට වැදගත් වේවි.

    1. ඉඩමේ ස්වභාවය

    LandBuying-01.jpg


    “අනගි, අකලංක, අතිශය රමණීය“…

    මේ වගේ හැඳින්වීම් සහිතව එන හුඟක් ඉඩම් වල දැන්වීම් කියෙව්වහම එවෙලේම ලෝකෙටම ණයවෙලා හරි ඉඩම ගන්නමයි හිතෙන්නෙ. එහෙම හිතුනාට හදිස්සි වෙන්න එපා. ටිකක් ඉඩම පැත්තෙ එහෙම කරක් ගහල හොයල බලන්න. වැහි දවසක් වගේ අල්ලල යන්න පුලුවන්නම් තවත් හොඳයි.

    පස්, ගල් බොරලු වගේම කුණු දාල ගොඩකරපු ඉඩනුත්, වැස්සට යටවෙන මඩගොහොරු බවට පත්වෙන ඉඩනුත් හරියට තියනවා. මේ වගේ ඉඩම් වලට අහු උනොත් ඉඩම ගත්තට පස්සෙත් මුදල් හා ශ්‍රමය බෙහෙවින් වැයකරන්න සිදුවෙයි. ඒ නිසා පරිස්සම් වන්න.


    2. වටිනාකම

    LandBuying-02.jpg


    හෙට්ටු කරන නිසා හුඟක් වෙලාවට විකුණන ඉඩමක් ටිකක් වැඩි ගණනකට විකිණීමට මිලකරල තිබීම සාමාන්‍යයෙන් වෙන දෙයක්. මිල ගණන් කතා කරන්න යන්න කලින් පොඩි විමසීමක් කරල ඉඩම අයත් ප්‍රදේශයේ ඉඩම් වල වටිනාකම ගැන අදහසකට එන එක වැදගත්.

    ඉඩම අයත් වන ප්‍රාදේශීය සභාවෙන් තොරතුරු දැනගන්නට ඔබට පුලුවන්. ඊට අමතරව අහල පහල හිතවතුන් ඉන්නවනම් ඒ අය මගින් දැනගන්නත් පුලුවන්. තවත් හොඳ ක්‍රමයක් තමයි ඒ අවට ඉඩම් විකුණන නොයෙක් Land Sale සමාගම් වල මිල ගණන් එක්ක සසඳල බැලීම.


    3. ප්ලෑන

    LandBuying-03.jpg


    සැලසුමක් ඇතිව ඉඩමක් ගන්නවනම් ඉඩමේ සැලැස්ම අනිවා පරික්ෂා කර බැලිය යුතු කාරණයක්.

    මිල කරල තියන ගානට ඉඩම වටිනව කියල හිතනවනම් ඔබට පුලුවන් ඉඩම විකුණන පුද්ගලයගෙන් ඉඩමේ සැලැස්මේ පිටපතක් ඉල්ලගන්න. ඉඩමේ සැලැස්ම බලයලත් මිනින්දොරුවෙකු විසින් මැන අදාල ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය හිමිවී තිබීම අත්‍යවශ්‍යම කාරණයක්.

    ඉඩම මිලදී ගැනීමට පෙර බලයලත් මිනින්දෝරුවරයෙක්ගේ සේවය ලබාගෙන (ඉඩම් හිමියාගේ අවසරයත් ඇතිව) ඉඩමේ අනුමත සැලසුමේ සටහන් වලට අනුකූලව අදටත් ඉඩම පවතිනවාදැයි සැකහැර දැනගන්න. කල්යෑමේදී මායිම් වෙනස්වීම් වැනි දේවල් නිසා ඉඩමේ ප්‍රමාණය වෙනස් වීමට ඉඩ ඇති නිසා මේ පරික්ෂාවත් කරන එක අපතේ යන එකක් නෑ.


    4. අයිතිය සහ නිරවුල්බව

    LandBuying-04.jpg


    ඔබ මිලදීගැනීමට යන ඉඩමේ අයිතිය පිලිබඳව සොයාබැලීමත් ඉතා වැදගත්. ඉඩම විකිණීමට යන පුද්ගලයා ඉඩමේ සැබෑ හිමිකරුද? එහෙමත් නැත්නම් ඉඩම හවුල් ඉඩමක් හෝ පවතින නඩුවකට සම්බන්ධ ඉඩමක්ද යන්න සොයා බැලිය යුතුයි. ඉඩම හවුල් ඉඩමක් නම් ඉඩමේ හවුල්කරුවන් සියලුදෙනා මුණගැසී ඔවුන්ගේ ලිඛිත අවසරයන්ද ලබාගත යුතුයි.

    ඔබේ නීතිඥවරයාගේ සේවය ලබාගෙන අදාල ඔප්පු තිරප්පු සහ පත් ඉරු පරික්ෂා කොට ඉඩමේ නිරවුල් බව පිලිබඳව ඉන්පසු පරීක්ශා කර බැලිය යුතු වනවා. මේ දේවල් ඉක්මනින් පරික්ෂා කර දැනගැනීමට අවශ්‍යනම් අදාළ ප්‍රදේශයේ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලය හා කටයුතු කර හුරු පුරුදු වෙනත් නීතීඥයකුගේ සේවය වුවද ඔබට ලබාගත හැකියි.


