කාන්තාරයකදී ඔබ සොයා ගැනීමට නොහැකිම දේවල් වෙන්නෙ මොනවද?
වහින වැස්ස? සිසිල් දේශගුණයක්? ශීත හිම?
මේ සියල්ල සෞදි අරාබියේ කාන්තාර සඳහාත් සත්‍යයක්. නමුත් මීට දින කිහිපයකට කළින් ආශ්චර්යමත් කාලගුණයක් විසින් මේ සියල්ල අසත්‍යයක් බවට පත් කරමින් සෞදි අරාබි කාන්තාරය සිසිලන හිම පතනයකින් වසා දමමින් පවතිනවා.
එනම්, 2024 නොවැම්බර් මාසය ආරම්භ වෙනවත් එක්කම, සෞදි අරාබියේ අල්-ජාව්ෆ් කලාපය කලාපය පුරා ඇද හැලුණු අධික වර්ෂාව සහ හිම කුණාටු මාලාවක් හේතුවෙන් ඉතිහාසයේ පළමු වාර්තාගත හිම පතනය අත්විඳින්නට සෞදි අරාබි කාන්තාරයට පුළුවන් වී තිබෙනවා. මෙය සුවිශේෂී වගේම අති දුර්ලභ සිදුවීමක් වන්නේ සෞදි අරාබි කාන්තාරය වැනි අධි උෂ්ණ සහ ශුෂ්ක දේශගුණයක් සහිත ප්‍රදේශයකට හිම පතනය වීම කියන්නෙ ඉතා අසාමාන්‍ය සිදුවීමක් නිසයි.
පසුගිය බදාදා, විශාල හිම කැට වර්ෂාවක් රැගත් කුණාටුවක් අල්-ජව්ෆ් කලාපයේ සමහර ප්‍රදේශ, උතුරු දේශසීමා, රියාද් සහ මක්කම ප්‍රදේශය හරහා ගලා ගියා. එසේ මේ කලාපය පුරා ඇදහැළුණු අධික වර්ෂාව, ශුෂ්ක කාන්තාර භූ දර්ශනය දුර්ලභ ශීත දර්ශනයක් බවට පරිවර්තනය කර ඇති අතර ශුෂ්ක දේශගුණයක් අත්විඳින අල්-ජාව්ෆ් කලාපයේ තැනින් තැන දියඇලි මතු කරමින් වියළි නිම්න පුනර්ජීවනය කර තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් විදියට කලාපයේ ස්වභාව සෞන්දර්යය වැඩි දියුණු කරන සෘතුමය මල් සහ ඇරෝමැටික ශාක වලින් පිරි විචිත්‍රවත් සජීවී වසන්තයකට නුදුරේදී මඟ පාදනු ඇති බව පළාත් පාලන ආයතන අපේක්ෂා කරනවා. මේ පෙර නොවූ විරූ කාලගුණ සිදුවීම නිසා එහි වැසියන්ට සහ කාලගුණ විද්‍යාඥයින් යන දෙඅංශයටම දැඩි හිම කැට සහිත වර්ෂාපතනයක් අත්විඳින්න ලැබීමත් විශේෂ අත්දැකීමක් බවයි සෞදි පුවත්පත් ඒජන්සිය වාර්තා කරන්නේ.
නමුත් වෙනස්වන තත්ත්වයන්ට ප්‍රතිචාර වශයෙන් සෞදි කාලගුණ දෙපාර්තමේන්තුව ඉදිරි දිනවලදී තවදුරටත් කුණාටු සමඟ අධික වර්ෂාපතනයක් සහිත අයහපත් කාලගුණය පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ගිගුරුම් සහිත වැසි, හිම කැට සහ තද සුළං කලාපය පුරා පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර, සාමාන්‍ය ජන ජීවිතයට සහ ගමනාගමනයට බලපෑම් ඇති විය හැකි බවත් පවතින අසාමාන්‍ය කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රවේසම් වන ලෙසත් බලධාරීන් ප්‍රදේශවාසීන්ට උපදෙස් දී තිබෙනවා.
මේ වසරේ අසාමාන්‍ය කාලගුණික රටා අත්විඳින එකම රට සෞදි අරාබිය විතරක්ම නෙවෙයි. ඊට අසල්වැසි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE), ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය ද ගිගුරුම් සහිත වැසි සහ හිම කැට විවිධ ප්‍රදේශවලට බලපෑම් කිරීමේ හැකියාව සමඟ මීට සමාන තත්වයන් වාර්තා කරනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය (NCM) පවසන්නේ මෙම අසාමාන්‍ය හිම කැට වර්ෂාවන්ට හේතුව අරාබි මුහුදේ සිට ඕමානය දක්වා පැතිර යන අඩු පීඩන පද්ධතියක් බවයි.
සෞදි අරාබි කාන්තාරය බොහෝ විට සෙල්සියස් අංශක 58 ඉක්මවන උෂ්ණත්වයක් දරන අතර, මේ අනපේක්ෂිත හිම පතනය සමඟ එය සෙල්සියස් අංශක -2 දක්වා පහත වැටී තිබෙනවා.
මේ සංසිද්ධියත් පසුගිය.කාලයේ ලොව පුරා අසන්නට ලැබුණු බොහෝ අසාමාන්‍ය සිදුවීම් මෙන්ම දේශගුණික විපර්යාසයන්ගේ පුළුල් බලපෑම්වල හේතුවක්. කාලගුණ විද්‍යාඥයන්ට අනුව, බටහිර ආසියාව කියන්නෙ දේශගුණය ආශ්‍රිත බලපෑම්වල වඩාත්ම අවදානමට ලක්විය හැකි කලාපයක්.
ගෝලීය දේශගුණික විපර්යාස නිසා වෙනස් වන වායුගෝලීය තත්ත්වයන් හේතුවෙන් කාන්තාරවල හිම පතනය වැනි අසාමාන්‍ය කාලගුණික සිදුවීම් ගල්ෆ් කලාපීය රටවල නිතර නිතර සිදුවනු ඇති බව විශේෂඥයින් යෝජනා කරනවා. ඊට උදාහරණ සපයමින්, මේ වසර මුලදී, සෞදි අරාබියේ අගනුවර වන රියාද්, පෙර නොවූ විරූ අධික වර්ෂාපතනයකින් පසු දරුණු ගංවතුරකට ගොදුරු වුනු අතර ඒ දරුණු ගංවතුරින් මෝටර් රථ පවා ගසාගෙන යන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Copied
Timeline Tales
Last edited:
