උඩරට රජවරු හැංගුණු රන් කෙත – හඟුරන්කෙත

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උඩරට රජවරු හැංගුණු රන් කෙත – හඟුරන්කෙත

    මහනුවර ඉඳන් කි. මී. 31ක් දුරින් පිහිටා තිබෙන හඟුරන්කෙත අයිති නුවරඑළිය දිස්ත්‍රික්කයටයි. මහනුවර සිට තැන්නෙකුඹුර, හාරගම හරහා හොඳ මාර්ග පහසුකම් හඟුරන්කෙත දක්වා තිබෙනවා.
    15-701x526.jpg

    හඟුරන්කෙත යන අතරමඟ (කුසුම්සිරි විජයවර්ධන)

    මේ මාර්ගය ඇදී යන්නේ කඳුබෑවුම් සහිත සුන්දර දර්ශන දැකබලා ගැනීමට ඔබට ඉඩ සලසමින්. විටෙක වික්ටෝරියා ජලාශ ඉවුරෙන් පාර ඇදී යනවා. හැබැයි මේ සුන්දරත්වය දැකබලා ගැනීමට යන සංචාරකයන් ගණන නම් ඉතා අල්පයි.
    26-701x526.jpg

    හඟුරන්කෙතට මායිම් වන බෙලිහුල්ඔය. මෙය බලංගොඩ බෙලිහුල්ඔය නොව වෙනත් එකකි. (කුසුම්සිරි විජයවර්ධන)

    පුරාණයේ හඟුරන්කෙත අයත් වුණේ කන්ද උඩරට රාජධානියේ පස්රට හේවාහැට ප්‍රදේශයටයි. උඩරට රාජධානි සමයේ දී රජවරුන්ගේ ආරක්ෂිත අගනගරය වශයෙන් හඟුරන්කෙත වැදගත් වුණා. එය මහනුවර ළඟට ඇති වැදගත්ම නගරය වුණා.
    මහනුවර රාජධානියේ පළමු රජු වූ විමලධර්මසූරියගේ සිට අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ දක්වා සෑම රජකෙනෙක්ම මෙම නගරය තාවකාලිකව හෝ පුර්ණ කාලීනව වාසය පිණිස යොදාගත්තා. ඒ අතරින් දෙවන රාජසිංහ, වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, විජය රාජසිංහ යන රජවරු මහනුවරට වඩා වැඩි කාලයක් වාසය කළේ හඟුරන්කෙතයි. විජය රාජසිංහ රජු මෙහි වැඩි කලක් වාසය කළ නිසා හඟුරන්කෙත රජ්ජුරුවෝ කියාද හඳුන්වා තිබෙනවා.
    කඳුවලින් වටවූ තරමක තැනිතලා බිමක නගරය පැතිර තිබෙනවා. පසෙකින් පිහිටි වැව නිසා නගරයේ අලංකාරය වැඩි වෙනවා. හඟුරන්කෙත පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට අඩි 2000ක් පමණ උසකින් නිසා අපට දැනෙන්නේ සෞම්‍ය සීතලක්. බොහෝවිට මිහිදුම් බර කඳුහිස් නගරය වටා පිහිටා තිබෙනවා.
    දියතිලක නුවර

    31-5-701x429.jpg

    නගරයේ මහ වීදිය (කුසුම්සිරි විජයවර්ධන)

    පුරාණයේදී මෙම නගරය හැඳින්වීමට බහුලව යොදාගෙන ඇත්තේ දියතිලක නුවර යන්නයි. පැරණි බෙදීම් අනුව මෙය දියතිලක කෝරළයට අයත්. පෙර නිරිඳෙකු තුන් ලක ජයගෙන කරවූ නුවර යන අර්ථයෙන් එම නම ලැබුණු බව මඟසලකුණ නම් කාව්‍ය කෘතියේ දැක්වෙනවා.
    රාජාවලියට අනුව හඟුරන්කෙත නොහොත් දියතිලක නුවර පිහිටුවන ලද්දේ සෙනරත් රජු විසින්. ඔහු විසින් එහි තාවකාලික වාසස්‌ථානයක්‌ ගොඩනංවන ලද අතර, ඔහුගේ පුත් දෙවැනි රාජසිංහ විසින් එහි රාජකීයයන්ට සහ මහරජුට ගැලපෙන ආකාරයේ මන්දිරයක්‌ එහි ඉදි කර අංගසම්පුර්ණ නගරයක් බවට පත් කළා. වර්ෂ 1657 දී දෙවැනි රාජසිංහ රජ සමයේ ලක්‌දිවට පැමිණ සිරකරුවකුව සිටි රොබට්‌ නොක්‌ස්‌ නම් ඉංග්‍රීසි ජාතිකයා හඟුරන්කෙත රජ මැදුර පිළිබඳව අගනා විස්‌තරයක්‌ ඉදිරිපත් කර තිබෙනවා.
    මෙහි මාලිගාවට පිටුපසින් ගලඋඩ කන්ද නම් පර්වතයක් වෙයි. කැරලි කාලයේ මහරජතුමා සැඟවී සිටි මේ පර්වතය දිගින් පළලින් ඉතා විශාලය. අවශ්‍ය ආහාර පානාදිය ලබාගැනීමට ගම්වර තුනක්ද කුඹුරු හා බිහිද මෙහි ඇත්තේ ය. (එදා හෙළදිව. පරිවර්තක – ඩේඩිඩ් කරුණාරත්න)
    මාලිගය

