එන්න අපි පුස්තකාල ගැන කථා කරමු

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113

    පොත් කියවන දරුවන්ගෙ සාමාන්‍ය දැනීම ඉතාම ඉහළයිලු​


    ලොව පුරා කරන ලද අධ්‍යයනයන් රාශියකගෙන් පෙනී යන්නේ විනෝදය සඳහා කියවීම දරුවන්ගේ අධ්‍යාපන කාර්ය සාධනයට විශාල බලපෑමක් ඇති කරන බවයි. සෑම දිනකම විනෝදය සඳහා කියවන දරුවන් වඩා හොඳින් ඉගෙන ගන්නවා පමණක් නොව පුළුල් වචන මාලාවක් සහිත දරුවන් වන බවද, සාමාන්‍ය දැනුම වැඩි පුද්ගලයන් බවට හා විවිධාකාර සංස්කෘතීන් පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගන්නා බවටද බොහෝ සාක්ෂි පවතී.

    ඇත්ත වශයෙන්ම විනෝදය සඳහා කියැවීම තුළින් දරුවාගේ සමාජ හා ආර්ථික පසුබිමට මෙන්ම පාසල් අධ්‍යාපනය තුළ ඔවුන්ගේ කාර්ය සාධනය වර්ධනයටද විශාල බලපෑමක් සිදුවේ.

    මවුපියන් හා වැඩිහිටියන් වශයෙන් දරුවන්ගේ කියවීම වර්ධනය සඳහා ඔබට කළ හැකි දේ බොහොමයක් පවතී. ඔබේ දරුවා කුමන වයසක සිටියද කියවීම ආරම්භ කිරීමට එය කිසිදු ගැටලුවක් නොවේ. බොහෝ මවුපියන් තම දරුවන් ඉපදීමට පෙර සිටම ඔවුන් කලලයක්ව ගර්භාශය තුළ සිටින අවස්ථාවේදී පවා ඔවුන්ට ඇසෙන සේ පොත්පත් කියවන අතර, ඔවුන් ඉපදීමෙන් අනතුරුවද කියැවීමට නොදත් කුඩා කාලයේ පටන් විවිධාකාර වර්ණවත් රූප සහිත මුද්‍රිත පොත් භාවිතයෙන් කතන්දර ආදිය කියාදීම තුළින් දරුවන් තුළ කියවීමට ඇති ආශාව වර්ධනය කරවීමට උත්සාහ ගනු ලබයි.

    වැඩිහිටියකු ලෙස ඔබගේ රැකවරණය ලබන දරුවන්. මේ වන තෙක් කියවීමට යොමු වී නැති නම්. වඩාත් සුදුසුම දෙය වන්නේ මුල් කාලය තුළ ඔවුන් කැමැති ශානරයකින් සරල පොත් ලබා දී ඔවුන් තුළ කියැවීමේ ආශාව වර්ධනය කිරීමයි. කල්යත්ම එසේ කියවීමට හුරු වූ දරුවන් වැඩිහිටියන්ගේ බල කිරීමකින් තොරවම නිරායාසයෙන්ම කියැවීමට පෙලඹේ.

    බොහෝ වැඩිහිටියන් සිතා සිටින්නේ දරුවන් කියවීම සඳහා නිරන්තරයෙන් බරසාර සහ විදග්ධ ග්‍රන්ථ පමණක් භාවිත කළ යුතු බවයි. නමුත් ඔවුන් නොදන්නා දෙය වන්නේ සරල සුගම බස් වහරකින් යුතු සරල කතා තේමාවන් රැගත් ග්‍රන්ථ ආශ්‍රයෙන් පවා දරුවන්ගේ පරිකල්පන ශක්තිය, කියැවීමේ රුචිකත්වය, වාග්කෝෂය යනාදිය වර්ධනය වන බවය.

    විශේෂයෙන් කියවීමට හුරු වූ දරුවකු යම්කිසි පොතක් හෝ සඟරාවක් කියවාගෙන යන විට එම පොතෙහි හෝ සඟරාවෙහි අඩංගු කරුණු තම මනස තුළ රඳවාගෙන චිත්ත රූප මවමින් කියැවීමේ වැඩි නැඹුරුතාවක් ඇත. මෙලෙස තමා කියවන දෙයක් පිළිබඳව චිත්ත රූප මැවීම තුළින් දරුවන්ගේ පරිකල්පන ශක්තිය, තාර්කික හැකියාව, නිර්මාණශීලී අදහස් යනාදිය වැඩි වශයෙන් වර්ධනය වේ.

