මෙන්න මේ කාරණාවේදී ඊළඟට තවත් ප්‍රශ්නයක් මතු කළ යුතුයි. එනම් එසේ එය කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල මොනවා ද යන්න යි. ඒ වාගේ ම ඒ ප්‍රතිඵල අපට කෙසේ බලපාවි ද යන කාරණාවත් ඉතා වැදගත්.
මේ ආකාරයට මේ ධර්මයෙන් ම පමණයි, අප නිවැරැදි චින්තනයකට යොමු කරවන්නේ.
අපි බලමු. දැන් මේ සමාජයේ සිටිනවා, මුළුමනින්ම ධනාත්මක චින්තනයට ම යට වී කල්පනා කරන ඇතැම් අය. ඒ අය සිය ජීවිතවල සියලු කාරණා ගැන කල්පනා කරන්නේ ධනාත්මකව ම යි. එවැන්නන් විශාල ඉලක්ක, සැලසුම් සාදාගෙනයි ජීවත් වන්නේ. ඒත් මේ ගොඩනඟා ගත් කාරණාවලට අදාළ ලෙස මෙවන් පුද්ගලයකු ගේ මනස සැකසී නැත්නම්, ඒ වාගේ ම ඔහු ගේ පුණ්‍ය වාසනාව මීට අදාළ ව සකස් වී නොමැති නම් මේ කාරණා ඉලක්ක සපුරා ගැනීමට හැකි වන්නේ නැහැ. මෙයින් පසු, ඔහු මේ නිසා ම විශාල කඩාවැටීමකට ලක්වනවා. මානසික ආතතියකට පත්වනවා. මොන තරම් උත්සාහ කළත් තමාගේ උත්සාහයේ ප්‍රතිඵල නැතිබවට කළකිරෙනවා. මෙන්න මෙහෙම වුණා ම මෙවන් පුද්ගලයෙක් යොමු වනවා, මෙහිම ඊළඟ අන්තයට. එනම් සෘණාත්මක චින්තනයට. මේ තුළ කිසි ගොඩනැගීමක් ඇත්තේ නෑ. මේ නිසා මේ චින්තන දෙවර්ගය ම සමාජයකට සුදුසු නැහැ. ඒවා ප්‍රායෝගික නැහැ. මා කලින් පැවසූ පරිදි යමක් කළ හැකි කෙසේ ද යන්න සහ එහි ප්‍රතිඵල අපි කෙසේ භුක්ති විඳිමු ද ආදී වශයෙන් ම යි, අපි කල්පනා කළ යුත්තේ.
දැන් තවත් භයානක අන්තයකට ඇතැම් අය තල්ලු වෙලා. ධනාත්මක චින්තනයකින් යුතු වන පුද්ගලයා ලස්සනට ජීවත්විය යුතු යැයි නිතර ම සිතනවා. මෙසේ සිතා ඒ වෙනුවෙන් සොරකම් කිරීමට යොමු වනවා. කොමිස් ගහනවා. ඒ විතරක් නොවෙයි තමා ගේ සමෘද්ධිය ගැන අන් අය ඉදිරියේ උදම් අනනවා. ඒත් මෙවන් පුද්ගලයන් ගේ ඇතුළාන්තයේ කුණු. ඇතුළ ජරා ගොඩක්.
මේ විදියට බාහිරව යමෙක් පෙන්නුම් කළත් තමන් ධනාත්මක පුද්ගලයෙක් කියා එවැන්නකුගේ අභ්‍යන්තරයේ පවතින්නේ අසුචි කන්දක්.
බුද්ධ දේශනා සමඟ නම් මේ ධනාත්මක, සෘණාත්මක ආකල්ප කොහෙත්ම ගැළපෙන්නේ නැහැ. ධර්මය පෙන්වා දෙන්නේ ජීවිතයේ සැබෑ තත්ත්වය යි. මිනිස් ජීවිතයක දී අපට ළඟා කරගත හැකි මොනවාද? ඒ ජයග්‍රහණ ළඟා කරගත්විට මිනිසාට ලැබෙන ප්රතිලාභ මොනවා ද?
ලස්සනට ජීවත්වීමට කැමැති පුද්ගලයා වටහා ගත යුතුයි, තමා ලස්සන විය යුතු බාහිරින් පමණක් නො වන බව. ආභරණ පැළඳීමෙන් පමණක් සුන්දර වී ඵලක් නැහැ. පුද්ගලයකු සුන්දර විය යුතු ඒ පුද්ගලයා ගේ ජීවිතයට බලපාන ප්‍රධානතම කාරණාව තුළ යි. එනම් චේතනාත්මක ක්‍රියාව තුළයි.
මෙන්න මේ චේතනාත්මක ක්‍රියාව තුළ පුද්ගලයා සතුන් මැරීමෙන් වැළකී සිටියොතින්, ඒ වාගේ ම සොරකමින්, වැරැදිකාම සේවනයෙන්, බොරු කීමෙන්, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් දුරස් ව සිය පැවැත්ම සාදාගතහොත්, තවද කේළමින් තොර ව, ඵරුස වචන, හිස් වචන හා අනුන් කෙටවීමෙන් තොර ව, අනුන් නො ගරහන චරිතයක් තමා තුළ වර්ධනය කර ගන්නවානම්, ඒ ක්‍රියාමත විශාල සුන්දරත්වයක් ගොඩනැඟෙනවා. මේ පුද්ගලයා ගේ වචන තුළ සුන්දරත්වයක් පවතිනවා.
අපි හිතමු මෙහෙම. කිසියම් කාන්තාවක් සිටිනවා නිතරම සිය තොල්පට ආලේප කරන. ඒත් මොන තරම් දත් දෙපළ සුදින් බැබැළුණත්, මුවෙන් පිටවන්නේ මුසා බස් නම්, කේළාම් නම්, ඵරුස සහ හිස් වචන ම නම්, බාහිරින් පෙනෙන සුන්දරත්වයෙන් කුමන ඵලයක්ද? ඒත් ධනාත්මක චින්තනය ගැන කතා කරන පුද්ගලයකුට වැදගත් වන්නේ, බාහිර පෙනුම ම යි. සමහර විට එවන් අයකුට මුවින් පිටවන වචන ගැන තක්සේරුවක් නැහැ. රූපය ලස්සන නම් ඒ ඇති.
ඒත් ධර්මය ගැන කතා කරන පුද්ගලයා හැමවිට ම සලකා බලන්නේ මුව ගැන නො වේ. මුවින් පිටවන දේ ගැනයි. ඒ මත යි සුන්දරත්වයක් අත්විඳින්නේ. ඔබට මෙයින් පැහැදිලි ඇති ධර්මය හා ධනාත්මක චින්තනය යන දෙකරුණ අතර යමක් තක්සේරු කිරීමේ දී ඇති වෙනස.
පුද්ගලයකු, මම කලින් සඳහන් කළ වාග් දුශ්චරිතවලින් තොර වී සිටින විට, ඔහු හැමවිට ම වැදගත් කතාබහින් යුතු වනවා. මේ නිසා ම වැදගත් වචන හසුරුවන වැදගත් කෙනෙකු බවට මේ පුද්ගලයා පත්වනවා. මේ වැදගත් බව මත සුන්දරත්වයක් ප්‍රකට වීමට පටන් ගැනෙනවා. එයා සැබවින්ම ධනාත්මක යමක්. මීළඟට මේ පුද්ගලයාට හැකියාව ඇත්නම් ලෝකයා තමාට ගරහන විට පෙරළා ලෝකයාට නො ගරහා සිටීමට, වෛර කරන්නන් අතර අවෛරී වීමට, මෙවන් අයකුට මෙලොව අන් කිසිවකුට ලබාගත නොහැකි ආකාරයේ සුන්දර සිතක් ඇතිකරගත හැකි යි.
මෙන්න මේ සුන්දරත්වය නිර්මාණය වීමේ මූලික සැලැස්ම සකස් වන්නේ, අනිත්‍ය ධර්මය මතම යි. ඒ අනිත්‍යයට යමකු ගරහනවා නම් ඒ පුද්ගලයාට අර කුණු ගඳ ගහන ජීවිතය මත ම යි සිටින්නට සිදුවන්නේ. සැබෑ සුන්දර මිනිසා බිහි කරන්නේ, බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය ම යි. පුද්ගලයෙක් සුන්දරත්වයට පි‍්‍රය නම්, ඒ පුද්ගලයා සුන්දර ක්‍රියා සපුරන්නකු විය යුතුයි. පි‍්‍රය වචන කතා කරන්නකු විය යුතුයි. සුන්දර සිතිවිලි ඇත්තකු විය යුතුයි. ඒත් මේ සුන්දරත්වය ගොඩනැඟීම ඉතා අපහසු යි. මෙය ධනාත්මක චින්තනයෙන් මෙහෙයවෙන පුද්ගලයා දකින සුන්දරත්වයට වඩා වෙනස්.
කොහොම නමුත් වටිනා දුර්ලභ දේ සෑම තැනක ම, සෑම විටක ම ඇත්තේ නැහැ. බලන්න දුර්ලභ පැළෑටියක් අරන්. ගොයමක් වවන්නට පටන්ගත් විට ඊට හානි කරන සතුන් ප්‍රමාණය කො තරම් ද? ගොයමකට හානි කිරීමට එතරම් සතුන් ප්‍රමාණයක සැදී පැහැදී සිටිනවා නම්, උදාර චරිතයක් නිර්මාණය වන්නට යන විට ඊට කොතරම් බාධක ඒවිද? ඒත් මේ පැමිණෙන සියලු බාධක ජය ගෙන උදාර චරිතයක් තමා තුළ ගොඩනඟා ගැනීම, ඉතා ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්.
ධනාත්මක චින්තනය අනුව බාහිර පියකරු බවට ම ලොල් වී කටයුතු කරන පුද්ගලයා මෙයින් තුරුණු වියේ දී අභිෂේක ලබන්නට පුළුවන්. මුළු ජීවිතේ ම ඇතැම් අය කැප කරන්නේ රූපය වෙනුවෙන්. ඒත් මේ පුද්ගලයා ක්‍රමයෙන් වයසට යෑමේ දී සිදුවන්නේ කුමක් ද?
වර්තමාන සමස්ත ලෝකය ම බටහිර සමාජයේ ගොදුරක්. මතවාදවලට ගොදුරු වූ චරිත තමයි අප සමාජය මෙහෙයවන්නට සූදානමින් සිටින්නේ. බටහිරින් පැමිණි ධනාත්මක, සෘණාත්මක ආදී විවිධ චින්තන අන්ධානුකරණයෙන් වැළඳ ගනු වෙනුවට (මේවා වැළඳගෙන, ඒවා තම චින්තනයක් බවට පත්කරගෙන දුක් විඳිනු වෙනුවට) අප ස්වාධීන වීම යි වැදගත්. ඒ ස්වාධීනත්වයට අවශ්‍ය සියලු කාරණා ධර්මයෙහි අන්තර්ගත යි. නුවණ, වීර්යය ගැන මෙතරම් කතාකළ වෙනත් දහමක් නැහැ. අපේ මුළු මහත් සමාජයටම නැගී සිටින්නට, එය ම සෑහෙයි.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.
සාකච්ඡා කළේ – තනූජා ධර්මපාල
(බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි)
From:
http://www.mahamevnawa.lk/?p=141