    44-701x526.jpg

    පොත්ගුල් විහාරයට භාවිත කළ රජ මාලිගයේ දොරටුව (කුසුම්සිරි විජයවර්ධන)

    දියතිලක නුවර මාලිගය ගැන රොබට් නොක්ස් ඉදිරිපත් කරන විස්තරය අපූරුයි. එහි දැක්වෙන්නේ අලංකාර රජමාලිගයක් ඉදිකර පිළිසඳර මණ්ඩපය හා මඟුල් මඩුව ද රජුම තැනවූ බවයි.
    හුණු පිරියම් කළ ශක්තිමත් පවුරකින් යුත් මාලිගා භූමිය ඇතුළත ගොඩනැගිලි රැසක් විය. ඒවා සෝබන ලෙස උළු සෙවිලි කර තිබුණි. වාතාශ්‍රය මැනවින් ලැබෙනු පිණිස කළ ගරාදි වැටවල් එවායේ තිබුණි. උළුවහු මෙන්ම දොරවල් ද කැටයම් කර ඇත්තේය. අඟුල් යතුරු තහඩු ආදියත් කැටයමින් හෙබියේය. (එදා හෙළදිව)
    වර්ෂ 1765 දී සිදු වූ ඕලන්ද ආක්‍රමණයේදී සහ 1803 දී සිදු වූ ඉංග්‍රීසි ආක්‍රමණයේදී මාලිගය විනාශ කර තිබෙනවා. එය පසුව නැවත ගොඩනංවනු ලැබුවා.
    52-701x526.jpg

    පොත්ගුල් විහාරයට භාවිත කළ රජ මාලිගයේ ගල් කුළුණු (කුසුම්සිරි විජයවර්ධන)

    මාලිගය පිහිටි භූමිය දැනට පල්ලේ මළුව වැව වශයෙන් හඳුන්වන භුමිය අවට පිහිටා තිබුණා. 1987 දී එම වැව ගොඩකර ක්‍රීඩාපිටියක් තනා තිබෙන අතර මේ නිසා මාලිගා නෂ්ටාවශේෂ රැසක් විනාශ වී ගිහින්. ඒ අවට ප්‍රාකාර, ගල්කණු, පැරණි සඳකඩ පහණ ආදියේ නටබුන් අදටත් හමුවෙනවා.
    හඟුරන්කෙත පැරණි නගරයේ නටබුන් වී තිබූ රජ මාලිගාව සහ ඒ සමඟ වූ විහාරය ගැන ඩේවි මෙසේ පවසනවා.
    “1815 දී අප මෙම ප්‍රදේශවලට ඇතුළු වනවිටද මාළිගාව සහ විහාරය හොඳ තත්වයේ තිබුණි. එහෙත් මේ වන විට නටබුන් වී ඇති මාළිගය එය තිබූ තැන සොයාගත නොහැකි මට්ටමටම පත් වී ඇත.”
    ඉංග්‍රීසින්ට එරෙහිව කළ 1818 කැරැල්ලේදී ස්වදේශිකයන් විසින්ම මාලිගය ගිනිතබා විනාශ කළ බව පැවසෙනවා.
    පොත්ගුල් විහාර මාලිගාව

    64-701x526.jpg

    පොත්ගුල් විහාරය (කුසුම්සිරි විජයවර්ධන)

    විනාශ වූ මාලිගයට අයත් කැටයම් ගල්කණු, දොර උළුවහු, ගල්පඩි, සඳකඩ පහණ ආදිය අදත් අපට දැකගැනීමට පුළුවන්. ඒ පොත්ගුල් විහාර මාලිගාවේදී. මෙම විහාරය ගොඩනංවා තිබෙන්නේ රජ මාලිගාවේ ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිතයෙන් නිසා එය ‘මාලිගාව’ නමින් හඳුන්වනවා.
    පොත්ගුල් මාලිගයේ ඉදිකිරීම් 1830 දී පොහොලියද්දේ සිද්ධාර්ථ හිමියන් විසින් ආරම්භ කරන ලද අතර එය නිමකළේ දොරටියාවේ අත්ථදස්‌සි හිමිගේ කාලයේ 1880 දීයි.
    එදා රජ මාලිගාවේ තිබූ ගල් කැටයම් සහිත ප්‍රධාන වාහල්‌කඩ විහාරස්‌ථානයේ ප්‍රධාන දොරටුවට යොදා තිබෙනවා. එසේම මකර තොරණ සහිත ගල් උළුවස්‌ස, කැටයම් සහ ගල්කණු යොදාගෙන විහාරස්‌ථානයේ අනිකුත් ගොඩනැඟිලි ඉදිකර තිබෙනවා. උඩරට යුගයට අයත් ත්‍රිකෝණාකාර සඳකඩ පහන් කීපයක්‌ද මෙයට යොදාගෙන තිබෙනවා.
    7-4-701x526.jpg

    පොත්ගුල් විහාරයේ ගොඩනැගිලි (කුසුම්සිරි විජයවර්ධන)

    මෙහි ගොඩනැගිලිවලින් පෙනෙන්නේ ඉංග්‍රීසි ගෘහනිර්මාණ ශිල්පයයි. සියලු බිතුසිතුවම් මහනුවර යුගයෙහි අවසාන භාගයෙහි හෙවත් ඉංග්‍රීසි පාලන සමයෙහි සිතුවම් කළ ඒවායි. ප්‍රතිමා, මූර්ති සහ කැටයම්ද එම යුගයට අයත්. ඉංග්‍රීසි ආක්‍රමණයේදී රැගෙන ආ පැරණි කාලතුවක්කුවක්ද මෙම විහාරය ඉදිරිපිට අදත් දැකගත හැකියි.
    83-701x526.jpg

    විහාර වියන් සිත්තම් (කුසුම්සිරි විජයවර්ධන)

    මෙහි ඇති පොත්ගුල ත්‍රිපිටකය, පැරණි සාහිත්‍ය ග්‍රන්ථ, ශාස්‌ත්‍රීය ග්‍රන්ථ මෙන්ම සියම් දේශයෙන් ගෙන ආ බණපොත් ඇතුළත් පුස්‌කොළ පොත් රාශියකින් සහ පොත්පත් රැසකින් සමන්විතයි.
    මහ විෂ්ණු දේවාලය

    91-701x935.jpg

    දේවාල බිමේ ඓතිහාසික පැණි වරකා ගස (කුසුම්සිරි විජයවර්ධන)

    පොත්ගුල් විහාරයට ඉදිරිපසින් මාර්ගයේ අනෙක් පැත්තේ මහ විෂ්ණු දේවාලය පිහිටා තිබෙනවා. දෙවන රාජසිංහ රජ කාලයටත් වඩා මෙය පැරණි බව හෙළිවී තිබෙන අතර අදටත් බොහෝ බැතිමතුන් දේව පිහිට පතා විෂ්ණු දේවාලයට ඇදී එනවා. දෙවන රාජසිංහ, දෙවන විමලධර්මසූරිය, කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරුන්ගේ අන්‍රගහය දේවාලයට ලැබී තිබෙන බව සඳහන්.
    103-701x935.jpg

    පංච නාරිඝට කැටයම (කුසුම්සිරි විජයවර්ධන)

    විෂ්ණු දේවාල දික්ගෙය, දේවතා බණ්ඩාර දේවාලය, බුදුමැදුර, මුළුතැන්ගෙය හා පැණි වරකා ගස පුරාවිද්‍යා ස්මාරක වශයෙන් නම්කර තිබෙනවා.
    112-701x526.jpg

    පැරණි මුළුතැන්ගෙය (කුසුම්සිරි විජයවර්ධන)

    කළුගල් කැටයම් රාශියක් ද විෂ්ණු දේවාලය අලංකාර කරනවා. ඒ අතර දැකගත හැකි පංචනාරි ඝටය මහනුවර යුගයට අයත් විශිෂ්ට කැටයමක් ලෙස සැලකෙනවා.
    පත්තිනි දේවාලය

    122-701x526.jpg

    පත්තිනි දේවාලය (කුසුම්සිරි විජයවර්ධන)

    පොත්ගුල් විහාරයට යාබදව පිහිටි මෙම දේවාලයත් දෙවන රාජසිංහ රජ කාලයේදිත් පැවතුණු බවට සාධක තිබෙනවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජු මෙය ප්‍රතිසංස්කරණය කර තිබනවා.
    132-701x526.jpg

    ගල්කැටයම් (කුසුම්සිරි විජයවර්ධන)

    මෙම දේවාලයත් පුරාවිද්‍යා ස්මාරකයක්. මෙහි හස්තීන් සහ මුරගල් කැටයම් සහිත කළුගල් පුවරු දැකගත හැකියි.
    දියතලා කන්ද

    142-701x526.jpg

    පත්තිනි දේවාලයේ පැරණි මුළුතැන්ගෙය (කුසුම්සිරි විජයවර්ධන)

    ගලඋඩ කන්ද නමින්ද හඳුන්වන මෙම කන්ද නගරය පිටුපසින් ඉහළ නගින අන්දම ඉතා සුන්දර දසුනක්. උඩරට සමයේ රජවරු හඟුරන්කෙත මාලිගයේ වාසය කරන අතර සතුරු ආක්‍රමණවලදී ගලඋඩ කන්දට පලාගොස් තිබෙනවා. එහි ආරක්ෂිත බලකොටුවක් ද තිබූ බව ඉතිහාසයේ සඳහන්. එහෙත් අද එහි නටබුන් නම් දකින්න නැහැ.
    නොක්ස් සඳහන් කරන්නේ එ් කාලේ සාමාන්‍ය වැසියන් මේ කන්දට පය තැබීමට පවා බියවූ බවයි. මෙහි උස අඩි 5017ක්. දියතිලක කෝරළයත් ගඟ පළාත කෝරළයත් වෙන් කෙරෙන්නේ මෙම කඳුවැටියෙන්. කන්ද උඩ පර්වතයක නරේන්ද්‍රසිංහ රාජ යුගයට අයත් සෙල්ලිපියක් ද කොටා තිබෙනවා. එහි සඳහන් වන්නේ නරේන්ද්‍රසිංහ රජු මේ කන්දට පැමිණි බවයි. මේ කන්ද තරණය කිරීමෙන් සොබාදහම් රසිකයන්ට අපූරු අත්දැකීමක් ද ලබාගත හැකියි.
    උඩමළුව වැව

    151-701x526.jpg

    උඩමළුව වැව (කුසුම්සිරි විජයවර්ධන)

    දෙවැනි රාජසිංහ රජු විසින් නගරයේ ජල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඉදි කරන ලද වැව නගරය සුන්දර කරන අංගයක්. එහෙත් අද නම් එහි අලංකාර දර්ශනය ඇහිරිලා තිබෙන්නේ නගරයේ අවිධිමත් ඉදිකිරීම් නිසයි. මෙහි ජලය අදටත් වගා සඳහා යොදාගන්නවා.
    දෙවැනි රාජසිංහ ස්මාරකය

    හඟුරන්කෙත අංගසම්පූර්ණ නගරයක් බවට පත්කළ දෙවැනි රාජසිංහ රජු 1687 දී මියගියා. ඔහුගේ ආදාහනෝත්සවය පැවැත්වුණෙත් හඟුරන්කෙතදීයි. රජු ස්මරණය කිරීමට ගල්පුරුවක් සහිතව ස්මාරකයක් විෂ්ණු දේවාලය ඉදිරිපිට පිහිටුවා තිබුණා. 80 දශකයෙත් පැවති එම ස්මාරකය නගරයේ මාර්ග සංවර්ධනයේදී විනාශ කර තිබනවා. දැන් දැකගත හැක්කේ ඉතිරිවූ ගල්කණු කැබලි දෙකක් පමණයි.
    අම්බලම

    16-701x300.jpg

    අම්බලම (amazinglanka.com)

    එදා හේවාහැට සිට මහනුවර බලා ගමන් ගත් ජනතාව විවේක ගන්නා නවාතැන් පොළක් වශයෙන් පැවති අම්බලම වසර 150ක් පමණ පැරණියි. එය පොත්ගුල් විහාරය ඉදිරිපිට පිහිටා තිබෙනවා. ඉංග්‍රීසි ගෘහනිර්මාණ ලක්ෂණ සහිත ගොඩනැගිල්ලක්. කාමර දෙකක් සහ විවෘත ආලින්දයකින් එය සමන්විතයි. අම්බලම ඉදිරිපට තිබෙන කළුගලින් කළ පිංතාලිය 1905 දී ඉදිකළ බව සඳහන්.