ඔබ_නැතුව_ඔබ_එක්ක

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔබ_නැතුව_ඔබ_එක්ක

    Oba%20Nethuwa%20Hiru%20Gossip%2002.jpg




    අප අනෙකාට ආදරය කරන විට ආදරය කරන්නේ අපටමද ?


    ඔබ නැතුව ඔබ එක්ක ගැන අපමණ දේ දැන් ලියවී ඇතත් නුදුරු දවසකම ගැලවී යන්නට ඉඩ ඇති ඒ සිනමා කෘතිය ගැන වචනයක් ලිවිය යුතුය. ප්‍රසන්න විතානගේ යනු සිය සිනමා කෘතිවල රූපය සේම ශබ්දයද ඉතා හොඳින් සැලසුම් කරන සිනමාකරුවෙකි. එහෙත් ශබ්දය හරියට ඇසෙන සිනමාශාලාවක් සොයා සැතපුම් ගණනක් ගොස් එය නරඹන්නට මට සිදු විය. ඉතා අල්පෝක්තිමය දෙබස් සහිත මේ සිනමා කෘතියේ දෙබස් නොඇසී යාම යනු විශාල අහිමිවීමකි. එසේ වුවත් මේ සිනමා කෘතිය යනු ඩීවීඩී පිටපතකින් ටෙලිවිෂනය මත බැලීමට වඩා විශාල රිදී තිරය මත අඳුරේ සිට බැලීම අත්‍යවශ්‍ය වන්නකි. සරත්සිරි සිය උකස් බඩු කඩුයේ දැල් කූඩුව තුළ සිරවී සිටින මධ්‍යම රූපය ප්‍රේක්ෂකයාට විශාල සිනමා තිරයකම පෙනිය යුතුය. ඒ උකස්කූඩුවේ ඔහු හුදෙකලාව සිටින ආකාරය ඉහළ කෝණය හසුකරගත් රූපය අපට විශාල තිරය මතම පෙනිය යුතුය. ඔහුගේ හුදෙකලා නවාතැනේ කවුළුවෙන් පෙනෙන ඈත තේ කඳු කරයද ඔහු මිලට ගන්නට සිහින දකින හෝ සිහින දකින බව සිය බිරිඳට කියන තේ කෑල්ල අපට පුළුල් සිත්තමක් සේ පෙනිය යුතුය.
    සිනමා පටය ආරම්භ වන විට සරත්සිරි ඔහුගේ උකස් කඩයේ යකඩ දැල්වලට මැදි වී සිටින බව පෙනේ. ඔහු ලෝකය දෙස බලන්නේ ඉදිරිපස දැල් කවුළුවෙනි. මේ කුඩා කුටිය ඔහුම තෝරාගත් සිරකුටියක් සේ පෙනේ. ඔහු යම් කිසිවකින් සැගවී සිටින්නෙකුය වැනි දෙයක් අපට සිතේ. ඔහු සිය උකස් ව්‍යාපාරය වෙත එන මිනිසුන් සමග ගනුදෙනු කරන්නේද ඒ දැල් කවුළුවෙන් වෙන් වී ගෙනය. ඒ මිනිසුන් සමග කිසිම මිනිස් සම්බන්ධයක් නැත. ඔහු අන්තිම රුපියලටද ගණන් බලයි. එක දවසට පවා පොලිය හදයි. මේ යකඩ දැලින් වෙන් වූ ලෝකයේම සිටිමින් අර තේ කෑල්ල පිළිබඳ ඒකායන අරමුණින්ම සිටියේ නම් ඔහුගේ ජීවිතයට පසුව සිදු වූ දේවල් සිදු නොවේ.
    එහෙත් සැරෙන් සැරේ යමක් උගස් තියමින් තමා නැවතී සිටින අය අභිමුව අභිමානයෙන් ජීවත් වන්නට තැත් කරන ළාබාල සෙල්වි නිසා ඔහු ඒ යකඩ දැල විසින් ඇති කර තිබෙන සීමාකරණය ඉක්මවා එළියට එයි. ඔහු සැලකිය යුතු කරම් සාර්ථක ලෙස ඒ භෞතික දැලෙන් එළියට ආවද ඔහුට එළියට එන්නට බැරි විඥානමය හිරගෙයක්ද ඇති බව අපට පෙනේ. ඔහු යමක් සමග පොරබදන බව පෙනෙන්නේ ඔහු රාත්‍රියට ඇමරිකානු මල්ලව පොර තරග නරඹන බැවිනි. ඒ අර්ථශූන්‍ය මල්ලව පොර තරග යනු ඔහුගේ අභ්‍යන්තරික පොරබැදීම්වල ප්‍රක්ශේපණයක් බව පෙනේ. තමා කළ නිරර්ථක සටහනක් තුළ අර්ථයක් සොයන්නට මේ හරසුන් මල්ලව පොර බලන්නේද විය හැකිය.
    සෙල්වී නම් ළාබාල දෙමළ කෙල්ල වෙත ආදරයක් ඇති වීම පවා ඔහු කරන අභ්‍යන්තරික පොරබැදීමේම පලයකියි සිතේ. සෙල්වී ලෙස රගන අංජලීගේ මුහුණද අභ්‍යන්තරික පොරබැදීමක් පිළිබඳ හැගීමක් දෙයි. දැල් කවුළුව අස්සෙන් මුල්වරට ඇය දකින සරත්සිරි තුළ යම් ආකර්ෂණයක් ඇති වන බව පෙනේ. එසේම ඔහු ආකර්ෂණය වන්නේ කම්බි දැලකින් ඛණ්ඩනය වූ කෙල්ලක සමගය යන්නද සංකේතමය වශයෙන් වැදගත්ය.
    ඇගේ වයසද ඇය උකස් තබන්නට රැගෙන එන දේවල්ද අනුව ඇය යම් අරගලයක යෙදී සිටින කෙනෙක බව ඔහු වටහා ගනියි. ඒ සියල්ලටමත් වඩා ඔහුගේ සිත ඇදී යන්නේ ඇගේ ළාබාල බව වෙත යැයි කිවහැකිය.
    ළබාල දෙමළ දැරියක යනු ඔහු යෙදී සිටින හුදෙකලා අරගලයේ කේන්ද්‍රීය නිමිත්තයි. අපට පසුව දැනගන්නට ලැබෙන ආකාරයට ත්‍රිකුණාමලයේදී සිය ආමි සගයන් තිදෙනෙකු විසින් දෙමළ දැරියක දූෂණය කළ සිද්ධියේදී සරත්සිරි වරදකරුවන් බේරාගැනීමට සාක්ෂි දී ඇත. එහෙත් මේ කතාව අපට අසන්නට ලැබෙන්නේ සරත්සිරිගෙනි. ඔහු එය කියන්නේද සෙල්විටය. ඔහු එය සෙල්විට කියන්නේද ඇය තමා වෙත තබා ගැනීමට දරණ ප්‍රයත්නයේදීය. ඒ නිසා ඒ ත්‍රිකුණාමලයේ සිද්ධිය පිළිබඳ සරත්සිරි කියන දේ අර්ධස්‍යයක් වන්නට පුළුවන. ඔහු හෙළිකරන තරමට වැඩි සම්බන්ධයක් සරත්සිරි සහ ඒ ලිංගික හිංසන ක්‍රියාව අතර තිබෙන්නේද විය හැකිය. ඒ කෙසේ වෙතත් ඒ සිද්ධිය පිළිබඳ වරදකාරී සිතිවිල්ල ඔහු තමා සමගම කරන මල්ලව පොරයේ කොටසක් විය හැකිය.
    ඔහු රත්තරන් උකස් ගැනීමේ ව්යාහපාරයට එළඹුණේ කෙසේද ඔහුට පිස්තෝලයක් හිමි වූයේ කෙසේද යන කරුණුද සිනමාකරුවා අපට නොකියා කියන බොහෝ දේවලට අයිතිය. ලංකාවේ පමණක් ඕනෑම තැනක පාහේ පශ්චාත් යුද්ධ සමය සහ රත්තරන් අතර සම්බන්ධයක් ඇත. ලංකාවේ යුද්ධය සම්බන්ධයෙන් රත්තරන් විශේෂයෙන් අදාළය. එල්ටීටීඊ බැංකුවල සහ එල්ටීටීඊ භාණ්ඩාගාරවල තිබූ විශාල රත්තරන් තොගයකට වූ දෙයක් නැත.ඊට වඩා සුළුපරිමාණවද පෞද්ගලික මට්ටමෙන්ද යුද සමයේදී සිදු වූ රත්තරන් එහාමෙහා වීම් ගැන කතා අපමණය. ඒ නිසා සරත්සිරි දෙමළ ජනයා වැඩිවශයෙන් වසන ප්‍රදේශයකට පැමිණ රත්තරන් උකසට ගැනීමේ ව්‍යාපාරයක් ඇරඹීම එක්තරා කුතූහලයක් ඇති කරයි.
    සෙල්වි සරත්සිරි සිටින්නාක් වැනි භෞතික යකඩ දැලකින් වට වී නොසිටියත් යුද්ධයේ අත්දැකීම් නිසා ඇය ලද වේදනාව එක්තරා වේදනාකාරී අභ්‍යන්තරික සිරගෙයක ඇය සිර කර ඇත. ඇයගේ සැබෑ ගැටලුව දැන් ඇය නැවතී සිටින තැන ඇති බාහිර ප්‍රශ්න නොවේ. බරපතලම ප්‍රශ්නය ඇය සිය ආත්මීයත්වය අභිමානයෙන් ආරක්ෂා කිරීමට දරන අරගලයයි. මිය ගිය පවුලේ අයගේ මනුෂ්‍ය ගෞරවය වෙනුවෙන් කරන අරගලයයි. තමාගේම වරදකාරී හැගීමකින් නිදහස්වීමට ඇය වෙත ආකර්ෂණය වන සරත්සිරිට ඇයගේ මෙම අභ්‍යන්තරික අරගලය නොපෙනේ. මුලදී ඔහු ඇය හා වන විවාහය දකින්නේ රත්තරන් බඩුවක් උගස් ගැනීම වැනි ගනුදෙනුවක් ලෙසය.
    සිනමාකරුවා මේ දෙදෙනා අතර ඇති අභ්‍යන්තරික පරතරය අපට පෙන්වන්නේ ආකර්ෂණීය සිනමා බසිනි. ඒ දෙදෙනාගේ ඇස් එකිනෙකා අභිමුඛ වන අවස්ථා ඉතා අඩුය. ඇතැම් විට ඒ දෙදෙනා මෝටර් සයිකලයේ හිඳගෙන සිටින්නේද එකම දිසාව බලාගෙන නොවේ. සරත්සිරිගේ අතීතයේ සිට එන ගාමිණි නම් මිතුරා සෙල්විට කියන සරත්සිරිගේ යහපත් බව පිළිබඳ කතාව යහපත්භාවයේ කතාවක් ලෙසම දකින්නට සෙල්වි සූදානම් නැත්තේ ඒ නිසාය. එපමණක් නොව වහසිබස් කියන, ජාතිවාදී කතා කියන, විටෙක අඬන වැලපෙන ගාමිණී යනු සරත්සිරිගේම අභ්‍යතන්තරික ගාමිණී විඥානයක දිගුවක් වන්නටද පුළුවන.
    තමන් තෝරාගත් විෂය මත කරන සිනමාත්මක භාවනාව අතින් මේ සිනමා කෘතිය ප්‍රසන්න විතානගේගේ සිනමාවේ මුද්‍රාව හොඳින් සටහන් වූවකි. සෙල්වි දිවි නසා නොගෙන ඇය ඒ ජනේලයට නගින්නට සෙරෙප්පු ගලවන තැනින් ඡේදනය කොට අවසානය විවෘත තැබුවේ නම් හොඳ යැයි මට සිතේ. දෙමළ ජනයා තමන්ට සිදුවූ විනාශය ගැන ආත්මපරාජයෙන් සිර වී එයින්ම මිය යන පිරිසකියි සෙල්විගේ දිවිනසා ගැනීමෙන් ඉඟිකෙරෙන්නේදැයි මට සිතිණි. එහෙත් ඇයගේ මියයාම නිසා සරත්සිරි කේන්ද්‍රීය ප්‍රීතිදාක අවසානයක් වැලකිණි. එය උචිතය. අනෙකාට ආදරය කිරීම යනු තමාගේම ක්ලෝනයක් අනෙකා වෙත ප්‍රක්ශේපණය කිරීම නොවන බව සරත්සිරිලා තේරුම් ගැනීම හොඳය. එය ගාමිණීලාට නම් යන්තම්වත් නොතේරෙන යථාර්ථයකි. ආදරය යනු තමා පිළිබඳ සැබෑ ආත්මපරීක්ෂාවක්ද අනෙකා පිළිබඳ පරිත්‍යාගශීලී වටහා ගැනීමක්ද අවශ්‍ය වන්නකි. සරත්සිරිට කෙසේ වෙතත් අවශේෂ සිංහල ප්‍රේක්ෂකයාට මේ අවබෝධය ඇතිවේද?


    ලියනගේ අමරකීර්ති ( Liyanage Amarakeerthi )
    ඉරුදින ඔක්තෝබර් 4
     
    • Like
    Reactions: Utumesh