    කියවීම විනෝදාංශයක් බවට පත්කර ගත් දරුවන් අන් දරුවන්ට සාපේක්ෂව සාමාන්‍ය දැනීම ඉතා ඉහළ දරුවන් වන අතර ග්‍රන්ථයක් සඟරාවක් වේවා, පුවත්පතක් වේවා, එසේත් නොමැති නම් ඩිජිටල්කරණයට ලක්වූ ලෝකය තුළ භාවිත කෙරෙන වෙබ් අඩවි හෝ අන්තර්ජාල පොත් හෙවත් pdf වේවා මේ ඕනෑම ආකාරයකින් කියවීම සිදුකරන දරුවන් ලොව පුරා දැනුම තමන්ට හැකි පමණින් ධාරණය කර ගනී.

    එමෙන්ම කියවීම තුළින් ඔවුන්ගේ වාග්කෝෂය වර්ධනය වීම හරහා සමාජයේ ඕනෑම තැනක ඕනෑම වේදිකාවක අපහසුතාවකට පත් නොවී, නැවතීමකින් හා හිර වීමකින් තොරව කතා කිරීමට හැකියාව ලබා ගන්නා අතර ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ඔවුන් තුළ පවතින දැනුම නිසාවෙන් ඔවුන් සමාජය තුළ කැපී පෙනෙන පුද්ගලයන් බවටද පත්වේ.

    එමෙන්ම වර්තමානය තුළ බොහෝ මවුපිය වැඩිහිටියන්ට මතුව තිබෙන ගැටලුවක් වන දරුවන් වීඩියෝ ක්‍රීඩා හා දුරකථන ක්‍රීඩාවලට ඇබ්බැහි වීම්, අනවශ්‍ය ගැටුම් හා සම්බන්ධකම්වලට යොමුවීම් යනාදියටද කියවීම තුළින් බොහෝ දුරට විසදුම් සොයාගත හැකි වේ. මන්ද කියවීම විනෝදාංශයක් කරගත් දරුවන් බොහෝවිට එය අත්‍යන්තයෙන්ම රස විඳින අතර ඔවුන් ඉඩක් ලැබෙන සෑම විටම ළමා කියවීමට ආස දේ අතර සැරි සැරීමට වැඩි රුචිකත්වයක් දක්වන බැවිනුයි.

    මීට දශකයකට දෙකකට පමණ පෙර වර්තමානයෙහි තරම් අන්තර්ජාලය හා විද්‍යුත් මාධ්‍ය මෙතරම් සුලබ නොවුණු බැවින් බොහෝ දරුවන් කියවීම තම ප්‍රධාන විනෝදාංශයක් බවට පත්කරගෙන සිටි නමුත් වර්තමානය වන විට එම තත්ත්වය යම්තාක් දුරට වෙනස් වී තිබේ.

    ඇතැම් දරුවන් වර්තමානයේදී තම අරමුණු හා අපේක්ෂාවන් අමතක කොට තාවකාලික තෘප්තීන් සොයාගෙන යෑමට හුරුව සිටින අතර එවිට මෙම තත්ත්වයද කියවීමට හුරු කිරීම තුළින් දුරු කරගත හැකිවේ. එමෙන්ම විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ කියවීම හරහා චිත්ත රූප මවා ගනිමින් මනෝ මූලික ලෝකයක් තුළ සැරිසරන දරුවන් බොහෝවිට අනෙකුත් මාධ්‍ය වෙත වැඩි නැඹුරුවක් දක්වන දරුවන්ට වඩා සහකම්පනය සහිත දරුවන් වන බවයි.

    විශේෂයෙන්ම මීට පෙර පරම්පරාවේ දරුවන් විසින් භාවිත කරන ලද යොවුන් හා ළමා ග්‍රන්ථ හරහා මිත්‍රත්වය, මා පිය දූ දරු සම්බන්ධතා, විශ්වසනීයත්වය, උත්සාහය, කැපවීම යනාදිය පිළිබඳව හුවා දැක් වූ බැවින් එවැනි ග්‍රන්ථ පරිශීලනය කරමින් හැදී වැඩුණු දරුවන් බොහෝමයක් තුළ තම කුඩා වියේදී මනසට වැදුණු එම ග්‍රන්ථවලින් ලැබුණු ආදර්ශ ඔවුන් වැඩිහිටි වියට පත් වුවද රැඳී පවතී.

    එමෙන්ම බොහෝ අය සිතා සිටින පරිදි දරුවන්ට බොලඳ හා ප්‍රේම වෘත්තාන්ත ආදිය කියවීමට නුසුදුසු නොවේ. නව යොවුන්වියේ පසුවන දරුවන්ට ප්‍රේමය යන්න සාමාන්‍ය දෙයක් බවත්, ප්‍රේමය, ප්‍රේමය මිස වෛරයක් නොවන බවත් උගත යුතු බැවින් ඔවුන් ගුණාත්මක බවින් යුතු වැරදි ආදර්ශ ලබාදෙන ප්‍රේම වෘත්තාන්ත යනාදිය කියැවීම වරදක් නොවේ.

    විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටක් තුළ ප්‍රේමය යන්න බොහෝ සෙයින් වැරදි දෙයක් බවට මෙන්ම ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය දෙයක් බවටත් පත්කර ඇති බැවින් ඔබේ යොවුන් දරුවාට ප්‍රේමය පිළිබඳවද කියාදීම වරදක් නොවේ. එහිදී ඔවුන්ට විශේෂයෙන්ම කියාදිය යුතු වන්නේ ප්‍රේමය සාමාන්‍ය දෙයක් හා ප්‍රචණ්ඩත්වය වැරැදි දෙයක් වන බවයි. නමුත් එවැනි කාරණා හා සම්බන්ධ ග්‍රන්ථ ඔවුන්ට පරිශීලනයට ලබාදීමේදී වඩාත් සුදුසු හා ගුණාත්මක බවින් යුතු ග්‍රන්ථ ලබාදීම සඳහා වැඩිහිටියන් වගබලා ගත යුතුවේ.

    මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ සිංහල සාහිත්‍ය වනාහි අනිවාර්ය විෂයයක් වන බැවින් දරුවා එම විෂයට ඉහළ ලකුණු ලබා ගැනීමට අපේක්ෂා කරන මවුපියන්ටද, තම දරුවා සාහිත්‍ය පිළිබඳව පන්ති යැවීමට පෙර සාහිත්‍යය ඇසුරු කිරීමට යොමු කිරීම තුළින් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වනු ඇත.

    බොහෝ විට වර්තමානයේ දරුවන් තම විෂය නිර්දේශයට අදාළ ග්‍රන්ථ හා මූලාශ්‍ර පමණක් කියවීමෙන් දැනුම ලබා ගන්නා අතර ඒ හේතුවෙන් ඔවුන්ට ජීවිතයේ සාහිත්‍යයේ බොහෝ රසවත් තැන් මඟහැරේ. ඇතැම් විට සමහර දරුවන් ජීවිතයටම කියවා තිබෙන්නේ පෙළපොත් පමණකි. මෙහි බරපතළකම වැඩිහිටියන්ට වැටහෙන්නේ තම දරුවන් පරිකල්පන ශක්තිය හීන, සහකම්පනය නොමැති, යාන්ත්‍රීකරණයට ලක් වූ දරුවන් බවට පත්වී ඇති බව දුටු විටය.

    මීට වසර කිහිපයකට පමණ පෙර මෙරට තුළ සෑම නගරයකම වාගේ මහජන පුස්තකාල දැක ගන්නට තිබුණත් මේ වන විට එම පුස්තකාලවලින් බොහෝමයක් වැසී ගොස්ය. මෙහි වඩාත් ඛේදජනක තත්ත්වය වන්නේ අපගේ දරුවන් කියවීමෙන් අෑත් වෙද්දී ලෝකයේ දියුණු යැයි සම්මත රටවල්වල දරුවන් විවිධාකාර ක්‍රම හරහා කියවීමට වැඩි වශයෙන් යොමුවීමයි.

    විශේෂයෙන් ලංකාව තුළ මේ වන විට මුද්‍රිත මාධ්‍ය බොහෝ පසුබෑමකට ලක්ව ඇති අතර, කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා බොහෝ පිරිස් යොමු වී සිටින්නේ විද්‍යුත් මාධ්‍ය හරහා තොරතුරු හෝ විනෝදාස්වාදය ලබා ගැනීමටයි. නමුත් ගැටලුව වන්නේ විද්‍යුත් මාධ්‍ය හරහා දරුවන්ට සිතීමට සහ යම් දෙයක් දෙස නිර්මාණශීලීව බැලීමට අවස්ථාව ලබා නොදෙන බැවින් දරුවන් උපන්ගෙයිම කලාවෙන් මුක්ත වූ දරුවන් බවට පත්වීමයි.

    ලෝකයේ බොහෝ රටවල්වල මෙයට විස¾දුමක් වශයෙන් අන්තර්ජාලය හරහා කියවීමට අවස්ථාවන් සලස්වා ඇති අතර ශ්‍රී ලංකාව තුළත් එවැනි දෑ ක්‍රියාත්මක වුවද දැන් කියවීමට යොමු වන පුද්ගලයන් ඇති බව නොපෙනේ.

    එබැවින් අනාගත පරම්පරාවට මඟ පෙන්වන්නන් වශයෙන් වත්මන් මවුපියන්ට හා ගුරුවරුන්ට ස්වකීය දරුවන් කියවීමට යොමු කරවීමේ වැදගත් කාර්යභාරයේ වගකීම හිමි වේ.

    (ලෝ ප්‍රකට පියර්සන් ප්‍රකාශන සමාගම විසින් නිකුත් කළ ලිපියක් ඇසුරින් සැකසුනකි )