නම?
ජයකොඩි ආරච්චිගේ ප‍්‍රිශාන්ත ජයකොඩි
ගම?
කඩවත
පවුලේ තොරතුරු?
අම්මයි, තාත්තයි (තාත්තා මිය ගිහින්), මල්ලිලා දෙන්නයි, නංගියි.
ඔබේ පියා කළ රැකියාව?
ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයෙක්.
අධ්‍යාපනය?
මම මූලික අධ්‍යාපනය ලැබුවෙ පොල් අතු ඉස්කෝලෙන්. 6 වන ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ වෙනකල් ඉගෙන ගත්තේ කඩවත මහා විද්‍යාලයෙන්. උසස් පෙළ කළේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන්.
ඔබ කොහොමද පොලිස් සේවයට සම්බන්ධ වෙන්නෙ?
උසස් පෙළ ඉවර වෙලා මම අපේ ගමේ සමාජ කි‍්‍රයාකාරිකයෙක් හැටියට කටයුතු කළා. ඒ වගේම හැම ක‍්‍රීඩාවක් වගේම කළා. 1984 දී විතර පොලීසියට මම අයදුම්පතක් ඉදිරිපත් කළා. 1987.10.10 වනදා මට ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙක් හැටියට පත්වීම ලැබුණා.
1989 ජේවීපී කලබල එනකොට ඔබ කොහෙද හිටියේ?
89 කලබල එනකොට මට මගේ පළමු වැනි පත්වීම ලැබිලා තිබුණේ තංගල්ලට. ඒත් තංගල්ලෙ හිටියෙ දින කිහිපයයි. ඊට පස්සෙ තිස්සමහාරාම පොලිස් ස්ථානයට තමයි අනුයුක්ත වුණේ.
ඒ කියන්නෙ රාජකාරි පටන් ගන්නෙම රාජපක්ෂ රාජධානියෙන්?
(හිනා…) ඔව්. දකුණෙන්.
ඔය කාලෙ රාජපක්ෂලාව අඳුනන්නෙ නැද්ද?
රාජපක්ෂ මහත්තයා හිටිය කියලා නම් මතකයි. දැන් වගේම ඒ කාලෙත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනෙ.
89 භීෂණ කාලෙ 60,000ක් තරුණ තරුණියෝ පාරවල්වල මැරෙනවා ඔබට මතක ඇති?
සංඛ්‍යාත්මකව 60,000ක් ද 6000ක් ද කියලා කියන්න මං හරියටම දන්නෙ නෑ. කොහොම වුණත් එහෙම තත්ත්වයක් තිබුණා මටත් මතකයි.
එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයා ජිනීවා ගිය හැටි මතක නැද්ද?
අනිවාර්යයෙන්ම මතකයි. කටුනායක ගුවන්තොටුපොළේ දී එවකට හිටපු සීදූව පොලිස් ස්ථානාධිපති විසින් ඔහුව අත්අඩංගුවට ගත්තා. ඒ ස්ථානාධිපතිවරයාගේ නම කුඩාහෙට්ටි. ඒ නිසාම අවුරුදු ගණනාවක් කුඩාහෙට්ටි මහත්තයාට උසස් වීම් ලැබුණේ නෑ. ඒගොල්ලො ඒ කාලෙත් මෙහෙන් ෆොටෝ අරගෙන ජිනීවා ගිහින් මේ රටට විජාතික බලවේග ගේන්න උත්සාහ කළ අය. දැන් විදේශීය රටවල් අපේ රටට අත පොවනවා කියලා බොරුවට කෑ ගහනවා. මරු දේශපේ‍්‍රමීන්. වෙන කවුරුවත් නෙමෙයි මහින්ද රාජපක්ෂලා තමයි විජාතික බලවේග මේ රටට ගේන්න හැදුවේ.
ඇත්තටම මේ රටට විජාතික අත පෙවීම් නැද්ද?
නෑ. එහෙම කරන්නත් බෑ. මේක මිනිස්සුන්ව රවට්ටන්න කියන කතාවක්. රෝම ප‍්‍රඥප්තියට රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා ඒ කාලේ අත්සන් කළේ නෑ. ඉතින් කොහොමද අපිව ජාත්‍යන්තර යුද අධිකරණයකට ගෙනියන්නෙ?
89 කාලේ ඔබලාට දේශපාලන බලපෑම් ආවෙ නැද්ද?
නෑ. කොහෙත්ම නෑ.
ජෙවීපී එක අඳුරගන්න ‘බිල්ලො’ පාවිච්චි කළෙත් ඔය කාලෙද?
නෑ.. කවුරු හරි ජෙවීපී එක අඳුන ගන්න බිල්ලො පාවිච්චි කළාද කියන්න මම දන්නෙ නෑ, ඒත් පොලීසියේ නම් එහෙම දෙයක් තිබුණෙ නෑ. අපි කටයුතු කළේ නිවැරැදි බුද්ධි තොරතුරු අනුව විතරයි.
රෝහණ විජේවීරව අල්ල ගත්ත කියලා දැන ගත්තාම ඔබට මොකද හිතුණේ?
ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුව මේ රටේ ඕන කෙනෙක්ට දේශපාලනය කිරීමේ අයිතියක් තියෙනවා. අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තුන් වන පරිච්ජේදයේ මූලික මිනිස් අයිතිවාසිකම් සඳහන් වෙලා තියෙනවා. එහි පැහැදිලිවම තියෙනවා තමුන්ට කැමැති දේශපාලන මතයක් දැරීමේ අයිතිය, කැමැති අදහසක් දැරීමේ අයිතිය, හෘද සාක්ෂියට අනුව ජීවත් වීමේ අයිතිය. හැබැයි ඒ අයිතිය සාවද්‍ය විදියට භාවිත වෙනවා නම්, රටේ මහජන දේපළ විනාශ වෙනවා නම්, රට විනාශ වෙනවා නම් එවැනි දේ නොවිය යුතුයි.
89 ජේවීපී එක ගැන ඔබට මොන වගේ හැඟීමක්ද තිබුණේ?
මම තාමත් ඔය විනාශය කළේ ජේවීපී එක කියලා හිතන්නෙ නෑ. මොකද ඔය කාලෙ නොයෙකුත් නම්වලින් පෙනී සිටි විවිධ සංවිධාන තිබුණා. දේශ හිතෛෂී ව්‍යාපාරය, ප‍්‍රා සංවිධානය, කළු බළල්ලූ වගේ ඒවත් තිබුණනේ. කොහොම වුණත් මෙවැනි කණ්ඩායම් රටක නීතියට, රටේ සාමයට විශාල අනර්ථයක්. අද ජනතා විමුක්ති පෙරමුණ දැවැන්ත බලවේගයක්. තුන් වන බලවේගය. විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක යටතේ හොඳ හඬක් නඟනවා. කොහොම වුණත් පොලිස් නිලධාරියෙක් විදියට නීතියට පිටින් කටයුතු කළ, කටයුතු කරන ඕනම සංවිධානයක් මට හඳුන්වන්න වෙන්නෙ නීති විරෝධී සංවිධානයක් විදියට.
ඔබ තමයි ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට මානව හිමිකම් පරිච්ජේදයක් ගෙනාවෙ?
ඔව්. මම දැක්කා මානව හිමිකම් සම්බන්ධ කරුණු කාරණාවල දී ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පොලීසිය වැරැදිකරුවන් වන අවස්ථා. මේකට හේතුව වුණේ ඒ සම්බන්ධව පොලිස් නිලධාරීන්ට තිබුණු අල්ප දැනුම. ඒ නිසා මානව හිමිකම් පරිච්ජේදයක් පොලිස් පුහුණු පාඨමාලාවට අපි ඇතුළත් කළා.
ඔය කියන විදියට දැන් පොලිස් නිලධාරීන් මානව හිමිකම් උල්ලංඝනය කරන්නෙ නෑ?
(හිනා…) බොහෝ දුරට අඩුයි.
2005 – 2010 කාලය තුළ ඔබ මොනවද කළේ?
මම ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (බඳවා ගැනීම්) හැටියට කටයුතු කළා. යුද්ධෙ තිබුණු කාලෙ නිසා අපිට මානව සම්පත අවශ්‍ය වුණා. යුද හමුදාව යුද්ධ කරනකොට අපි තමයි ඒ හමුදාව අල්ල ගත්ත ප‍්‍රදේශ ආරක්ෂා කළේ. ඒ වගේම අපි ගම් මට්ටමට ගිහින් පොලිස් නිලධාරීන් බඳවා ගැනීම් සිදු කළා. ඒ වගේම යුද්ධය අවසන් වෙලා කෙටි කාලයක් තුළ, වසර 30කට පස්සෙ ද්‍රවිඩ තරුණ තරුණියෝ 500ක් පොලිස් සේවයට බඳවා ගන්න කටයුතු කළා.
යුද්ධය නිමා කිරීම ගැන ඔබගේ අදහස මොකක්ද?
මේක තමයි මේ රටේ දේශපාලන වශයෙන් සහ ආර්ථික වශයෙන් ඒ වගේම සාමාජීය වශයෙන් අපි ලබපු ලොකුම ජයග‍්‍රහණය. මේ යුද්ධය නිමා කරද්දි දේශපාලන නායකත්වය ලැබුණා. අපි ඒක නෑ කියන්නෙ නෑ. හැබැයි මගේ පෞද්ගලික මතය තමයි මේ යුද්ධය ආරම්භ වුණ කාලේ ඉඳන් මේ රටේ හිටපු ජනාධිපතිවරුන්ට, අගමැතිවරුන්ට සහ නායකයන්ට අවශ්‍යතාව තිබුණා ත‍්‍රස්තවාදය නිමා කරන්න. ඒත් ඒ දේශපාලන නායකත්වය තිබුණත් යුද්ධය නිමා කරන්න අවශ්‍ය කරන නිවැරැදි යුද නායකත්වයක් තිබුණේ නෑ. ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයා, විජේ විමලරත්න මහත්තයා, ජානක පෙරේරා මහත්තයා වගේ ඇතැම් අය ඒ සඳහා උත්සාහ කළා. කොහොම වුණත් මම දන්න විදියට නිවැරැදි යුද නායකත්වය ලබා දුන්නෙ සරත් ෆොන්සේකා මහත්තයා. මම පෞද්ගලිකව දන්නවා එතුමා ඒ වෙනුවෙන් මහන්සි වෙන හැටි. ඒ වගේම අපිට අමතක කරන්න බෑ ති‍්‍රවිධ හමුදාව, පොලීසිය වගේ ආරක්ෂක අංශ සහ මේ රටේ සියලූ ජනතාව ඉතා කැපවීමෙන් කටයුතු කළා කියන එක. එහෙම තත්ත්වයක් තුළ යුද ජයග‍්‍රහණය එක පුද්ගලයෙක්, එක පවුලක් අයිති කරගන්න එනවා නම් ඒක බරපතළ වරදක්.
හැබැයි යුද්ධෙ කාලෙ ඉවර වුණාම සමහරු Gota’s War කියලා පොත් ලිව්වා නේද?
(හිනා…) ඇත්තටම එය එසේ නොවිය යුතුයි. ඒක ගෝඨාභය රාජපක්ෂ දිනපු යුද්ධයක් නෙමෙයි. Gota’s War කියලා පොත් ලිව්වෙ එක එක්කෙනාට කියලා තමන්ගේ චරිතය පුම්බ ගන්න. ඕවා සල්ලි දීලා කරගත්තු වැඩ. ඕවා ලියපු මහත්තුරුත් මේ රටට නිවැරැදි දර්ශනය පෙන්නුවෙ නෑ. බලවත් වෙලා හිටපු පවුලක් තමන්ට ඕන හැමදේම කරගත්තා. කොටින්ම රාජපක්ෂලා තමයි තීරණය කළේ මේ රටේ ඉපදෙන කෙනෙක් ජීවත් විය යුතුද, නැද්ද කියලා. ඒ වගේම ඒ ගොල්ලො තමයි තීරණය කළේ කවදද මැරෙන්න ඕනෙ, කොහෙදිද මැරෙන්න ඕනෙ, කොහොමද මැරෙන්න ඕනෙ කියලා. Gota’s War කියලා පොත් ලියව ගත්තට දැන් මිනිස්සු ඇත්ත දන්නවා.
ඔබ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක වෙන්නෙ කොයි කාලෙද?
මට මතක විදියට 2009 අන්තිම හෝ 2010 මුල. කොහොම වුණත් මම වසර දෙකකට ආසන්න කාලයක් බොහොම අපහසු රාජකාරියක් කළා. දැන් මාධ්‍ය ප‍්‍රකාශකලාට වගේ ඒ දවස්වල අපිට සැහැල්ලූවෙන් කතා කරන්න බෑ.
කොහොමද ඔබට නැති නිදහසක් දැන් ඉන්න මාධ්‍ය ප‍්‍රකාශකලට තියෙන්නෙ?
දැන් ඉන්න මාධ්‍ය ප‍්‍රකාශකට චරිත පුම්බන්න නෑ. ඔහුට නිදහසේ කටයුතු කරන්න පුළුවන්.
ඒ කියන්නෙ ඔබට යම් යම් චරිත පුම්බන්න වුණා?
ඔව්. රාජපක්ෂවරුන්ගේ කාලෙ යම් සිදුවීමක් නිවැරැදිව වාර්තා කරන්න බෑ. ඒ සිදුවීම වුණත් ඒ කාලෙ වාර්තා කරන්න පුළුවන් වුණේ ඒගොල්ලන්ට වාසි වෙන විදියට.
මොනවද ඔබ ඔය කියන සිද්ධි?
සුදු වෑන්වලින් පැහැරගෙන ගිය ඒවා, අතුරුදන් කරපුවා, ඇතැම් මිනීමැරුම් වැනි දේවල් ගැන යම් දැනීමක් අපිට තියෙනවා.
ඒ කියන්නෙ පොලිස් දෙපාර්තමේන්තුවද මේවා කළේ?
නෑ… පොලීසියම නෙමෙයි. ඒකට වෙනමම කණ්ඩායමක් හිටියා. නගරාධිපතිවරයෙක් සම්බන්ධ ප‍්‍රශ්නයක දී ඔය මං කියන කණ්ඩායම වැල්ලම්පිටි පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඒත් ටික වෙලාවකින් ප‍්‍රශ්න කිරීමකින් තොරවම නිදහස් කරන්නත් වුණා.
කා යටතෙද ඒ කණ්ඩායම හිටියේ?
ගෝඨාභය රාජපක්ෂ දැනුවත්ව මේ කණ්ඩායම හිටියේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ.
සුදු වෑන් යොදා ගත්තෙ පාතාලය මර්දනය කරන්න නෙමෙයිද?
රටක නීතියක් තියෙනවා. පාතාලය වුණත් මර්දනය කරන්න සුදු වෑන් යොදා ගන්න බෑ. රටේ ව්‍යවස්ථාපිත නීතියට පිටින් කොහොමද එහෙම වැඩ කරන්නෙ?
මොනරාගල ‘ලතීෆ්’ සිද්ධියේ දී ඔබ ආන්දෝලනාත්මක මාධ්‍ය ප‍්‍රකාශයක් නිකුත් කරනවා?
ඔව්. මේ රටේ අධම දේශපාලනඥයන්ට අවශ්‍ය විදියට නෙමෙයි නීතිය කි‍්‍රයාත්මක වෙන්න ඕන කියලා. ඒ මාධ්‍ය ප‍්‍රකාශය නිකුත් කළාම කුණුහරුපෙන් බැණලා මගේ ජංගම දුරකථනයට කෝල් එකක් ආවා.
කවුද කතා කළේ?
ආරක්ෂක ලේකම්. ගෝඨාභය රාජපක්ෂ.
මොනවා කියලද බැන්නෙ?
‘තමුසෙට ඕන විදියට නෙමෙයි ඕවා වෙන්න ඕනෙ.. අපිට ඕන විදියට’ කියලා පස්සෙ කුණුහරුපෙනුත් බැන්නා.
ඇත්තටම මොකක්ද ඔය ‘ලතීෆ්’ගෙ සිද්ධිය?
මොනරාගල පැත්තෙ ප‍්‍රාදේශීය දේශපාලනඥයෝ වැලි ගොඩදානවා, ගස් කපනවා, පරිසරය විනාශ කරනවා. අවසානයේ පොලිස් නිලධාරීන්ටත් පහර දෙනවා. ඉතින් ඕවට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගන්න ගියා කියලා තමයි ඔය ප‍්‍රශ්නෙ ආවේ. ඉතින් ඒ වෙලාවෙ මං කළේ නීතිගරුකව නිවැරැදි තොරතුරු මත කටයුතු කිරීම.
ඔය වගේම තවත් සිද්ධියක් වුණා. එකපාරක් පොලිස් අභ්‍යාස විද්‍යාලයේ දේශනයක් කරන්න මට ආරාධනාවක් ලැබුණා. ඉතින් ඒ දේශනය මම ඉතා රසවත් විදියට කළා. ඒක කරලා එළියට බහිනකොටම, ජනාධිපතිවයි, ආරක්ෂක ලේකම්වයි විවේචනය කළා කියලා ප‍්‍රශ්නයක් ආවා.
කාගෙන්ද ප‍්‍රශ්නෙ ආවෙ?
ආරක්ෂක අමාත්‍යාංශයෙන්.
ඇත්තටම ඔබ ජනාධිපතිවරයාව සහ ආරක්ෂක ලේකම්වරයාව විවේචනය කළාද?
නෑ.. මොන බොරුද?
ඉතින් ඔබ මොකද කිව්වෙ?
මං කිව්වා මම එහෙම දෙයක් කළේ නෑ කියලා. මම මගේ දේශනයේ දී කිව්වේ පොලීසිය මහජනතාව එක්ක ගැටෙද්දි නිවැරැදිව ඒක කරන්න ඕන සහ එහෙම නැති වුණොත් පොලීසිය තව තවත් මහජනතාවගෙන් ඈත් වෙයි කියන එක මම ඒ වෙලාවෙ දී දේශනය සඳහා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමියගේ සිද්ධියට අදාළ යම් යම් රූප රාමු භාවිත කළා.
ඔබට එරෙහිව පරීක්ෂණයක් කි‍්‍රයාත්මක වුණේ නැද්ද?
පරීක්ෂණයක් තිබුණා. ඒත් මං මට සිදු වුණ හැම දෙයක්ම ෆෝන් එකේ රෙකෝඞ් කරගෙන තිබුණා. මම ඒ රෙකෝඩින් ඒගොල්ලන්ට අහන්න දුන්නා. ඒත් මගෙන් පළිගත්තා. එක තැනකින් තව තැනකට, තව තැනකින් වෙනත් තැනකට මාව දිගින් දිගටම මාරු කළා. ඒත් වර්තමාන පොලිස්පතිතුමා ඉලංගකෝන් මහත්තයා දන්නවා මගේ රාජකාරි ස්වභාවය ගැන. එතුමා දන්නවා මං පිරිසිදු පොලිස් නිලධාරියෙක් කියලා.
ඔය කාලෙදි ද රත්නපුරේට ඔබව මාරු කරන්නෙ?
ඔව්. මම යනකොට රත්නපුරේ දේශපාලනික වශයෙන් ජරාජීර්ණ වෙලා තිබුණේ. රත්නපුරේ පොලීසිය එහා පැත්තේ කැරොකි ශාලාවකුත් තිබුණා. මං ඒවා නැත්තටම නැති කළා.
කවුද ඕවා කළේ?
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රබලයෝ තමයි. රාජපක්ෂලාගේ නමුත් ඒවාට ඈඳිලා තිබුණා.
ඔබ ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභා සභාපතිවත් අත්අඩංගුවට ගත්තා?
ඔව්. ඔහු චණ්ඩි මල්ලිගෙ පුතා (අමිල). ඔහු තමයි නිල් බළකායේ ප‍්‍රධානියා. නාමල් රාජපක්ෂගේ නිල් බළකායේ ලොක්කෙක් තමයි අමිල. ඒ කාලෙ රත්නපුරේ හිටපු කැබිනට් ඇමැතිලා පවා බයයි ඔය අමිලට. එයා කියන විදියට තමයි ඇමැතිලත් වැඩ කරන්නෙ. ඉතින් ඔහු අහිංසක පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීලා තිබුණා. ඒ නිසා මම ඔහුව අත්අඩංගුවට ගන්න කටයුතු කළා. ඒ දවස්වල අමිල හැංගිලා හිටියේ අරලියගහ මන්දිරයේ. ඒත් මම සිද්ධිය පිළිබඳ නිවැරැදි කරුණු අධිකරණයට වාර්තා කළා. ඒ නිසා ඔහුට ඇප ලැබුණේ නෑ. ඔහු රක්ෂිත බන්ධනාගාර ගත වුණා.
ඒ වෙලාවෙ අමිල මොනවද කිව්වෙ?
අමිල මට කිව්වා ‘උඹේ මිනී පෙට්ටිය ලෑස්ති කරගනින්’ කියලා. මට දිගටම නිර්නාමික දුරකථන ඇමතුම් ආවා තර්ජනය කරලා.
ඉතින් ඔබ මොකද කළේ?
ඉතින් මම තනි වුණා. මට කර කියා ගන්න දෙයක් නැති වුණා.
ඇයි ඔබට තිබුණනේ මරණ තර්ජන පිළිබඳ පැමිණිලි කරන්න?
(හිනා…) කාටද? එහෙම කළා කියලා වැඩක් වෙන්නෙ නෑ කියලා මම දැන ගත්තා. මොකද නීතියට අනුව නෙමෙයි ඒ වෙනකොට කටයුතු සිද්ධ වුණේ. ඒත් ඔබ කියනවා වගේ මං ඒ පිළිබඳ පිටු හතරක ලිපියකින් අදාළ අංශ දැනුවත් කළා.
ඊට පස්සෙ?
මට දැනගන්න ලැබුණා මාව ඝාතනය කරන්න සැලසුම් කරනවා කියලා. මාව ඝාතනය කරලා ඒක එල්ටීටීඊ ගිණුමකට බැර කරන්නත් ඔවුන් සැලසුම් කළා.
ඒ කියන්නෙ ඒ කාලෙ ඒ වගේ ඝාතන කරලා ඒව එල්ටීටීඊ ගිණුම්වලට බැර කළා?
ඔව්. එහෙම දේවල් වුණා කියලා හිතන්න පුළුවන්.
ඊට පස්සෙ ඔබ රට යනවා?
ඔව්. මම ඕස්ට්‍රේලියාවට යනවා.
ඒත් ඔබ යන්නෙ සාමාන්‍ය සංචාරයක් හැටියට?
එහෙම නැතුව මගේ පණ බේරගෙන මේ රටින් පිටවෙන්න වෙන ක‍්‍රමයක් තිබුණෙ නෑ. මම රටින් ගියේ ඉතාම රහසිගතව. එහෙම නොවෙන්න මාව ගුවන්තොටුපොළේ දි වුණත් උස්සගෙන යන්න තිබුණා.
ඔබ හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙක් විදියට ඔය කරන ප‍්‍රකාශය බරපතළයි?
ඔව්. අනිවාර්යයෙන්ම. එහෙම සංස්කෘතියක් තමයි රාජපක්ෂ යුගයේ තිබුණේ. උසස් පොලිස් නිලධාරියෙක් වුණ මට ආරක්ෂාව නැත්නම් සාමාන්‍ය ජනතාව ගැන මොන කතාද?
ඉතින් ඇයි ඔබේ යහපාලන ආණ්ඩුව ඔවුන්ට විරුද්ධව නීතිය කි‍්‍රයාත්මක නොකරන්නෙ?
එකපාරටම එහෙම කරන්න බෑ. ඒකට නිසි පිළිවෙළක් තියෙනවා. ඔවුන් සමහර දේවල් කරලා තියෙන්නෙ ඉතා සූක්ෂ්මව. ඒක අපි අවබෝධ කරගන්න ඕන. ඒ සඳහා යම් කාලයක් අවශ්‍යයි.
ඕස්ට්‍රේලියාවට ගිය ඔබ ඇයි එක පාරටම ලංකාවට එන්නෙ?
ඇත්තටම මට ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ ලබා දුන්නා. මට අවසාන කාලය වෙනකොට ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවයත් දෙන්න ඔන්න මෙන්න තිබුණේ. ඒත් මේ රටේ ජනවාරි 08 වනදාට පසු ඇති වූ දේශපාලන විපර්යාසයත් සමඟ වර්තමාන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහත්තයා මට නැවත ලංකාවට එන්න කියලා ඉල්ලීමක් කළා. ඉතින් මටත් හිතුණා අපේ රටේ මිනිස්සුන්ට සේවයක් කරන්න මේක හොඳ අවස්ථාවක් කියලා. ඒ අනුව ඕස්ට්‍රේලියානු රජය ලබා දුන්න සියලූ වරප‍්‍රසාද එපා කියලා මම මගේ මව්බිමට ආයෙත් ආවා.
ඔබ දැන් එක්සත් ජාතික පක්ෂ, මහර ආසන සංවිධායකවරයා. ඇත්තටම ඔබට තිබුණේ ඔබ යූඑන්පී නිසාම වූ ප‍්‍රශ්නයක් නෙමෙයිද?
නෑ… මම මගේ රාජකාරී ජීවිතය තුළ කවදාකවත් දේශපාලනය කරලා නෑ. මට පෞද්ගලික දේශපාලන මතයක් තියෙනවා. ඒත් ඒක මම කිසිම දවසක මගේ රාජකාරියට යොදාගෙන නෑ.
අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නෙ?
මට කිසි කෙනෙකුට ඇඟිල්ල දික්කරලා දෙයක් කියන්න බැරි වෙන්න පිරිසිදුව මගේ රාජකාරිය මම කළා. ඉදිරියටත් මේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් විශාල සේවයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
කතා කළේ – ශාන්ත බණ්ඩාර
ලිව්වේ – සකු විතානගේ
සත්හඬ ඇසුරෙන්