    5. පාරට කිට්ටුද?

    LandBuying-05.jpg


    ඔබ මිලදීගන්න යන ඉඩම කිසියම් හෝ මාර්ගයකට මුහුණලා තිබෙන එකක්නම් ඒ සඳහා ඔබ අමතර අවධානයක් යොමු කිරීම වැදගත්. යම් යම් මාර්ග සංවර්ධන ව්‍යාපෘති වලට යටවන්නට තිබෙන ඉඩම් හොර රහසේම විකුණන අවස්ථා එමට තිබෙනවා. එවන් ඉඩමක් ගත්තොත් ඔබ ඉඩමෙන් ලබාගන්නට හිතෙන පලප්‍රයෝජනයද අහිමිව අනවශ්‍ය හිසරදයක් බවට ඉඩම පත්වීමේ ඉඩ වැඩියි.
    අදාල ප්‍රාදේශීය සභාවට ගොස් මාර්ග පුලුල් වීම වැනි සංවර්ධන ව්‍යාපෘති වලින් ඉඩමට බලපෑමක් වනවාදැයි සොයා බලන්න.


    6. ඉඩම සංවර්ධනයේදී ඇතිවන ගැටලු

    LandBuying-06.jpg


    සමහර විට ඔබේ ඉඩමට ඇතුලුවීමට මාර්ගය වැටී තිබෙන්නේ පටු පාරක් ඔස්සේ වෙන්න පුලුවන්. ඉඩම තුළ ඔබ ඉදිකරන්නට යන ගොඩනැගීම් කටයුතු පහසුවෙන් කරගැනීමේ හැකියාව සහ ඉඩකඩ එහි තිබේදැයි විමසීම ඉතා වැදගත්. උදාහරණයක් හැටියට ඉදිකිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ගෙන එන ලොරි,ටිපර් රථ ආදියට ඉඩම තුළට පැමිණීමේ අවහිරයක් තිබේනම් එය තරමක් බරපතල කාරණයක්.

    ඒ වගේම තමයි ඉඩමේ පොලොව සහ පස. එහි සංයුතිය ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෝග්‍යද නැද්ද යන්නත් පරික්ෂා කර බැලීම අපතේ යන එකක් නෑ. මේ සඳහා ඔබට ඉංජිනේරු සහය ලබාගත හැකියි.

    ඉහත කී කාරණා දෙක අසම්පූර්ණ නම් ඉඩම සංවර්ධනයේදී ඔබේ කාලයත් මුදලත් බොහෝ සෙයින් අපතේ යාමට තිබෙන ඉඩ වැඩියි.


    7. මේ ක්‍රමය අනුගමනය කරල පොඩි වාසියක් කරගන්න බලන්න

    LandBuying-07.jpg


    හුඟක් වෙලාවට ඉඩම් ගැන තොරතුරු අපට එන්නෙ තැරැව්කරුවන්(බ්‍රෝකර්) මාර්ගයෙන්. තැරැව්කරුවෙකු නොමැතිව ඔබට ඉඩම විකුණන හිමිකරුවා මුණගැසුනොත් තැරැව්කරුවෙකු නොමැති ගණුදෙනුවක් බැවින් බ්‍රෝකර් ගාස්තුවට අදාල මුදල ඉඩමේ වටිනාකමින් අඩු කල හැකිදැයි විමසා සිටින්න. බොහෝ විට ඔබට වාසියක් අත්වේවි.

    කොහොම වෙතත් තැරැව්කරුවෙකුගේ සේවය ලබාගත් අවස්ථාවක වාසිය තකා ඔවුන්ව මගනොහරින්න. එය එතරම් යහපත් ගුණධර්මයක් නොවේ.


    8. වටපිට

    LandBuying-08.jpg


    ඉඩම සුන්දර සහ අතේ ඇති මුදලට වටින එකක්නම් ඒ දේවල් වලින් ඇස් අන්ධ කරනොගෙන අවසාන වශයෙන් බැලීමට තව දෙයක් තිබෙනවා. ඒ තමයි ඉඩමේ අසල්වැසියන් සහ වටපිටාව.

    ඔබේ ජීවන රටාවට සුදුසු වටපිටාවක් සහ අසල්වැසියන්ගෙන් යුක්ත පරිසරයක්ද කියා විමසා බලන්න. උදාහරණයක් හැටියට ඔබ නිශ්ශබ්දතාවයට සහ පෞද්ගලිකත්වයට මුල් තැන දෙන අයෙක් නම්. ඔබේ ඒ ජීවිතයට බාධා ඇතිකරන සාධක අවට ඇත්දැයි විමසන්න. පාසැල්, පන්සල්, කෝවිල්, පල්ලි නිසා ඇති විය හැකි වාහන තදබදයන් හා ලව්ඩ්ස්පීකර් භාවිතය සමඟ ඔබට ජීවත් විය හැකිදැයි හොඳට සිතා බලන්න.

    ඉඩම මිලදී ගන්නට පෙර මේ කරුණු සැක හැර දැනගැනීමෙන් ඔබේ අනාගත වාසභූමිය හෝ ආයෝජනය සුරක්ෂිත යහපත් තැනක් වෙනු නොඅනුමානයි.


    Source : http://www.aniwa.lk/2016/03/23/8-things-to-think-about-when-buying-a-land
     
    Last edited: