ඔයා මට ආදරෙයිද ?

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,107
    365
    83
    ‘ඔයා
    120878750_620073568684016_8299118536642976311_n.jpg
    මට ආදරෙයිද?‘ ඇගේ ජීවිතේට ඇයට මගෙන් අහන්න තිබුණු එකම ප්‍රශ්නය ඒක...😔😔😔😔😔

    මගේ පළිතුර... ‘ඔව්‘ නමුත් මන් ඇයට ආදරය කළේ නෑ.. මට ඇය ගැන තිබුණේ අතහරින්නත් බැරි ඉන්න කියන්න බැරි වගකීමක් විතරයි. අඩුම මම කවදාවත් ආදරණීය වචනයකින් ඇයට අමතලා නැහැ. මම බය උනා ඇයව මගෙන් ඈත් කළොත් ඇගේ ජීවිතේ විනාස වෙයි කියලා. ඇය දුකින් ඉදි කියලා .
    නමුත් ඇත්ත ඒක නෙමෙයි.. ඇය තරම් දරාගැනීම ප්‍රගුණ කරපු, ඇය තරම් ඉවසීම ප්‍රගුණ කරපු, ඇය තරම් මට අසීමිතව ආදරේ කළ හැකි ගැහැණියක් මේ ලෝකේ නැහැ ඒක මට මට තේරුම් යන්න ගොඩක් කල් ගියා.

    මම හිතුවා ඇයට මාව දවසක එපා වෙයි කියලා. එදාට නිදහසේ ඇයට සමු දෙන්න පුළුවන් වෙයි කියලා... මම ඇයව අතහැරියොත් ඇයට රිදෙයි කියන වරදකාරී හැඟීම පිළිගන්න මම කැමැති වුණේ නැහැ... ඒ නිසා මම කළේ ඇය ඉදිරියේ බොරුවට රඟපාන එක.. හැබැයි ඇගේ ආදරේ කොච්චර ඉවසිලිවන්තද කියනවනම් ඇය ඒවට අමාරුවෙන් හුරු වුණා. ඒ මගේ හැටි වෙන්න ඇති කියලා ඇය ඒ සියල්ල දරා ගත්තා..

    ඒ ආදරේ දශමයකින්වත් අඩු නොකර මං ගැන හොයලා බැලුවා, මං ගැන වද වුණා. මගෙ දුකේදී ඇය මට වඩා දුක් වුණා. මම ඒ බව මම දැනගෙන හිටියා. නමුත් මම නෙමෙයි ඇය වෙනුවෙන් මගේ කාලය පොඩ්ඩක්වත් කැප කළේ... ඇය මේ සියල්ල දරාගෙන හිටියා . ඇය නිතරම කිව්වා අපි මුණ ගැහෙමු, ටිකක් අපිගැන කතා කරමු කියලා. නමුත් ඇයව මීට් වෙන්න ආසාවක් මට තිබුණේ නෑ. අගේ බල කිරීමටම අපි කිහිපවිටක් මීට් වුණා. නමුත් එක මොහෙතකවත මන් ඇයට ආදරෙන් කථා කළේ නෑ. ඇයව සිපගෙන නෑ.අඩුම ඇයට පේල්ටි එකක්වත් අරගෙන දීලා නෑ.

    “ඒ කරපු අමන වැඩවලට අද මම විඳවනවා. තිරිසනෙක් වගේ විඳවනවා. එදා මට ඇය එතරම් සුරූපී තරුණියක් නෙමෙයි ඒත් අද ඇය තමයි මගේ ලෝකේ ඉන්න ලස්සනම කාන්තාව. සුන්දරම කාන්තාව ,මගේ ජීවිතයේ යශෝදරාව මම කවියෙක් නෙමෙයි මම කවදාවත් මගේ අම්මා ගැන වත් මේ විදියට කියලා නැහැ, මේ විදිහට ලියලා නැහැ .“

    මම වගේ පාඩුවෙ ඉන්න කොට එයා එයාගේ පාඩුවේ හිටියා .හැබැයි මං කලින් කිව්වා වගේ ආදරේ දශමයක් වත් අඩු නොකර ඇය පුරුදු උනා හුදකලාවේ ජීවත් වෙන්න. කාලයක් යද්දී මට දැනුණා ඇයගේ හිතේ මං ගැන තියෙන සුවිශේෂී බව ටිකෙන් ටික අඩුවෙලා යනවා කියලා. එතකොට මම මහා නිර්ලජ්ජිත සතුටක් ලැබුවා දැන් එයාට මාව එපා වෙලා මට මගේ පාඩුවේ මගේ ජීවිතේ මම කැමති කෙනෙක් එක්ක නිදහසේ ගත කරන්න පුලුවන් වෙයි කියලා .

    දවසක් මම දැඩිව තීරණය කළා ඇයව අතාරිනවා කියලා මම ඇයට මේ ගැන කෙලින්ම නොකියා එක එක විදිහට කියන්න උත්සාහ කළා. මම දැනගෙන හිටිය ඇය ඒ හැම දේකින්ම දැනගත්තා මට ඕන ඇයව අතාරින්න කියලා .දවසක් ඇය මට මෙහෙම කිව්වා ‘‘ඔයා සතුටින් ජීවත් වෙන තැන තමයි මගේ සතුට තියෙන්නේ කියලා‘‘ . මම මගේ තීරණය එයාට කිව්වා,
    ‘‘මම ඔයාව අතාරිනවා ඔයා සතුටින් ජීවත් වෙන්න‘‘ කියලා,... මට පොරොන්දු වෙන්න ‘‘ඔයා මම නැතුව අඩන්නේ නැහැ කියලා නොකා නොබී ඉන්නේ නැහැ කියලා ඒ ටික මං වෙනුවෙන් කරන්න ‘කියලා .මං ඇය වෙනුවෙන් ඉල්ලුවේ මගේ ආත්මාර්ථකාමී ඉල්ලීම විතරමයි .

    එහෙම කියද්දී දුරකථනය අනෙක් කෙළවරින් මට ඇහුණා සිහින් සිනා හඬක්. ඇය මගේ නම කියලා මට කිව්වා ‘‘අරුණ අඩන්න දුක් වෙන්න දෙයක් මට දැන් නැහැ..ඔයාගෙන් තමයි මම ඉගෙන ගත්තෙ ආදරේ කවදාවත් බලෙන් ලබන්න බැරි දෙයක් බව .ඉතින් අද ඉදන් ඔයාගේ ගමන ඔයා සතුටින් යන්න." මටත් තියෙන ඔයාගෙන් කරන්න එකම එක ඉල්ලීමක් ඔයා ආයෙත් ආදරේ කරන්න පටන් ගත්ත දවසක අපේ මතක ඒ ආදරයට අරගෙන යන්න එපා" එච්චරයි ඇගේ ඉල්ලීම.මම මහ පුදුමාකාර සැනසීමක් දුරකථනය විසංධි කළා.

    රෑ එළිවෙනකම් කල්පනා කළා ඇය මොන ජාතියේ කෙල්ලෙක් ද? ඇයි ඇය මට මේ තරම් ආදරේ කරන්නේ? ඇයි අද මම යනවා කියද්දී එයාට එච්චර දුක හිතුනේ නැත්තේ.? එයා මට දැන් ආදරේ කරන්නෙ නැද්ද නෑ ඔන්න ඔය වගේ කාරණා මගේ ඔළුවේ හොල්මන් කරන්න ගත්තා.

    පහුවදා පාන්දරම මං මගේ දුරකථනය අරගෙන බැලුවා වෙනදා එවන ගුඩ් මෝනිං මැසේජ් එක එදා ඇවිත් තිබුණේ නැහැ .උදේ දහයට විතර ෆෝන් එක අරගෙන බැලුවා ඒත් කිසිම පණිවිඩයක් තිබුණෙ නැහැ. දවල් එකට විතර අරගෙන බැලුවා ඒත් කිසිවක් නැහැ .එතන ඉඳන් විනාඩි පහෙන් පහට මං මගේ දුරකථනය දිහා බැලුවා ඇය මොනවම හරි කියයි කියලා... ඒත් කිසිම සද්දයක් නැහැ ඇය මාව මෙච්චර ඉක්මනින් අමතකලද? නැහැ වෙන්න බෑ.. මමම හිතින් හිතුවා. එයාට බෑ කවදාවත් මාව අමතක කරන්න මම හිතුවා. ඇයට ඇමතුමක් ගන්න හිත බල කරත් මම ඒක කලේ නෑ. නමුත් හැම මොහොතකම මම ඇගේ පණිවුඩයක් බලාපොරොත්තු වුණා.

    දින සති ගෙවිලා ගියත් කිසිම පණිවිඩයක් ලැබුනේ නෑ. මගේ කිසිම දෙයක් මට කර ගන්න බෑ. කන්න බොන්න බෑ. ඇය මතක් වෙනවා. බෑ කොහොමටවත් එයාට බෑ මාව අමතක කරන්න මන් හිතුවා. ඇය නැති අඩුව මට එදා පටන් දැනෙන්න ගත්තා. මගේ ජීවිතේ මටම අප්පිරියා වුණා. ඇගේ නිශ්බ්දතාවය මගේ වේදනාව වුණා. මට මුල ඉදන් දැනෙන්න පටන් ගත්තා මම නිසා ඇය කල කැප කිරිම්. මගේ සතුට වෙනුවෙන් ඇයට තිබුණු ඉවසීම, ඇය තුල මා කෙරේ වූ අප්‍රමාණ ආදරය.

    සමහර වෙලාවට මම ඇයට බොරු කිව්වා. ඇය ඒව පිළි ගත්තා. මං ඇයව රැවැට්ටුවා ඒත් හැමදාම ඇය මගෙන් ඇහුවේ එකම එක දෙයයි. ඒ

    "ඔයා මට ආදරය කරනවද කියලා විතරමයි".

    නෑ කියන්න බැරිකමට මම් ඔව් කිව්වා. ඒත් මගේ හිතේ ඇය කෙරේ කිසිදු ආදරයක් තිබුනේ නෑ. නමුත් ඒ වචනවලින් ඇය සැනසෙන හැටි මම දැකලා තියෙනවා. මම විනාස කරලා දාපු ඇගේ දවස් එකින් එක මට මතක් වුණා.

    හරියටම මාසයකට පස්සෙ මම ඇයට ඇමතුමක් ගත්තා. ඇගේ පුරුදු හඩ මට ඇහුණා. මගේ හඩ වෙව්ලන්නට ගත්තා.

    "අරුණ ඔයා ලයින් එකේ ඉන්නවද?"

    ඒ හඩ තාමත් කාරුණිකයි. තාමත් ආදරණීයයි. මම පිළිතුරු දුන්න ඔව් කියලා. මගේ කටහඬේ වෙනස අඳරගත්ත ඇය කලබලෙන් ඇහුවා ‘‘ඔයාට සනීප නැද්ද‘‘
    කියලා. මම උගුර පාදලා කිව්වා නෑ එහෙම අවුලක් නෑ කියලා. මහා සැණසීමකින් වගේ ඇය හ්ම් කිව්වා. එතනින් එහාට මට කිසි දෙයක් කියා ගන්න බැරි වුණා.. ඇය කිහිප විටක් හෙලෝ හෙලෝ කියලා දුරකතනය විසංදි කලා.

    නමුත් නැවතත් මට ඇමතුවේ නෑ. මන් බලාපොරොත්තු වඅණා ඇගෙන් ඇමතුමක්. වෙනදට ඇය ගන්න ඇමතුම් කීයක් මම මඟ අරිනවද? යළිත් සතියකට විතර පසු මම ඇයට ඇමතුවා. පුරුදු කාරුණික හඩ මට ඇසුණා. මගේ කටින් පැන්නේ මෙච්චරයි "ඔයාට මන් නැතුව ඔහොම ඉන්න පුලුවන්ද?" ඇය නිහඩයි. මන් බලාපොරොත්තු වුණා ඇයට එලෙස ඉන්න බෑ කියයි කියලා. නමුත් ඒක එහෙම වුණේ නෑ. මම බලාපොරොත්තු වුණා ඇගේ පිළිතුර දීරඝ වෙයි කියලා. ඒක එහෙම වුණේ නෑ. ඇගේ පිළිතුරෙන් මට රිදුණ තරම කියා ගන්න අදටත් වචන නෑ. එදා ඇය මගෙන් මන් ඇයට ආදරය කරනවද කියලා අහද්දී මන් කිව්වේ ඔව් කියල විතරයි.නමුත් ඇය ඊට වැඩියමක් මගෙන් බලාපොරොත්තු වෙන්න ඇති. අද මගේ ප්‍රශ්නෙට ඇය දුන්නේත්‘‘ ඔව්‘‘ කියලා. මමත් අද ඇයගෙන් ඊට වැඩි යමක් බලාපොරොත්තු වුණා. ඒ තරම් රිදුමක් මට තවත් නෑ.. දැන් මට දැනෙනවා ඇය උසුලා සිටි වේදනාවේ බර.

    ඇයට කුමක් කිවයුතුද කියලා හිතන්න තරම්වත් මම සුදුස්සෙකු නෙමෙයි. නමුත් මම හඬ අවධි කළා. ‘‘ ඔයාට පුළුවන්ද මට සමාව දෙන්න‘‘ මම ඇහුවා..‘‘ සමාව ඉල්ලන්න තරම් වරදක් ඔයා කරලා නෑ අරුණ ඇයි එහෙම කියන්නේ? ඇය ඇහුවා... වරද මගේ ඔයාට රදරයක් වුණේ මම... මට ඒ හැමදේටම සමා වෙන්න.. ඇය යළිත් කියාගෙන...
    එදායින් පසුව මම ගත් හැම ඇමතුමතකම අවසානේ ඇයමට කිව්වේ ‘‘මට සමා වෙන්න කියලා විතරයි‘‘ සියලු වැරදි මගේ වුණත් එදා වගේම අදටත් සමාව ගන්නේ ඇය.
    නමුත් නැවත මට කිසිදු ඉඩක් ඇගේ හිතේ තිබුණේ නෑ...ඒ හැමදේටම ඇයව හමු වෙලා සමාව ගන්න මට ඕන වුණත් ඒත් කවදාවත් ඇය ආවේ නෑ.. අවුරුදු දෙකක් ගියා ඇය ගැනම හිතුවා..

    අද ඇගේ දවස.. ඇය ලස්සන මනමාලියක් වෙන දවස (2020.09.30) ඒත ඇගේ අයිතිකාරයා මම නමෙයි. ඔහු වාසනාවන්තයෙක් බවනම් අමුතුවෙන් ලියන්න ඕන නැහැ මම... ඇය කෙහෙන් හරි මේ කතාව දකීවී...මේ කතාව කියවාවී. නමුත් මන් ගැන දැන් ඔය හිතේ ආදරයක් නැති වුණත් තරහත් ඔය හිතේ නැති බව මන් දන්නවා.
    අන්තිම ටික කින්නම්... මට මදි වුණේ ඇගේ පෙනුම, ඒත් මදි නොකියන්න ඇගේ ආදරේ තිබුණා. බූරුවෙක් හරකෙක් වගේ කෙහෙල්මල් ලස්සනක් හෙව්වා. ආදරේ කියන්නේ ලස්සන නෙමෙයි බං... උඹ ගැන හොයලා බලන එකට,... උඹ ගැන හැම තත්පරේම ආදරේ විතරක්ම දෙන එකට.. පිරිමි සීයක් මැද්දට ගියත් උඹව අමතක නොකරන එකට, උඹේ අම්මට තාත්තට ඒකිගේ අම්මට තාත්තට වගේම පණටත් වඩා ආදරේ කරන එකට,

    සරලවම උඹ මත්තෙම නැහැන එකට. 😔😔
    මම අරුණ


    think...............(y)
     

    Chuti Bro

    Active member
  • Aug 27, 2016
    164
    102
    43
    මට මදි වුණේ ඇගේ පෙනුම, ඒත් මදි නොකියන්න ඇගේ ආදරේ තිබුණා. බූරුවෙක් හරකෙක් වගේ කෙහෙල්මල් ලස්සනක් හෙව්වා. ආදරේ කියන්නේ ලස්සන නෙමෙයි බං... උඹ ගැන හොයලා බලන එකට,... උඹ ගැන හැම තත්පරේම ආදරේ විතරක්ම දෙන එකට.. පිරිමි සීයක් මැද්දට ගියත් උඹව අමතක නොකරන එකට, උඹේ අම්මට තාත්තට ඒකිගේ අම්මට තාත්තට වගේම පණටත් වඩා ආදරේ කරන එකට,

    සරලවම උඹ මත්තෙම නැහැන එකට. 😔😔

    uba kohmda mn mage amathaka wennathi kathawama liwwe???? :cry: