උත්තර ධ‍්‍රැවය තරණය කළ රොබට් පෙරී

උත්තර ධ‍්‍රැවය තරණය කළ රොබට් පෙරී

රොබට් එඩ්මන් පෙරී නම් වන ඔහු ඇමෙරිකානු ජාතික දේශ ගවේෂකයකු වන අතර උත්තර ධ‍්‍රැවය තරණය කළ පළමු පුද්ගලයාද වෙනවා.1856 මැයි 06 වැනිදා පෙන්සිල්වේනියාවේ ක්‍රෙසන්හි උපත ලද මොහු 1881 දී නාවික ඉංජිනේරුවකු ලෙසින් නාවික හමුදාවට සම්බන්ධ වුණා. නිකරගුවා ඇළෙහි මිනුම්කරණය කටයුතු වලට දායක වුණු පෙරී 1887 දී එහි ප‍්‍රධාන ඉංජිනේරුවරයා ලෙසින් පත් වීමක් ලැබුවා.ගී‍්‍රන්ලන්තයේ නිත්‍ය වු අයිස් වැස්ම වෙත ගිය පෙරීට ආක්ටික් වෙත යෑමේ ආශාවක් උපන්නා. වසර පහකට පසුව පෙරී තම බිරිඳත් සමග එක් වී ගී‍්‍රන්ලන්ත ගවේෂණයක නිරත වුණා ‘කයිට් නම් වු නෞකාවෙන් ගී‍්‍රන්ලන්තයේ වයඹ දිග වෙරළ බඩට සේන්දු වන්නට උත්සාහ ගත්තද අයිස් කඳු නිසා ඒ උත්සාහය ව්‍යාර්ථ වුණා. ඒ ගමනේදී ඔහු ගී‍්‍රන්ලන්තය ඔස්සේ ගමන් කර ආක්ටික් සමුද්‍රයට පැමිණියා.ගී‍්‍රන්ලන්තය යනු දූපතක් බව තහවුරු කරගන්නට පෙරීගේ එම ගමන ඉවහල් වුණු බවයි සඳහන් වෙන්නේ.
1893-1906 දක්වා කාලයේදී පෙරී ආක්ටික් ප‍්‍රදේශය ගවේෂණයට ලක් කළා. එහි ජීවත් වූවන්ගේ චාරිත‍්‍ර වාරිත‍්‍ර,ජීවන පුරුදු ද එහිදී අධ්‍යයනයට ලක් කෙරුණා. පෙරීගේ මෙම ගවේෂණ චාරිකා කෙරේ උනන්දු වුණු ඇමෙරිකානු රජය ටොන් 1500 ක් බලැති මෝටර් බෝට්ටුවක් ඔහුගේ ගවේෂණ චාරිකා වලට සපයා දෙන්නට තීරණය කළා. එම බෝට්ටුව ආක්ටික් ප‍්‍රදේශයේ යාත‍්‍රා කිරීම සඳහාම තැනු එකක් .ඇමෙරිකානු රජයේද ආධාර ඇතිව පෙරී 1908 ජූලි මාසයේදී උත්තර ධ‍්‍රැවය තරණය කිරීමේ අරමුණින් නිව්යොක් නගරයෙන් ගමන් ආරම්භ කළා.රෙබ්සන් ඕඩය හරහා යාත‍්‍රා කළ පෙරී සීත සෘතුව ගත කළේ කොළොම්බියා තුඩුවේයි. 1909 මාර්තු පළමු වැනිදා හිම යානාවල නැග ගත් පෙරී ඇතුළු ගවේෂක පිරිස උත්තර ධැවය කරා ගමන් කරන්නට වුණා. මාසයක් ඇතුළතදී ඔවුන් කිලෝමීටර් 160 ක දුරක් ගෙවා දමා තිබුණු අතර ඔවුන්ගේ අරමුණ වුණු උත්තර ධ‍්‍රැවය වෙත සමීප වෙන්නට තවත් තිබුණේ කිලෝමීටර 260 ක දුරකි. පෙරී සමග මෙම ගමනට සහභාගි වූ පස් දෙනාගෙන් හතර දෙනෙක්ම ස්වදේශිකයන් වුණා. අනෙක් පුද්ගලයා වූයේ දිගු කාලීනව පෙරීගේ සහායකයකු ලෙස කටයුතු කළ හෙන්සන්ය. අප්‍රේල් 06 වැනිදා සිය අරමුණ කරා ළඟා වන්නට මේ පිරිස සමත් වුණා. උත්තර ධ‍්‍රැවයේ ඇමරිකාණු ධජය සිවි කළ පෙරී ඇතුළු කණ්ඩායම නැවතත් සිය ගම් බිම් බලා ඇරඹුවා.
තමන් උත්තර ධ‍්‍රැවය තරණය කළ බව සෙසු ලෝකයට දැනුම් දෙන්නට මාස 05 ක කාලයක් ගත වුණා. පෙරී ඇතුළු පිරිස සත්‍ය ලෙසින්ම උත්තර ධ‍්‍රැවය තරණය කළාද යන්න එකළ මතභේදයට තුඩු දුන් කරුණක් වුණා . එමෙන්ම පෙරීට පෙර ෆෙඩ්රික් ඇල්බට් කුක්ද උත්තර ධ‍්‍රැවය ගවේෂණය කළ බවයි කුක් දන්වා සිටියේ. මේ නිසා පෙරීගේ ගමන ගැන බොහෝ දෙනෙක් සැක සංකා පහළ කළා. එහෙත් ඡායාරේඛනමිතිය උපකාරී කරගෙන පෙරී උත්තර ධ‍්‍රැවය තරණය කළ බව තහවුරු කරන්නට සමත් වුණා.1911 දී ඇමරිකානු කොංග‍්‍රසය පෙරීට අද්මිරාල් තනතුරක් ප‍්‍රදානය කළා. රාජකාරි වලින් විශ‍්‍රාම ගිය රොබට් එඩ්වින් පෙරී 1920 පෙබරවාරි 20 වැනිදා වොෂිංටනයේදී මිය ගියා.

credits ----ඉරූෂා ග්‍රේරෝ/www.danuma.lk