එල්ලුම් ගහ නැති රටේ නවක වධය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ රටේ උසස් අධ්‍යාපන ඉතිහාසයේ දරුණු කළු පැල්ලමක් තිබේ. ඒ කළු පැල්ලම වූ කලී 1975දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී නවක වධ සිද්ධියේදී සිදු වූ රූපා රත්නසීලි සිද්ධියයි. නවක වධයට දරුණු ලෙස ලක්කරනු ලැබ සිටි රූපා රත්නසීලි දූෂණය කිරීම සඳහා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ රාමනාදන් ශාලාවේ උඩුමහලට පැමිණි සල්ලාල සහ නීච ශිෂ්‍යයන් තිදෙනකුගෙන් බේරීම සඳහා ඇය බිමට පැන්නාය. එහිදී ඇගේ කොන්ද කැඩිණි.

    එතැන් සිට මියයනතුරුම රූපා රත්නසීලි ජීවත් වුණේ රෝද පුටුවකය. ඇය කෙලසීමට තැත් කළ ශිෂ්‍යයන්ට එරෙහිව සාධාරණ පියවරක් නොගන්නා ලදී. ඔවුහු අදටත් සමාජයේ උසස් තැන්වල ස්වකීය වයෝවෘද්ධ ජීවිතය ගත කරනවා විය යුතුය. සදාකාලික අබ්බගාතයකු බවට පත්වූ රූපා රත්නසීලි ජීවත්වුණේ ඇඳුම් මැසීමෙනි. කොන්ද කැඩීම නිසා ඇගේ ඉනෙන් පහළ පණ නැති වී තිබුණ ද දෙඅත් වැඩ කළ බැවින් ඇය අතින් කරකවන මැෂිමකින් කුලියට ඇඳුම් මැසුවාය. අන්තිමට 47 වැනි වියේදී රෝද පුටුවෙන්ම ගෙවත්තේ ළිඳ ළඟට ගිය ඇය ළිඳට පැන දිවිනසා ගත්තාය. නවක වධයට විරුද්ධව එකල විශාල හඬක් පැතිර ගියේය. එහෙත් අදටත් නවක වධය එසේම පවතී. සබරගමු විශ්වවිද්‍යාලයේ චරිත් දිල්ෂාන් නමැති ශිෂ්‍යයා නවක වධයට මුහුණ දීමට නොහැකිව ගෙල වැලලාගෙන මියගිය බව අප නොබෝදා දැන ගතිමු. චරිත් යනු ජීවිතයට ආදරය කළ, අධ්‍යාපනයට ප්‍රිය කළ දෙමාපියන් වෙනුවෙන් කැපවීමට කැමැති වූ තරුණයෙකි. එහෙත් විශ්වවිද්‍යාලයෙන් පැමිණි පීඩනය දරාගත නොහැකි වූ නිසා ඔහු ගෙල වැලලාගත් බව දැනගන්නට තිබේ. විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන් දෙදෙනෙක් ඔහුගේ ඇඳුම් ඉවත් කිරීමට අණ කොට රහසඟ පරීක්ෂා කළ බව ද කියනු ලැබේ. මෙය උන්මත්තකයන් විසින් කරනු ලබන ක්‍රියාවකි. කෙනකුගේ රහස් ප්‍රදේශය දැකබලා ගැනීම සඳහා බලහත්කාරකම් කරන්නට තව කෙනකුට සිතුවිල්ලක් ඒ ද හෙතෙම කාම පිස්සෙකි. රූපා රත්නසීලි දූෂණය කිරීමට තැත් කළ කාම පිස්සන් තිදෙනා මෙන්ම කාම පිස්සියන් තිදෙනකු පෙර කී ශිෂ්‍යයාගේ මරණයට වගකිව යුතු බව අපි විශ්වාස කරන්නෙමු. මේ සිද්ධියට සම්බන්ධ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් උසාවියට ඉදිරිපත් කර දැඩි දඬුවම් ලබාදිය යුතු බව අපගේ විශ්වාසය වේ. ඔවුන් කර ඇත්තේ පෙර කී ශිෂ්‍යයා සියදිවි නසා ගැනීම සඳහා පෙළැඹ වීමය. කෙනකුට මැරෙන්නට හිතෙන තරම් වධ දීමට දෙන දඬුවම කුමක් දැයි අප දන්නේ නැත. එවැනි සුදුසු දඬුවමක් නැත්නම් නවක වධයට භාජනය වන එකා කළ යුත්තේ මරාගෙන මැරීමය.

    නවක වධය යනු විශ්වවිද්‍යාල තුළ තිබෙන නරකම විෂබීජ දෙකෙන් එකකි. දෙවැනි විෂබීජය වූ කලී දේශපාලනයයි. සමහර අවස්ථාවල විශ්වවිද්‍යාල දේශපාලනය සහ නවක වධය එකිනෙකට සම්බන්ධ වේ. ස්වකීය දේශපාලන කණ්ඩායම් සඳහා නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් බා ගැනීම සඳහා නවක වධය ආයුධයක් ලෙස පාවිච්චි කරන අවස්ථා බහුලය. නවක වධය නැති කිරිමට කිසිම ආණ්ඩුවකට හෝ කිසිම උසස් අධ්‍යාපන ඇමැතිවරයකුට බැරි විය. මෙය යම් ප්‍රමාණයකින්වත් පාලනය කළේ එස්. බී. දිසානායක පමණි. විශ්වවිද්‍යාලයට ගොස් නවක වධය කා පළපුරුදු දේශපාලනඥයකු වූ එස්. බී. දිසානායක ගේමට ගේම ඉල්ලන කෙනෙකි. හෙතෙම උසස් අධ්‍යාපන ඇමැති හැටියට සිටියදී නවක වධය මැඬපැවැත්වීම සඳහා සෑහෙන යමක් කළේය. නවක වධය සිදුවන අවස්ථාවේදී විශ්වවිද්‍යාලයේ උපකුලපතිටවත් එය පාලනය කිරීමට නොහැක. මේ නිසා බොහෝවිට සිදුවන්නේ නවක වධය උග්‍ර වූ විට විශ්වවිද්‍යාලය වසා දැමීමය. මෙය කිසිම සාධනීය ප්‍රතිකාරයක් නොවේ. මන්ද විශ්වවිද්‍යාලය විවෘත කළ වහාම නවක වධය යළි පටන් ගනී. නවක වධය දීමට සූදානමින් සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මළ යක්කු ලෙස හැසිරෙති. නවක ශිෂ්‍යයකු තමන් ඉදිරියේ දණ ගසාගෙන අනුකම්පාව ඉල්ලනු දකිනවිට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුළ මහත් ආත්මාභිමානයක් ඇති වේ. ඇත්තටම මේ ආකාරයෙන් ආත්මාභිමානය ලබාගැනීම යනු පිස්සුවකි. ඒ නිසා අප යෝජනා කරන්නේ විශ්වවිද්‍යාල තුළ නීතිය රැකීම සඳහා කිසියම් බලධාරීන් පිරිසක් පැය 24 පුරාම සන්නද්ධව සූදානමින් සිටිය යුතු බවය. නවක වධකකරුවන් මේ ලෝකයෙන්ම තුරන් කළ හැකි නමුදු අපගේ දණ්ඩ නීති සංග්‍රහය ඒ සඳහා ඉඩ නොදේ. ලංකාව යනු අවුරුදු 2500ක සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයක් ඇති රටකි. අපි අඩුම ගණනේ මිනීමරුවකුවත් නොඑල්ලන ජාතියක් වෙමු. තම සහෝදර ජීවිත නොතකන ‘අමන වධකයින්’ ගැන ජාතියක් ලෙස ද අපි කම්පාවට පත්වන්නෙමු.